![]() ![]() |
||
නිදහසේ මූර්තිය අවුං සාං සූ කී
අවුං සාං සූ කි නොබෙල් සාම ත්‍යාගය ලද අවස්ථාවේ කළ ප්‍රකාශය. සකල ලෝකයේම ඉතාම බලගතු කාන්තාවන් අතර හැට එක්වන තැනට පත්ව සිටින්නී, මියන්මාරයේ (බුරුමයේ) අවුං සාං සූ කී ජන නායිකාවයි. මේ ප්‍රතිඵලය ප්‍රකාශ කෙරුණේ ‘ෆෝබ්ස්’ නම් ලෝක ප්‍රසිද්ධ සඟරාව විසිනි. ඒ තීරණයට එළඹෙන ලද්දේ ප්‍රබල පරීක්ෂණයකිනි. අවුරුදු 15 කටත් අධික කාලයක් මුළුල්ලේ නිවාස අඩස්සියේ සිටි මේ විශිෂ්ට කාන්තා නායිකාවගේ පක්ෂය වන ‘ප්‍රජාතන්ත්‍රය පිළිබඳ ජාතික සංගම් පක්ෂය’ (එන්එල්ඩී) නොබෝදා මියෙන් මාරයේ පැවති මහ මැතිවරණයේදී අසහාය ජයග්‍රහණයක් ලද්දේ ය. එහෙත්, තවමත් ඒ රටේ පාලනය අතට ගෙන සිටින යුද නායකයන්, එතුමියට ඒ ජයග්‍රහණය නිසා හිමිවන ජාතික නායකත්වය ලබා දේ දැයි ලොව බොහෝ දෙනා සැක මුසුවූහ. එතුමියගේ ජීවිතයට පවා තර්ජන එළඹෙතැයි ඇතැම්මු බිය පත් වූහ. එසේ වුව ද, විමුක්තිකාමී සැම දෙනා ගේ ම ප්‍රමෝදයට තුඩු දෙන සිද්ධියක්, අදට දින කීපයකට පෙර ලෝකයා හමුවට පත්වූ සේ ය. පසුගිය සිකුරාදා (දෙසැම්බර් හතර) මියෙන්මාරයේ, ඉතා නපුරු අයෙකැයි සලකනු ලබන යුද නායක කාන් ස්වේ, මෙසේ කීයේ ය. “මහ මැතිවරණය ජයගත් ඩෝ අවුං සාං සූ කී, මියෙන්මාරයේ අනාගත නායිකාව බව කා විසිනුත් පිළිගත යුතු සත්‍යයයි.” (මෙහි ‘ඩෝ’ යන පදය ‘ගෞරවනීය’ යන අර්ථය සහිත බුරුම වචනයකි.)
මේ සිද්ධිය හේතු කොටගෙන ඕං සාං සූකි කාන්තාව, නිල වශයෙන් මියෙන්මාරයේ පාලන බලය ලබන්නී ය. 1945 හේ ජූනි මස දහනව වැනිදා උපත ලද අවුං සාං සූ කි කාන්තාව, අද සැත්තෑවන වියෙහි පසුවන්නීය. නව වසරේ දී ඒ කාන්තාවට මියෙන්මාරයේ පාලන බලය නිල වශයෙන් ලැබුණ ද එතුමියට, සිය දේශයේ ජනාධිපතිනිය විය නොහැක. එයට හේතුව, දැනට ව්‍යවහාරවන බුරුම පාලන ව්‍යවස්ථාව ඇයට බාධකයක් වීමයි. සංග්‍රාමික පාලකයන් විසින් 2008 දී පණවන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි පැවසෙන්නේ විදේශිකයෙකු ගේ වැන්දඹුවකට හෝ විදේශිකයන්ගේ මවකට හෝ මියෙන්මාරයේ ජනාධිපති පදවිය ලද නොහෙන බවයි. මෙය සිතා මතා ලාම ඇයගේ ජනාධිපති පදවි ලාභය වළක්වනු පිණිස සකස් කෙරුණු නීතියකි. හේතුව මෙසේ ය. ඇයගේ ස්වාමි පුරුෂයා වන මයිකල් ඇරිස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහු දැන් මිය ගොස් ය. ඒ නිසා, අවුං සාං සුකි කාන්තාව විදේශිකයකුගේ වැන්දඹුවයි. ඇයගේ දරුවෝත් විදේශිකයි. මේ නිසා ඇයට වර්තමාන බුරුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, සිය දේශයේ ජනාධිපති පදවිය ලද නොහේ. සංග්‍රාමික පාලකයන් විසින් සම්පාදිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමාට රටේ ජනාධිපති පදවිය ලද හැකි නොවූවත්, නව වසරේදී සිය පක්ෂය පාලන ආසන ගන්නා විට තමා ‘ජනාධිපතිටත් ඉහළින් සිට’ පාලනය කරන බව එතුමිය නොබෝදා ප්‍රකාශ කළා ය. ඒ ක්‍රමවේදය කුමක් දැයි එතුමිය විසින් පැහැදිලි කොට නැත. අලුත් ම මහ මැතිවරණයේදී එතුමියගේ පක්ෂය (එන්එල්ඩී) විසින් සීයට අසූවක් තරම් වූ විශාල ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇත්තේ ය. අඩ ශතවර්ෂයක් මුළුල්ලේ පැවැති ‘යුද හමුදා පාලනයකින්’ පසුව, ලබන ලද මේ ජයග්‍රහණය, සුවිශිෂ්ට ය. බලය ලැබුණ ද එතුමිය ආක්‍රමණශීලී නොවන්නීය. ඇයගේ අරමුණ, සංග්‍රාමික පාලකයන් හා සමඟ සහයෝගිව, සුහදව සංහිඳියාව රජයන පාලනයක් මියෙන් මාරයට ලබාදීමයි. එතුමිය, සාමකාමී පාලනයට මේ සා මුල් තැනක් දෙන්නේ, මියෙන්මාරයේ ජනකාය විසින් පසුගිය කාල පරිච්ඡේදයේ දී විඳ දරා ගන්නා ලද දුක් කන්දරාව එතුමිය ඉතා හොඳින් දන්නා හෙයිනි.
මියෙන්මාරයේ අගනුවර වන ‘නයිපිඩෝ’ හිදී නොබෝදා, එතුමිය වර්තමාන ජනාධිපති කෙයින් සෙයින් හා සමඟත් සාකච්ඡා පැවැත්වූවා ය. යුද නායකයා මෙන් ම ජනාධිපතිවරයා ද, ඇයගේ නව පාලනයට ප්‍රසිද්ධියේ ම සහාය සපයන බව, ඒ සාකච්ඡාවේදී ප්‍රකාශ වූයේ ය. හැට නව හැවිරිදි ජනාධිපති කෙයින් සෙයින්, වරප්‍රසාද විරහිත පවුල් පසුබිමක් උරුම කොටගත් බුරුම නායකයෙකි. ජනාධිපතිවරයාගේ වර්තමාන, නිල නිවාසය, ඉතා විශිෂ්ට ස්ථානයකි. ‘ඕකිඩ්’ මල්වලින් සරසන ලද කාමර සියයක් පමණ සහිත ඒ මහා ගොඩනැඟිල්ලේ, ජනාධිපතිවරයා සතු ස්වර්ණාලේපිත ආසනය, තිදෙනෙකුට වුවත් ප්‍රමාණවත් සිහසුනකි. අවුං සාං සු කී කාන්තාවගේ පාලනයට නතුවන මියෙන්මාරය විචිත්‍ර දේශයකි. එහි වර්තමාන ජනගහණය හය කෝටියකි. ඊටත් වඩා විස්මය දනවන කරුණක් වෙයි. අද ලොව සිටින හීලෑ අලි - ඇතුන් විශාලතම සංඛ්‍යාව වෙසෙන්නේත් මියෙන්මාරයේ ය. මීට දශක කිහිපයකට පෙර, ලෝකයාගේ නොසැලකිල්ලට භාජන වී සිටි බුරුම දේශය, අද තියුණු ජගත් අවධානයට ලක්වන රාජ්‍යයකි. එයට හේතුව, මෙතෙක් මුල් බැසගෙන තිබුණු සංග්‍රාමික ආධිපත්‍යය ඉවත්ව ගොස් අද ඒ ඓතිහාසික දේශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් උදා වෙමින් පවත්නා හෙයිනි. ඉරවඩි මහා නදියෙන් පෝෂිත බුරුම දේශය, අද ලොව විශාලතම ජනගහණය සහිත මහා රාජ්‍ය ද්වය වන ඉන්දියාවත් චීනයත් අතර පිහිටා සිටින ඉපැරණි රාජධානියකි.
