![]() ![]() |
||
පින් සිදු වන්නේ - බර බාගේ ගී ලියූසී.ටී.ගේ ඥාති ගීත රචකයාආර්. එන්. එච් . පෙරේරා
“මගේ තාත්තත් ගීත රචකයෙක්. මමත් සංගීතයට ආසයි. ඒකයි මේ මහත්තුරු හැඳිනගෙන
කතා කරන්න ආවේ” ඔහු කීවේය. “එහෙනං ඔයාගේ තාත්තා ගරු කටයුතු කෙනෙක්. ගීත රචකයෙක් කිව්වාම...” අජන්තා සුපුරුදු උස් හඬින් සිනාසෙමින් අතට අත දී පිළිගත්තේය. “මගේ තාත්තා තමයි සී. ටී. ගයන “පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ”, “අම්බිලි මාමේ” වගේ ගීත රචනා කළේ.” “ඒවා අමරණීය සින්දුනේ... මොකක්ද තාත්තාගේ නම?” අජන්තා ඇසුවේය. “ආර්. ඇන්. එච්. පෙරේරා. මගේ නම ඇන්ටන් පෙරේරා.” අජන්තා ‘පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ...’ ගීතය මිමිණුවේය. එතැන් සිට ආර්. ඇන්. එච්. පෙරේරාගේ තොරතුරු සෙවීමට මම උත්සුක වීමි. පාසල් පුස්තකාලයෙන් මා කුඩා කල කියැවූ ‘කුමර කතා’ පොත් පෙළේ පියාසර කළ ඇතා, කුඩා වීරයා, හරිම පාඩම, පුදුම කිරුම සහ පසුව කියවූ ‘ජේන් අයර්’, ‘රුදුරු බලුව’ නම් පරිවර්තන කෘති ලියූ ලේඛකයා පෙරේරා කෙනෙකු වුවද ඔහු ආර්. ඇන්. එච්. බව මට මතක තිබුණේ නැත. පුතා කී පරිදි තම පියා ලියූ, සී. ටී. ප්‍රනාන්දු ගැයූ ‘අම්බිලි මාමේ’, ‘පින්සිදු වන්නේ’ ගීත අප පාසලේදීත්, විනෝද ගමන්වලදීත් කොතෙකුත් ගයා ඇත. මීට වසර 57කට පෙර වයස අවුරුදු 44ක් වැනි කෙටි කාලයක් ජීවත්ව මියගිය පෙරේරා මහතා ගැන වැඩි දුර විස්තර සොයා මම ගවේෂණයක යෙදුණෙමි. ලියනගේ රිචඩ් නාසියස් පෙරේරා 1914 සැප්තැම්බර් 01 වැනිදා ජාඇළ දෙහියාගතයේ උපත ලබා ඇත. දෙහියාගත පාසලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළත් විය. තම කුඩා කාලය ගැන ඔහු 1955 මැයි 29 වැනිදා ඉරිදා ‘සිළුමිණ’ පුවත්පතේ ‘කලා කලඹ’ නම් කලා තොරතුරු පිටුවෙන් “අපේ තාත්තා වෙන අය වගේ නොවේ” යයි මැයෙන් මෙසේ අදහස් දක්වා තිබිණි.
“බොහෝ කලාකාරයන්ට කලා මඟට බැසීම ගැන සිය මවුපියන්ගෙන් ධෛර්යය වෙනුවට ලැබෙන්නේ අපමණ ඇනුම් බැනුම් ඇසීමටය. එවැනි අත්දැකීමකට මුහුණ දීමට මට අවස්ථාව නොලැබිණි. මගේ පියා ද කලාකාමියකු නිසා මගේ පියා මා උසස් කලාකරුවෙකු වනු දැකීමට මහත් ආසාවෙන් සිටියේය. කුඩා කාලයේ සිට ම පියා හැම සහායක් දුන්නේය.”
ආර්. එන්. එච්. පෙරේරා මහතා ගැන තොරතුරු වඩා දන්නා තැනැත්තිය ඔහුගේ ලොකු දුව රංජනී පෙරේරා කරුණාසේනය. ඇය පදිංචිව සිටින්නේ මීගමුවේ ඒ. කේ. බී. පී. ප්‍රනාන්දු මාවතේ නිෙවසකය.
දෙහියාගාතේ උපත
“මගේ පප්ප දෙහියාගාතේ උපන්නේ. අම්මා මර්ලින් ඇන්ජලිනා ප්‍රනාන්දු මොරටුව කොරලවැල්ලෙ ඉපදුණේ. ජනප්‍රිය ගායක සී. ටී. ප්‍රනාන්දු අම්මගෙ මල්ලිගේ පුතා. අම්මයි පප්පයි දෙන්නම ගුරුවරු. අටබාගේ පාසලක උගන්වන කොට මේ දෙන්නා හමු වෙලා මිත්‍ර වෙලා තියෙන්නේ. 1942 ජනවාරි 14 වැනිදා අම්මයි, තාත්තයි විවාහ වෙන කොට උගන්වමින් සිටියේ කුලියාපිටියේ රෝමානු කතෝලික මිශ්‍ර පාසලේ. සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් සමන්විත අපේ පවුලේ වැඩිමලා මම. පවිත්‍රනාම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. කුසුම් කාන්ති ලන්ඩන්වල ඉන්නේ. දේවප්‍රිය මිය ගිහින්. ඇන්ටන් පදිංචි තලාහේනේ. මෛත්‍රී, රොහාන්, නිර්මලී ලන්ඩන්වල’’ තම පියා පවුලේ දරුවන්ට හොඳ යාළුවෙකු බව රංජනී කීවාය. දැඩි ශික්ෂණයකින් යුතුව දරුවන් හැදූ තම පියා කෑම මේසයේදී තමා කියවූ ඉංග්‍රීසි කතා රස කර කර කියා දී ඇත. පසු කාලීනව ‘කුමර කතා’ පොත් පෙළ බිහිව ඇත්තේ ඒ කතා පෙළගැස්වීමෙනි. පෙරේරා මහතා ගීත රචනයට පිවිසෙන්නේ 1943 වසරේය. ඒ සීදුව අන්ධ විද්‍යාල ගීතය, “ආලෝකේ කියා ලෝ කියන්නා” ගීතය ලියමිනි. එකල හැම ගීත රචකයාටම පාහේ බෝවී තිබුණ එක් භයානක රෝගයක් ගැන ඔහු 1955 වසරේ ‘සිළුමිණ’ පුවත්පතේ “අපේ ගීත ප්‍රබන්ධකයෝ” විශේෂාංගයෙන් අනාවරණය කොට තිබිණි. එනම් සෑම ගීතයකටම ආලය හා සම්බන්ධ කිසිවක් වස්තු කොට ගැනීමයි. තමා එයට පිටුපා ගීත රචනය කළ ගීත ප්‍රබන්ධකයෙකු බව ඔහු පවසා තිබිණි. ඔහු ප්‍රථමයෙන් ප්‍රබන්ධය කළ ‘කුරුලු විලාපය’ බොහෝ ප්‍රබන්ධකයින් නව මඟකට යොමු කළේය. ඔහුට ආලය නැතිව ද වන ලැහැබෙක වෙසෙන අහිංසක කුරුල්ලකුගේ නිදහස් දිවි පෙවෙතක් ගැන ගීත සියයක් වුවද ප්‍රබන්ධ කළ හැකි බව අවධාරණය කර තිබිණි. ‘කුරුලු විලාපය’ නමින් හැඳින්වූ මේ ගීතය රචනා වූයේ 1943 වසරේය.
“පින් සිදු වෙන්නේ
“සී. ටී. ප්‍රනාන්දු අන්කල් අපේ ඥාතියෙක් මෙන්ම පවුලේ මිත්‍රයෙක්. සී. ටී. ගේ අම්මා කුඩා කාලේම මිය ගිය නිසා අම්මාගේ පවුලේ අයයි එයාව හදා වඩා ගත්තේ. පුංචි කාලේ අපි පදිංචිව හිටියේ නුගේගොඩ පැලවත්තේ. සී. ටී. බෝඩින් වෙලා හිටියේ අපේ ගේ ගාව. හවස් කාලයට ඔහු ගිටාරයත් අරගෙන අපේ ගෙදර එනවා. පප්පා හදන ගීතවලට සී. ටී. අන්කල් ගිටාරය වයා තනුව නිර්මාණය කළා. ඒක විනෝද සාගරයක්. පුංචි අපි පප්පයි, අම්මයි, එක්ක මේ ගීත නත්තල් සමයේ ගයලා අපි සතුටු වෙනවා.” රංජනී කියන ආකාරයට තම පියා සැහැල්ලු, චාම්, විනෝදකාමී චරිතයක්. නුගේගොඩ එවක තිබුණු නාලන්දා විද්‍යාලයේ තම පියා ගුරුවරයකුව සිටි සමයේ “ශ්‍රී වික්‍රම රාජසිංහ” නාට්‍යය නිෂ්පාදනය කොට එහි රාජසිංහ රජුගේ චරිතය රඟ පෑ අයුරු තම දරුවන්ට පෙන්වා ඇත. දරුවන් සමඟ විනෝද වූවත් තද විනයක් අනුගමනය කළ පියා දරුවන්ගේ අධ්‍යාපනය ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ බවයි දියණිය කියන්නේ. සුරුට්ටුත් උර උරා හාන්සි පුටුවේ පප්පා ඉඳ ගෙන, අහස දිහා බලාගෙන ඉන්නවා. සී. ටී. අන්කල් ගිටාරය අතේ තියාගෙන බලා ඉන්නවා. “රිචඩ් හොඳ ටියුන් එකක් ආවා.” සී. ටී. අන්කල් තාත්තට කියනවා. ඔහු වාදනය කරන විට තාත්තාගේ සුරුට්ටුවේ දුම් රොටු වැඩි වැඩියෙන් ඉහළට යනවා. “සිරිල්... මෙහෙම අදහසක් හොඳ ද?” තාත්තා සී. ටී. අන්කල්ට කිව්වේ සිරිල් කියලා.
කූඹි කැලේ ගුවන් විදුලිය
දැන් ටිකක් රෑ වෙලා. සිසිල් සුළං හමා එනවා. පප්පා සුරුට්ටු කොටය මිදුලට වීසි කරලා ‘සිරිල් යං ගෙට...’ කියලා ලියන මේසේ ගාවට යනවා. ඒ කාලේ අපේ නිෙවසට විදුලිය තිබුණේ නෑ. හරිකේන් ලාම්පුව අම්මා දල්වලා මේස උඩ තියලා. තාත්තා කඩදාසියක් අරං ලියගෙන ලියාගෙන යනවා.
“සිසිල් සුළං හමන්නේ
රංජනී තම පියාගේ ගීත ඇතුළත් (His Masters Voice) තැටි පණ මෙන් සුරකින්නීය. පුහුණු වූ පළමු පෙළ ගුරු සහතික ලත් දක්ෂ ගුරුවරයකු වූ හෙතෙම තමා උගත් ශාන්ත ජෝසප් විද්‍යාලයේ ද ආචාර්යවරයකු ලෙස සේවය කොට පසුව ලංකා ගුවන් විදුලියේ සිංහල අංශයේ නියෝජ්‍ය සංවිධායක ලෙස කටයුතු කර ඇත. ඒ ගුවන් විදුලිය ටොරින්ටන් මාවතට ඒමට පෙරය. එවක ගුවන් විදුලිය පිහිටා තිබුණේ කොළඹ කූඹි කැලේ නම් ස්ථානයේ බව දියණියට පියා පවසා ඇත. පසුව ඔහු ඇම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රචාරක අංශයේ ප්‍රධානියා විය. “පප්පා පොත් කියවන්න රුසියා. අපේ ගෙදර පුස්තකාලයක් තිබුණා. පොත් ලියන්න කියලා පප්ප ඇලඩින් ලාම්පුවක් ගෙදර ගෙනාවා. පප්පා ලිව්වේ ෆවුන්ටන් පෑනෙන්. පප්පා 1955 වසරේ පරිවර්තනය කළ “ජේන් අයර්” පොතේ ප්රූෆ් (සෝදුපත්) බැලුවේ මම. එතකොට මට වයස අවුරුදු 12 ක් විතර ඇති. ඊළඟට ‘රුදුරු බලුව’ පප්පා ලිව්වා. ඒකේ සෝදුපත් බැලුවෙත් මම. වැඩිමහල් දරුවා ලෙස මම වක්‍රව ලේඛන කලාවට යොමු කරන්න පප්පා හිතන්න ඇති. ව්‍යාකරණ පාඩම් පප්පා මට කියලා දුන්නා. ඒ නිසා අදත් මට කියවන පොත්වල, පත්තරවල ව්‍යාකරණ වැරැදි අහුවෙනවා.” රංජනී කියයි.
සිළුමිණ සම්මානය දිනයි
ගීත රචනයට අමතර ලේඛන කලාවේ ද නිරත වූ පෙරේරා සූරීන්ගේ “ලුවී පාස්චර්” හා “ග්‍රීක ජන කතා” පොත් පාසල් පොත් ලෙස භාවිත විය. “ශ්‍රේෂ්ඨ කෙටිකතා” නම් ලිහිණි පොතට පසුබිම් වූයේ ආර්. එල්. ස්ටීවන්සනුන් විසින් ලියන ලද කෙටිකතාවල සිංහලානුවාදයයි. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් මඟින් පරිවර්තන කෘතියකට මුල් වරට සම්මානයක් පිරිනමා ඇත්තේ මීට හැට වසරකට එපිටය. ඒ ගෞරවය හිමි වන්නේ “සිළුමිණ” පුවත්පතටය. 1955 වසරේ නොවැම්බර් මස 06 වැනිදා “සිළුමිණ” මුල් පිටුවේ සඳහන් වූ පරිදි විවිධ විෂයයන් හතක් සඳහා සම්මාන පිදීමට සැලසුම් කළත් 1955 වසරේ පළ වූ හොඳම පරිවර්තනයට රුපියල් දහසක ත්‍යාගයක් (1956 දෙසැම්බර් 16 වැනිදා සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ සඳහන් අන්දමට) පිරිනැමී ඇත්තේ ආර්. එන්. එච්. පෙරේරා මහතාටය. සර් ආතර් කොනන් ඩොයිල් ලියූ The Hound of Baskervilles නම් කෘති මේ කෘතියට පසුබිම් වූයේ Sherlock Holmes නම් රහස් පරීක්ෂකයාගේ වික්‍රමයන් ය. 1955 වර්ෂයේ පළ වූ පොත් අතරින් හොඳම පරිවර්තන කෘතියට හිමි මුදල් ත්‍යාගය පිරිනමා ඇත්තේ මාලේවන ඤාණිස්සර හිමියන් විසිනි. සම්මාන දිනූ පෙරේරා මහතාම එහි දෙවන ස්ථානය ද හිමිකර ගැනීම තවත් සුවිශේෂ සිද්ධියකි. එනම් චාලට් බ්‍රොන්ටිගේ “ජේන් අයර්” කෘතියේ සිංහල අනුවාදයයි. පී. ආර්. වික්‍රමසිංහ විසින් පරිවර්තනය කරන ලද “දෙනුවර අන්දරය” කෘතිය තෙවැනි ස්ථානයටත්, ඩී. සී. රණසිංහ පරිවර්තනය කළ “ඩේවිඩ් කොපර්පීල්ඩ්” සිවුවැනි ස්ථානයත්, බී. ශාන්ති දේව හිමියන් පරිවර්තනය කළ “අදිසි මිනිසා” කෘතිය පස්වැනි ස්ථානයටත් පත්විය. මේ සියලු ග්‍රන්ථ ගුණසේන ප්‍රකාශන වීම තවත් විශේෂයකි. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ එවක විදුහල්පතිව සිටි එස්. ඒ. විජේතිලක මහතා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් විසින් එම පොත් තෝරා ඇත. ආර්. එන්. එච්. පෙරේරා මහතා දක්ෂ පරිවර්තකයකු වුවද කලා ක්ෂේත්‍රය හඳුනන්නේ ගීත රචකයකු ලෙසය. ඔහු රචනා කළ ගීත අතර ජන ගී ආරෙන් ලියූ සී. ටී. ප්‍රනාන්දු ගැයූ මේ ගීතය එකල ජනප්‍රිය වී ඇත.
“බර බාගේ - බර බාගේ
(එච්. එම්. වී. - W.N. 82) ආර්. එන්. එච්. ලියූ තවත් ගීතයක් (H. M. V. - W. N. 70) තැටියට ඇතුළත්ව ඇත.
සුවඳ රෝස මල් නෙළා
ඔහු ලියූ ගීත අතර සී. ටී. ගැයූ “හිරු දෙව් රජ බැස යන්නා” “සුර කිව් සිංහල දීපේ පතුරව් කිතුගොස නාදේ” “මා ලංකා මෑණියේ” “මේ වෙසක් දිනේ” (වෙසක් ගීතය) “තුරු කැලෑ - හිස තබා - කුසුමා පුදනා මේ මසා” (මැයි ගීතය) කැපී පෙනෙයි.
සුනිල් සාන්ත ඇසුර
“පප්පා ඇවිදින්න හරිම ආසයි. අන්තිමට හිටියෙ ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස. පප්පා වගකීම් සහිතයි. සමකාමියි. අපි වරදක් කළොත් කෝටුවක් අරගෙන ගහනවා. ඒ වගේම පප්පා හරිම කරුණාවන්තයි. පප්පා ඕනෑම ප්‍රශ්නයක් විසඳුවේ උපහැරණවලින්. අපිට ගහලා - පප්පා මෙහෙම කියනවා.” ගහල හදන්නේ නැති දරුවා හැඳි නොගා හදන කිරි හොද්ද වගේ කියලා. මට නිතරම කියන දෙයක් - “රංජි කොපමණ බඩගිනි වුණත් සිංහයා කිසිදාක තණකොළ කෑවේ නෑ. ඒක හොඳට මතක තියා ගන්න.” පප්පා මාළු මිරිස් හා කරවිල උයලා කන්න හුඟාක් කැමැතියි. කලාකරුවන් අතරින් සී. ටී. අන්කල් ඇරුණාම පප්පා ළඟින් ඇසුරු කළේ ඥාතියෙකු වූ සුනිල් සාන්ත, ලයනල් ලොකුලියන, සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්.” රංජිනි කීවාය.
පරිවර්තන කළ හැටි
පවුලේ හයවැනියා වූ ඇන්ටන් පෙරේරා තම පියාගේ මතකය අවදි කළේ මෙසේ ය. ඔහු කොළඹ 7, 80 CLUB හි සාමාන්‍යාධිකාරවරයාය. “පප්පා මිය යන විට මට අවුරුදු 8 යි. ඒ වගෙ වෘත්තීය ජීවිතයට කැප වූ කෙනෙක් මම දැකලා නෑ. පුංචි කාලේ අපිට නත්තල් දවස කිට්ටු කරලා පප්පා අපිව ළං කර ගෙන මෙහෙම කියනවා - “ඔයගොල්ලෝ අද වේලපහින් නිදා ගන්න. නත්තල් සීයා තෑගි ගෙනත් කොට්ටය යට තියලා යාවි.” අපි සේරම වේලාසන නිදා ගන්නවා. උදේ බැලින්නං තෑගි ගොඩාක් කොට්ටේ වටේ. හැබැයි අනිවාර්යයෙන්ම චාල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ට්විස්ට්, ඩේවිඩ් කොපර්පිල්ඩ්, ක්‍රිස්මස් කැරෝල් වගේ පොත් තිබුණා. පප්පා පොත් පරිවර්තනය කරන්නේ අමුතු විදිහකට. රංජනී අක්කා පප්පා ගාව ඉන්න ඕනෑ. මම්මා ඉඟුරු තේ හදලා ගෙනත් දෙනවා. පප්ප තමා පරිවර්තනය කරන ඉංග්‍රීසි පොතේ ඉවර වූ පිටු ගලවලා පැත්තක තියෙනවා. පප්පා කියන්නේ එහෙම කළාම හිතට සහනයක් ලැබෙනවා හුඟාක් වැඩ ඉවරයි කියලා. අපි හිතමු “ජේන් අයර්” කියලා. ඒ පොත පප්ප දහ දොළොස් වරක් කියවලා හිතේ ධාරණය කර ගෙන පිටුවෙන් පිටුව හිතින් සිංහලයට දා ගන්නවා. මේසෙ ඉඳ ගෙන පිටුවක් පරිවර්තන කරනවා. මුල් පොතේ පිටුව ඉරලා පැත්තකින් තියා ගන්නවා. පප්ප පොත් පරිවර්තනය කළේ එහෙම. “මිනිසුන්ට කරුණාව දක්වන්න. පුළුවන් හැම විට ම හැකි උදව්වක් කරන්න. ඔවුන්ගේ පුංචි හොඳක් හෝ අගය කරන්න. පුංචි මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න. හැම විටම සිනා මුසු මුහුණින් ඔවුන් දෙස බලන්න.” මේ විදිහට පප්ප අපට අවවාද දුන්නා. තාත්තා මුළු ලෝකයේ ම සිටි හොඳම මහජන සම්බන්ධතා නිලධාරියා වෙන්න ඇති. මගේ ජීවිතයේ වසර 40ක්ම කළ රාජකාරිවලට මහජන සම්බන්ධතා නිලධාරිකමත් එක කොටසක්. මගේ රැකියාවේ ද පුංචි මිනිසුන්ගේ ප්‍රශ්න නිරවුල්ව විසඳන්න මගෙ පප්පාගේ ජානවල පිහිට ලැබෙන්න ඇති.” ඇන්ටන් කීවේය.
ඇන්ටන්ගේ ගායන ලීලය
ඇන්ටන්ට ගීත ගැයීමට පුළුවන. ඔහු පප්පා ලියූ ගීත ක්ලැරන්ස් විජේවර්ධන ලවා නව සංගීතය යටතේ සංයුක්ත තැටියක් “පියා ලියූ ගී පුතුගේ හඬින්” නමින් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියත් ක්ලැරන්ස්ගේ අභාවය නිසා එය නතර විය. “මගේ පප්පා අන්තිම කාලේ එමලි බ්‍රොන්ටේ ගේ වදරිං හයිට්ස් කෘතියත්, පර්ල් එස්. බක් ලියූ කෘතියකුත් පරිවර්තනය කරමින් සිටියේ. පප්පට පරිවර්තනය කරන්න පුළුවන් වුණේ එයින් බාගයක් විතරයි. ඉවර කරන්න බැරි වුණා. මගේ පප්පා උතුම් මනුස්සයෙක්. තව කලක් ජීවත් වුණා නම් අපි කොයිතරම් වාසනාවන්තයෝ ද? ලුණුවිල පොල් පරීක්ෂණාගාරයේ වත්තේ ඇවිදිමින් සිටිය දී අසනීප වී පප්ප 1958 දෙසැම්බර් 03 වැනිදා දෙව් මවු තුරුලට ගියා.” ඇන්ටන් කඳුළු පිරි දෙනෙතින් කියයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |