කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ
වැලපෙන ගැහැනිය

එළුවෙකුගේ මූර්තියක් ඇඹීමේ අදහස ඇතුව ඒ සඳහා ප්‍රයෝජනවත් විය හැකි ද්‍රව්‍ය ඔහු වාත්තු කරන්නට විය. ඔහු දිනපතා ම සුන්බුන් ගොඩ ඇවිස්සූ අතර, සුන්බුන් ගොඩ වෙත යන්නට පෙර, කලාගාරයට යන අතරේ මුණගැසෙන ඉවත ලන දෑ බහාලූ ඕනෑම බැරලයක් ඔහු ඇවිස්සුවේය. කුඩා දරුවන් හිඳුවා තල්ලුකරගෙන යන පුංචි කරත්තයක් ඇදගෙන මම ඔහු සමඟ ගමන් කළෙමි. අතරමගදී හමුවන, ප්‍රයෝජනවත් යැයි ඔහුට සිතුණු ඕනෑම සුන්බුන් කැබැල්ලක් අහුලා ඔහු කරත්තයට තුළට දැම්මේය. අහුලා ගත් දෙය පුංචි කරත්තයේ ගෙන යා ‍නොහැකි තරම් ‍ලොකු නම් ඔහු ඒ සඳහා පසුව සිය කාරය යැව්වේය. පරණ වේවැල් කූඩයක් එක් උදෑසනක ඔහු අහුලා ගත්තේ එසේය.

“එළුවාගේ ඉල ඇට කූඩුවට ඒක තමයි මට ඕනෑ කරන්නෙ....’ ඔහු කීවේය.

ඊට දිනකට හෝ දෙකකට පසු රැමී නෝනාගේ මැටි බඳුන් වෙළෙඳසලේ දී මැටියෙන් තැනුණු, අපේක්ෂිත හැඩයට නිර්මාණය නොවීම නිසා ඉවත දමන ලද, කිරි කෙණ්ඩි දෙකක් හමුවිය. “ඒවා නිසි පරිදි ක්‍රමිකව හැඩ ගැන්වුණු ඒවා නොවේ. ඒවා හරිම විපරීත හැඩයේ කිරි කෙණ්ඩි. කමක් නෑ මට ඒවායේ පතුලයි, අඬුයි කඩලා අයින් කළාට පස්සෙ එළුවගෙ තනපුඬුවලට හරියටම හරියාවි.” ඔහුගේ අදහස විය. ඉන්පසු, ඊට අවුරුදු දෙකකට පමණ පෙර උදෑසන වෙරළේ ඇවිදිමින් සිටියදී ඔහු අහුලා ගත් පාම් අත්තක් ගැන ඔහුට මතක් විය. ඒ වෙලාවේ ඔහුට එහි ප්‍රයෝජනවත් බවක් පෙනුණත්, ඒ වෙලාවෙම යමකට යොදා ගන්නට තරම් ප්‍රයෝජනයක් නොදුටුවේය.

එයින් කැබැල්ලක් එළුවාගේ මූණට යොදාගත හැකි බව පසුව ඔහුට කල්පනා විය. ඔහු එය කට හා නාසය සුදුසු ප්‍රමාණයන්ගෙන් පෙන්වීම සඳහා මඳක් කපා සකස්කොට ගත්තේය. එයින් තවත් කොටසක් පිටකොන්දට යොදා ගැනිණි. අං, මිදි කෝටුවලින් ද, කන් කාඩ්බෝඩ්වලින් ද කපා ඒවා ප්ලාස්ටර්වලින් ද පුරවන ලදී. කකුල් තැනුණේ සිහින් කොටන් මෙන් දිස් වුණු ලී කෝටුවලිනි. පස්සා කකුල්වලට ගත් කෝටුවල කකුල් හන්දිමෙන් දිස් වූ ගැට ද, නැමුම් ද තිබුණේය. සුන්බුන් ගොඩෙන් ලබාගත් ලෝහ පටි හා රිටි කම්බි ගාත් තුළට ඔබන ලද්දේ ඒවා මතුකර පෙන්වීමට හා කෝණික හැඩයක් හා කෙට්ටු බවක් පෙන්වීම සඳහාය.

ඕනෑම ශරීරාවයව විස්තරයක් - විශේෂයෙන් ම ලිංගික අවයව පිළිබඳ විස්තර - නොසලකා හරින්නට පැබ්ලෝ කැමති නොවීය. ඉතා පැහැදිලිව එළුවාගේ ගෑනු, පිරිමි බව ප්‍රමාණවත් පැහැදිලි ආකාරයකින්, කෙනෙකු ඒ පිළිබඳව සැකයක් ඇතිකර නොගන්නා ආකාරයට දැක්වීමට ඔහු උත්සුක විය. පහළට එල්ලා වැටුණු දිග තනපුඩු දෙක මේ සඳහා ප්‍රමාණවත් වුවද, ඔහු එයින් සෑහීමකට පත් නොවීය. බෙලෙක් ටින් එකක පියනක් ගත් ඔහු එය හතරෙන් තුන් පංගුවක් පමණ වැසෙන සේ දෙකට නමා විවර වූ පැත්ත පිටතට සිටින සේ පස්සා කකුල් අතර බදාමයට සවි කළේය. ගෙතූ තඹ කම්බි දෙපොටකින් සාදන ලද වලිගය උඩට ඉස්සිණි. හරියට ම වලිගයට යටින් අඟලක පමණ විෂ්කම්භය ඇති කොට පයිප්ප කෑල්ලක් ප්ලාස්ටරයට ඔබන ලද්දේ අධෝමුඛය පෙන්වීමටය. හිඩැස් ප්ලාස්ටර්වලින් පුරවා, නිර්මාණය වේලෙන්නට හරින ලදී. එළුවා නිර්මාණය වූයේ එසේය.”

පැබ්ලෝ පිකාසෝ සමඟ ඔහුගේ පෙම්වතියකව කලක් එක්ව ජීවත් වූ ප්‍රංශුවා ශිලෝ තම අත්දැකීම් ඔස්සේ පි‍කාසෝගේ කලා ක්‍රියාකාරකම් පිළිබඳව එලෙස සඳහන් කරයි. ඇය ද චිත්‍ර ශිල්පිනියකි. පිකාසෝට දාව දරු දෙදෙනෙකුග් මවක වූ ඇය පිකාසෝ සමඟ දස වසරක් දිවි ගෙවා ඔහු හැර ගියාය. පසුව ඕ ප්‍රංසයේ පැරිස් හා සෝර්බෝන් සරසවියෙන් චිත්‍රකලා උසස් අධ්‍යාපනය ලදුව ආචාර්ය උපාධිය ලබා ගත්තාය.

විසිවැනි සියවසේ ලෝක කලා ඉතිහාසයේ දැවැන්ත චරිතයක් ලෙස කලා ක්‍රියාකාරිත්වයේ අනලස්ව ප්‍රෝත්සාහි වූ පිකාසෝ ගේ ජීවිතය හා කලාව තේරුම් ගැනීම සඳහා එම ජීවිතාවලෝකනය ඉතා වැදගත් වේ. මෙම අත්දැකීම් රචනයේ මුල් කෘතිය සිංහල භාෂාවෙන් ම රචනා වූවක් යැයි කියවන්නෙකුහට හැඟෙන පරිදි මාලිනී ගෝවින්නගේ නම් ප්‍රවීණ පරිවර්තිකාව පාඨනලෝලී වූ බස හැසිරවීමකින් “Life with Picasso” කෘතිය සිංහල භාෂාවට දායාද කරනුයේ “මගේ පිකාසො” නමිනි.

පැබ්ලෝ පිකාසෝ

ප්‍රංශුවා මෙම කෘතිය ඇමරිකානු කලා විචාරකයෙකු හා ලේඛකයෙකු වන කාල්ටන් ලේක් සමඟ සම කර්තෘත්වයෙන් ඇමෙරිකාවේදි ප්‍රකාශයට පත්කරනුයේ පිකාසො ජීවත්ව සිටියදීමය. එනම් 1964 දීය. ඒ වන විට පිකාසො අසූතුන් වැනි වියේ පසුවිය. කෙසේ නමුදු මෙම කෘතිය ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සඳහා ඔහු තෙවතාවකදීම නීති මඟින් කටයුතු කළ ද එය ඉටුවී නොමැත.

නූතනවාදී චිත්‍රකලාවේ ඝනිකවාදි දැනුම ගවේෂණය කළ, විශ්ලේෂණාත්මකව චිත්‍ර කලා දැනුම ‍ගොඩනැඟූ, දෘශ්‍ය කලාවේ විවිධ ආකෘතිමය අත්දා බැලීම්වල නිරත වූ පිකාසො ගේ කලා ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම යනු අද දවසේ ද නැවුම් ක්‍රියාවලියකි. කලා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද එය ඉතා වැදගත් වූවකි. කලාකරුවෙකුගේ ජීවිතයත්, එය කලා කෘති උත්පාදනය අතර පවතින සබැඳීයාවේ සංකීර්ණතාව හඳුනා ගැනීමටත් ඒ තුළින් මඟ සැලසේ. එබැවින් එය කලා අධ්‍යයනය පූර්ණ කරවන්නකි.

පිකාසො නම් දැවැන්ත දෘශ්‍ය කලා යෝධයාගේ අධ්‍යාත්මය දෙස බලන්නට, ඔහු‍ගේ ප්‍රබලතා සේම දුබලතා දෙස ද දකින්නට, ඔහු තුළ සැඟවුණු වැන්ගෝමය ආත්මය දකින්නට මෙන් ම පිකාසො නම් පිරිමි චරිතය දෙස ගැහැනියකගේ අධ්‍යාත්මය තුළින් දකින්නට මෙම කෘතියේ දි අපට ආරාධනා කරයි.

පරිවර්තන කෘතියෙන් ඉහත දී උපුටා දක්වන ලද කොටස නිදසුනකට ගතහොත් ඒ වූ කලී දෘශ්‍ය කලාව මැනවින් සාහිත්‍යයට රැගෙන ඒමකි. පිකාසොගෙ ප්‍රකට “එළුවා” මූර්තිය භාෂා වියමනක් තුළින් එහි දෘශ්‍ය රස වින්දනයට වෙනත් මානයක් රැගෙන ඒමකි. එය කලා විචාරය, කලා ඉතිහාසය ආදි වූ රචනයක් නොව ඇසින් දුටු සාක්ෂි දැක්වීමකි.

“මගේ පිකාසො” කෘතිය සත්‍ය අත්දැකීම් පදනම් ව උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයකින් ගොඩනැඟෙන අතීත ස්මරණ සමුදායක් නමුදු ප්‍රබන්ධ රචනයක් පරිදි අඛ්‍යානමය ගොඩනැඟීමක් මෙන් ම දාර්ශනික ගති ලක්ෂණයන් ද ගැබ්ව පවතී.

පිකාසො ඇසුරු කළ අනිකුත් චිත්‍ර ශිල්පීන්, කවියන්, දාර්ශනිකයින් පිළිබඳව හා ඔවුන් සමඟ පැවති සංවාද, ඔහු කලාවේ නිමග්නව සිටි ආකාරය, අනිකුත් සමකාලීන චිත්‍ර ශිල්පීන්ගේ කලා නිමවුම් රසවිඳීම්, කලා ඉතිහාසය මතින් ඔහු ලද පරිචය ආදි බොහෝ තොරතුරු මෙහිදි නිරාවරණය වේ.

පරිවර්තන පඨිතය තුළදි හමු නොවන කෘතිය පිළිබඳව පරිවර්තිකාවගේ අදහස් පිළිබඳව සම්මුඛව විමසීමේදී මාලිනි සඳහන් කළේ ප්‍රංශුවා නම් ගැහැනිය ගැන ඇයට පුදුම හිතුණු බවයි. මුල් කෘතිය එක දිගටම කියවූ බවත්, දිගු කලක සිටම තමා දැන හඳුනාගත් සමීපතම මිතුරියක ලෙස ප්‍රංශුවා ඇගේ හදවතට දැනුණු බවත් ඇය සඳහන් කරයි.

ප්‍රංශුවා ශිලෝ

“වයස අවුරුදු විසි එකේ දී තරම් යෞවන වියේදි තමයි ප්‍රංශුවාට පිකාසො මුණගැසෙන්නේ. ඒ වනවිටත් ඇය බුද්ධිමත් තරුණියක්. ශිෂ්‍ය ක්‍රියාකාරිනියක්. මේ කාලය තමයි ජර්මනිය විසින් ප්‍රංසය අත්පත් කරගන්නා අවදිය. ඇය තම මිතුරියක් සමඟ චිත්‍ර ප්‍රදර්ශනයකට සූදානම්ව සිටින විටයි ඇයට පිකාසො මුණගැසෙන්නේ. ඇය එඩිතරයි. ඒ වගේ ම මානුෂික ගුණාංග ඇය සතුයි. ඊට පෙර පිකාසො ඇසුරු කර අත්හළ ඔහුගේ බිරියන්, පෙම්වතියන් දෙස ඇය බැලුවේ මානුෂික ලෙස. ප්‍රංශුවාගේ තවත් විශේෂත්වයක් තමයි ඇය විසින් ම පිකාසො අතහැර යෑම. ඊට පෙර තම බිරින්දෑවරු හා පෙම්වතියන් අතහැර දැමුවේ පිකාසො විසින්.

ඇය ආත්මීයව කඩා වැටුණේ නැහැ. අනිත් අය ආත්මීයව කඩා වැටුණා. ඔහුගේ එක පෙම්වතියක් වුණු ඩෝරා මාරි මානසික සංකූලතාවයෙන් පීඩා විඳලා මිය ගියේ. පිකාසො “වැලපෙන ගැහැනිය” ලෙසින් ඇන්දේ ඩෝරා මාරි.” පරිවර්තිකා මාලිනි ගෝවින්නගේ සඳහන් කරයි. එමෙන් ම කෘතියෙන් නිරූපණය වන පිකාසො චරිතය පිළිබඳව මුලින් තරහක් ඇතිවූ බවත් පසුව ඔහු පිළිබඳව අනුකම්පාවක් වැනි හැඟීමක් ඇති වූ බවත්, ඔහු තනිකමකින් පෙළුණු ආකාරය කෘතිය පුරාම දැකිය හැකි බවත් මාලිනි තවදුරටත් සඳහන් කරයි.

නැවතත් අපි ප්‍රංශුවාගේ මතකය ඔස්සේ පිකාසො ට සවන් දෙමු.

“ඔබට පේනවද බොකුටු හිසකෙස්? ඒ රැවුළ තියන මේ සැඩපරුෂ චරිතය... ඒ තමයි රෙම්බ්‍රාන්ට්. එහෙම නැත්නම් බල්සාක්... මට හරියටම කියන්ඩ බෑ.... මං හිතන්නෙ ඒක ඒ දෙන්නගේ සන්ධාන ගතවීමක්. ඒකට කාරි නෑ... මගෙ හිත ඇතුළෙ සැරිසරන අයගෙන් දෙන්නෙක් විතරයි. හැම මනුෂ්‍යයෙක් ම මුළු ජනපදයක්. ඔබට තේරෙනවද?”

පිටු පන්සිය හතළිස් හතක් පුරා දිවෙන පරිවර්තන කෘති‍ෙය් පසු පිටුවට ද යොදා ගනු ලැබූ ප්‍රංශුවාගේ උපේක්ෂාශීලී ආත්මීය සටහන මෙ අයුරිනි.

“අපේ මිතුදම අප දෙදෙනාගේ ම ජීවිතවලට ආලෝකය ගෙනෙනු ඇතැයි ඔහු පැවසීය. මා ඔහු වෙත පැමිණීම ඔහුගේ ජීවිතයට කවුළුවක් විවර වීමක් බඳු යැයි ද, එය හැමදාමත් නො වැසී තිබීම දැකීම ඔහුගේ කැමැත්ත යැයි ද කීවේය. එම කවුළුව තුළින් අලෝකය ගලා ආ තාක් කල් මම ද ඔහු සමඟ රැඳුණෙමි. තවදුරටත් එයින් ආලෝකය ගලා නොආවිට මම එය වසා දැමුවෙමි.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]