එහෙත්, අද ඒ රාජ්‍යය අනාගත සෞභාග්‍යය පිළිබඳ මාවතට එළඹ සිටී. බලයෙහි සිටින සමයයෙහි බුරුමයට පැමිණි ප්‍රථම ඇමෙරිකා ජනාධිපති තැන්පත් බැරක් ඔබාමා මහතා බුරුම සවාරියේ දී මෙසේ කීයේ ය. “ඉතා විශාල ජනකායකට ආභාසය සැපයීමේ බලය බුරුමය සතුව ඇත්තේ ය. යම් දේශයකට අතීතය අමතක කොට නව ප්‍රගතියක් කරා සංක්‍රමණය විය හැකි බව දක්වන රාජ්‍යය වර්තමාන බුරුමයයි.” මේ ප්‍රකාශය, සත්‍යය බවට පරිවර්තනය කිරීමේ වරප්‍රසාදය උරුමව සිටින්නී අවුං සාං සූ කි නායිකාවය. තාමත් බලයේ සිටින ජනාධිපති තෙයින් සෙයින් (THEIN SEIN). මේ නව නායිකාව කෙරේ දැඩි විශ්වාසය තබා සිටී. එහෙත්, කර්කශ පාලන සමයයේදි නම් අවුං සාං සූ කි යන නාමය සඳහන් කිරීම පවා මිනිසුන්ට තහනම් කොට තිබිණි. අවුං සාං සූකිගේ පාලනයට පක්ෂපාතී වන්නට වෙසෙසින්ම ජනාධිපති තෙයින් සෙයින් එකඟවීමට ඉතා ප්‍රබල හේතුවක් ඇත්තේ ය. ඔහු බුරුමයෙන් එපිට රාජ්‍යවල ප්‍රගතිය දැන සිටි පාලකයෙකි. සිය දේශයේ පරිහානිය ඔහුට අවබෝධ වූයේ ඒ තුලනාත්මක දර්ශනය නිසා ය. එක් කලක් බුරුමය, ලෝකයේ ම සහල් රට යවන රාජ්‍ය අතර ප්‍රථම තැන දිනාගෙන සිටියේ ය. එහෙත්, අද ඒ වෙළ හෙළදාම අවපාතගතවී තිබෙන ආකාරය මේ ජනාධිපති තෙයින් සෙයින් ඉතා හොඳින් දුටුවේ ය. අවුං සාං සූ කීගේ පාලනය කෙරේ ජනාධිපති ෙතයින් සතු බැඳීමට හේතු කාරක වූ තවත් එක කරුණක් වෙයි. 2008 දී ‘නාර්ගිස්’ නම් මහා සුළි සුළඟ, බුරුමයේ ඉරවඩි ඩෙල්ටාව සරස, විනාශකාරී ලෙස හමා ගියේ ය. ඉන් ජීවිත හානි එක්ලක්ෂ තිස් දහසක් පමණ සිදුවිය. එහෙත්, සංග්‍රාම නායකයෝ විදේශවල පිහිට ලබා ගන්ට කැමැති වූයේ නැත.
ජනාධිපති තෙයින් සෙයින්, නව නායිකා අවුං සාං සූ කිගේ පාලනයට ඉඩ දෙන්නට කැමැත්තේත් ඒ බෞද්ධ දර්ශනය නිසා ය. බුරුමයේ පාලනයට පත්වන ඕං සාං සූ කි නායිකාව හමුවට, විශාල ප්‍රශ්න රැසක් ඉදිරිපත්වන බව කාවිසිනුත් අවිවාදයෙන් පිළි ගැනෙන සත්‍යයකි. දරිද්‍රතාව ඉන් ප්‍රධාන තැනක් ගනී. සුළු ජාතිකයන් පිළිබඳ අර්බුදය ද එවැනිය. එවැනි ප්‍රශ්නකාරී අරකන් කඳුවැටිය ආශ්‍රිත ස්ථාන සතු විශේෂ ලක්ෂණයක් වෙයි. ලෝකයේ ‘සුදු අලි’ ඉතා ම අධික සංඛ්‍යාවක් ලැබෙන්නේ ඒ පෙදෙසෙනි. මේ වන අලි අල්ලන ගැමියෝ උන් හීලෑ කරගනු පිණිස, දින ගණනක් මුළුල්ලේ උන්ගේ සිත් නළවන ගී ගායන කරති. ඉන් ඒ වන අලි මඳක් හීලෑ වූ විට, ඒ ගැමියෝ මෘදු ලෙස ඒ වන අලින්ගේ ඇඟ පිරිමදිති. මේ අලුතින් මියෙන්මාරයේ පාලනය භාර ගන්නා අවුං සාං සූ කි මහත්මියටත්, මේ කලක් මුළුල්ලේ පැවති ජන අර්බුද ‘හීලෑ කොට’ ගන්නා පිණිස ඉතාම දැඩි පාලන ප්‍රයත්නයක යෙදෙන්නට වෙයි. සංග්‍රාමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇය හමුවට එන ප්‍රධාන ප්‍රශ්නයක් විය හැකි ය. බලය ලැබ සිටින ඕං සාං සූ කී කාන්තාව, විවාහ වී සිටියේ මයිකල් ඇරිස් නම් බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විද්වතෙකු හා සමඟයි. ඒ විද්වතා කිබ්බත හා හිමාලය සංස්කෘතීන් පිළිබඳ විශේෂඥයෙක් වූයේ ය. ඔහු, ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිදයාලයේ ද කථිකාචාර්යවරයෙක්ව සිටියේ ය. මේ දෙදෙනාට පුතුන් දෙදෙනෙකි. එතුමියගේ පියා, බුරුමය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් නිදහස් කොටගත් අවුං සාං නම් දේශප්‍රේමියායි. ඔහු 1947 දී ඝාතනයට ලක් විය. භාෂා හතරක් චතුර ලෙස ලෙළවන අවුං සාං සූ කි නායිකාව, දැඩි තෙරවාද බෞද්ධ උවැසියකි. භාෂා 4 : බුරුම, ඉංගිරිසි, ප්‍රංස සහ ජපන්) අවුං සාං සූ කි, ප්‍රථම වරට නිවාස අඩස්සියට පත්වූයේ 1989 දී ය. එතුමිය අද බුරුමයේ නව ජීවනය පිළිබඳ විශිෂ්ට ජනකාන්ත මූර්තිය බවට පත්ව සිටින්නී ය. හැත්තෑ හැවිරිදි ඇය හිසෙහි මල් පැලඳ ජන හමුවෙහි පෙනී සිටින විට, බුරුමයේ අනාගතය සේ ඈ පෙනී සිටින්නීය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |