![]() ![]() |
||
අපේ ඉලක්කය අල්ලස් හා දූෂණ තුරන් කිරීමයිඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ කොමසාරිස් නෙවිල් ගුරුගේ
ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය අපේ රටට අදාළ කරගන්නා ආකාරය සඳහන් කළොත්? අපේ තේමාව වී තියෙන්නේ අල්ලස හා දූෂණයෙන් තොර රටක් යන්නයි. අල්ලස හා දූෂණය ඕනෑම රටකට මහා ව්‍යසනයක්. මේ නිසා රටේ සංවර්ධනය වගේම ආර්ථිකයත් අඩපණ වෙනවා .ඒ නිසා අප කළ යුත්තේ මේ දෙක අඩු කිරීම හෝ පාලනය කිරීම හෝ නොව එය සම්පූර්ණයෙන්ම නැති කිරීමයි. මේ නිසා අපේ අරමුණ කෙසේ හෝ අප රට මේ ව්‍යසනයෙන් මුදා ගැනීමයි. මේ කර්තව්‍යය දියත් කිරීමට පසුගිය කාලයේ පැවැති දේශපාලන අධිකාරියේ අවසරය ලැබුණද නැද්ද යන්න ප්‍රශ්නයක්. මේ කාර්යය සාර්ථකව දියත් කිරීමට වර්තමාන දේශපාලන අධිකාරයේ සහාය ලැබෙයි කියා අපේක්ෂා කරනවා ද? ඔව්. වර්තමාන දේශපාලන අධිකාරියට අවශ්‍ය වෙලා තියෙනවා අල්ලස හා දූෂණය නැති කිරීමට. මේ කාර්යය දියත් කිරීමේදි දෙපැත්තක් ගැන අපිට බලන්න වෙනවා. එක පැත්තක් මහජනතාව. අනිත් පැත්ත රාජ්‍ය නිලධාරීන්. මේ දෙපැත්තේම වැරදි තියෙනවා. බොහෝමයක් රාජ්‍ය නිලධාරීන් පොලඹවා ගන්නේ මහජනතාව. මහජනතාවට රාජ්‍ය සේවය නොමිලයේ ලබා ගන්න අයිතිය තියෙනවා. ඔවුන් වැටුපක් ලබා ගන්නේ මහජන මුදලින්. එම නිසා මහජනතාව දැනුවත් විය යුතුයි, කොයිම අවස්ථාවකවත් රාජ්‍ය නිලධාරියෙකුට අල්ලසක් නොදිය යුතු බවට. එහෙත් වර්තමානයේ බහුලව සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන් අල්ලස් දීමට වඩා අල්ලසක් ඉල්ලීමක් ? ඇත්ත. අල්ලස් ඉල්ලීම වගේම එය දීමත්, ගැනීමත් වරදක්. සමහර අය දැනුවත්ව හෝ නොදැනුවත්ව අල්ලස් දෙනවා. බොහෝමයක් අය සිතන්නේ මෙය දිය යුතු දෙයක්, සම්ප්‍රදායක් ලෙස. එහෙම හිතන එක වැරදියි. මෙය නැති කරන්න නම් මහජනතාව කෙළින් සිටිය යුතුයි. මේ කටයුත්තේදි අපි මුලින්ම මහජනතාව දැනුම්වත් කරනවා මේ පිළිබඳව. පසුගිය කාල වකවානුව තුළ අල්ලස් පැමිණිලි දිනෙන් දින වැඩිවුණා. මේ ගැන සඳහනක් කළොත්? පසුගිය කාලය තුළ මේ කොමිසමට ලැබුණු අල්ලස් පැමිණිලි තමයි ගොඩක් වැඩි. දෙවනුවට දූෂණ පැමිණිලිත් තෙවෙනුවට වත්කම් සම්බන්ධ පැමිණිලිත් වැඩියි. අපි මේ වසරේ මේ දක්වා 35කට ආසන්න වැටලීම් ප්‍රමාණයක් කළා. එමඟින් 45කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මෙසේ වැඩිවීමට හේතු මොනවාද? පසුගිය කාලයේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා තිබුණා. එහෙත් අපි මේ වන විට රජයට යෝජනා කර තියෙනවා දූෂණය නැති කරන්න නම් අපිට මේ දේ දිය යුතුයි කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය ප්‍රතිපාදන දිය යුතුයි. විමර්ශන නිලධාරීන්ගේ ඌනතා තියෙනවා. තිබෙන ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. මේ වන විට රජය මීට හොඳ ප්‍රතිචාර දක්වා තියෙනවා. දැනට පවත්නා අල්ලස් නීතිය ප්‍රමාණවත් ද, අවශ්‍ය වැටලීම් සිදුකරන්නට? නැතිනම් ඉදිරියේදි ඒ පිළිබඳව වෙනස්කම් කරන්නට බලාපොරොත්තු වෙනවාද? තිබෙන නීතිය නම් දැනට ප්‍රමාණවත්. පසුගිය කාලයේ මේ ආයතනයට පැමිණිල්ලක් ලැබුණොත් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ ක්‍රමවේදයට අනුව කටයුතු කළ නිසා තමයි ගැටලු උද්ගත වුණේ. එහෙත් දැන් අපි පැමිණිල්ලක් නැතුවත් ක්‍රියාත්මක වෙනවා. ආරංචියක් මඟින් අපට ලැබෙන තොරතුරුත් ප්‍රමාණවත්. ඒ අනුවයි මේ වන විට බොහෝ විමර්ශනයන් සිදු කරන්නේ. ක්‍රියාත්මක වීමේ දෝෂයන් හැරෙන්නට නීතියේ අඩුපාඩුවක් අපි දකින්නේ නැහැ. අල්ලස් කොමිසම කොළඹට පමණක් මධ්‍යගත වෙලා. එය විමධ්‍යගත කළොත් මේ කාර්යය සාර්ථක කරගත හැකි වේද? ඔව්, එය අපි දකින ලොකු අඩුපාඩුවක්. අද මේ ආයතනය කොළඹට පමණක් සීමා වෙලා. එය අල්ලස තුරන් කිරීමට බාධාවක්. ඒ නිසා මේ ආයතනය විමධ්‍යගත කළ යුතුයි. අද සාක්ෂිකරුවන් කොළඹටම එන්න වෙලා තියෙනවා. මේ නිසා ඔවුන් එයට මැළිකමක් දක්වනවා. මේ නිසා බොහෝ ආරංචි අපට නොලැබී යනවා. අපි මේ වන විටත් අදාළ බලධරීන්ගෙන් ඉල්ලලා තියෙනවා මේ ආයතනය විමධ්‍යගත කරන ලෙස. අල්ලස් නඩු සාමන්‍ය අධිකරණයන්හි විභාග වීම හේතුවෙන් තීන්දු ලබා දීමේ ප්‍රමාදයක් පවත්නවා.අල්ලස් නඩු විභාග කිරීමට වෙනමම අධිකරණයක අවශ්‍යතාව පවතිනවා නේද? ඔව්. දැනටත් මේ නඩු විභාග වෙන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හා මහාධිකරණයේ. ඒ අනෙකුත් නඩුත් සමඟයි. මේ නිසා අල්ලස් නඩු විභාග වීමේ ප්‍රමාදයක් පවත්නවා. මන්ද අධිකරණයට මෙය සාමාන්‍ය නඩුවක් විතරයි. දැනටමත් දිනකට අපේ නඩු පහක් හයක් මේ අධිකරණ දෙකේ විභාග වෙනවා. ඇත්තෙන්ම අපේ කටයුතු සාර්ථකව කරගන්න නම් අල්ලස් නඩු විභාගය සඳහා වෙනම අධිකරණයක් අවශ්‍යයයි. මේ වන විටත් අපි ඒ ගැන අදාල බලධාරින් දැනුම්වත් කර තියෙනවා. තීන්දු ලබාදීමේ ප්‍රමාදය නිසා අගතියට පත් වන පාර්ශ්වයට සාධාරණයක් ලබා ගන්න පරක්කු වෙනවා නේද? අපිට උසාවියට බල කරන්න බැහැ. අධිකරණය එය තේරුම්ගත යුතුයි. ඒ නිසයි අපි වෙනම අධිකරණයක් ඉල්ලා සිටින්නේ. අගතියට පත්වන පාර්ශවයට සාධාරණයක් ඉටුකරන්න තීන්දුව ලැබෙනකම්ම ඉන්න අවශ්‍ය නැහැ. එහිදී තීන්දුවේ හරි හෝ වැරුද්ද සලකන්නේ නැහැ. අපට එය අදාළත් නැහැ. විමර්ෂණ කටයුතු කෙරීගෙන යන අතරේම අපිට ඒ සඳහා මැදිහත් විය හැකියි. මේ නිසා අපි රජයට යෝජනා කරනවා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව විමධ්‍යගත කරන ලෙසත්, අධිකරණ බල සිමා විමධ්‍යගත කරන ලෙසත්, අල්ලස් නඩු විභාගය සඳහා වෙනමම අධිකරණයක් ලබා දෙන ලෙසත්. සෑම වසරකම මේ කාලය වන විට බහුතරයක් දෙනාගේ කතාබහට ලක්වන පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදි සිදුවන අල්ලස් හෝ දූෂණ නැවැත්වීමට ගෙන ඇති පියවර සඳහන් කළොත්? මෙය ඉතාම දරුණු ව්‍යසනයක්. බොහෝ දෙනා අල්ලස් දෙන්නේ දරුවන් සමඟයි. එතකොට දරුවා දන්නවා තමාව පාසලට දැම්මේ අල්ලස් දීලා කියලා. මෙය නරක පූර්වාදර්ශයක්. ඉදිරියේදි අපි මේ පිළිබඳව තදින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපේක්ෂා කරනවා ඉදිරියේදි රහස් නිළධාරීන් මේ සඳහා යොමු කරවන්න. මුලින් පාසල්වලින් පටන් ගෙන සෑම ආයතනයකටම ආවේක්ෂණ නිලධාරීන් යොදවනවා. පාසල් වල අල්ලස් ගැනීමේ ජාලයක් තියෙනවා. එය විදුහල්පතිවරුන්ගෙන් කැඩුවහොත් මුළු ජාලයම අඩපණ වෙනවා. අපේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීති දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, එහි කොමසාරිස්වරු වන සභාපති ටි.බී. වීරසූරිය, හිටපු විනිසුරු ලාල් රංජිත් සිල්වා හා මගේ මූලිකත්වයෙන් අල්ලස නිවාරණයට ඉදිරියේදි පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවනවා.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |