කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Hollywood

Hollywood

ටේලර්ව රැකගන්න ‘කිඹුලෙක්’

“අපි වේදිකාවෙ පිටුපස තැනකයි වාඩිවෙලා හිටියෙ. එයා වේදිකාවට ආවෙ හරියට ජනාධිපතිවරයෙක් එනවා වගෙයි. ආරක්ෂක භටයො පිරිවරාගෙනයි ආවෙ. මීට කලින් ‘වන් ඩිරෙක්ෂන්’ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවෙදිත් සමහර නගරවල කලබල ගතියක් තිබුණා. ඒත් මේ තරම් කලබලයක් තිබුණෙ නැහැ.”

මේ කතාව කීවේ ගීත රසිකයෙක්. ඔහු එලෙස ජනාධිපතිවරයකුට සමාන කළේ සුපිරි ගායිකාවක්. ඇය තමයි, ටේලර් ස්විෆ්ට්. මේ සුපිරි තරුව පසුගිය දා ඔස්ට්‍රේලියාවට පැමිණ ප්‍රසංග කිහිපයක් පැවැත්වූවා. ඒවා නරඹන්නට අති විශාල රසික පිරිසක් පැමිණියා. ඒ අතරම සීමිත පිරිසක් එක්රොක් වූ ප්‍රසංගයක ද ඇය ගී ගැයුවා. කලින් කී රසිකයා නැරැඹීමට පැමිණියේ ඒ ප්‍රසංගයයි.

“ටේලර් ස්විෆ්ට් වටේ හිටපු ආරක්ෂක නිලධාරීන් හතර දෙනෙක් තමයි, එයාට වැඩි ආරක්ෂාවක් ලබා දුන්නේ. ඒ අතරින් එක් කෙනෙක් ලොකු විමසිල්ලකින් හිටියේ, ප්‍රසංගය බලන අය තම තමන්ගෙ ෆෝන් වලින් වීඩියෝ කරනව ද බලන්නයි. ඒකට එයා ඉඩ දුන්නෙම නැහැ.

එක් රසිකයෙක් ටේලර් ස්විෆ්ට් වේදිකාවට එන්න කලින් එයත් එක්ක ‘සෙල්ෆී’ එකක් ගන්න හැදුවා. අර ආරක්ෂකයා ඒ වෙලාවෙ එතනට පැන්නෙ කිඹුලෙක් වගෙයි.” රසිකයා තවදුරටත් කීවා.

වන්ඩිරෙක්ෂන් + එන්රිකේ 

එන්රිකේ ඉග්ලේසියස්. යොවුන් පරපුරේ හදවත් දිනාගත් ගායකයෙක්. මේ වන විට 40 වැනි වියෙහි පසුවුණ ද ඔහුගේ ගීතවත් හඬ තාරුණ්‍යයෙන් ඈත්වී නැහැ. ඒ නිසාමදෝ වත්මන් බටහිර සංගීත ලොවේ ජනප්‍රියත්වයේ කිරුළ දරන යොවුන් ගායක කණ්ඩායමක් වන ‘වන් ඩිරෙක්ෂන්’ පිරිස එන්රිකේ සමඟ ගී ගයන්නට පෙරුම් පුරමින් සිටිනවා.

මේ වන විට ‘වන් ඩිරෙක්ෂන්’ කණ්ඩායම විසිරී ගොස් තිබුණත් ඔවුන් උත්සාහ කරන්නේ නැවත එක්වී එන්රිකේ සමඟ අලුත් ගමනක් ආරම්භ කරන්නටයි. පසුගිය නොවැම්බර් 26 දා රූපවාහිනී චැනලයක වැඩ සටහනකදී ‘වන් ඩිරෙක්ෂන්’ ගායකයකු වන හැරී ස්ටයිල්ස් ප්‍රකාශ කර තිබෙනවා.

මේ සඳහා එම ගායක කණ්ඩායමේ ලියම් පානේ ගේ එකඟත්වය ද ලැබී ඇතැයි පැවසෙනවා. සෙසු ගායන ශිල්පීන් ද එන්රිකේ සමඟ ගී ගයන්නට කැමැති බවයි හැරී පවසා ඇත්තේ.

‘එන්රිකේ ගේ අලුත්ම ගීත ඇල්බම් එකට මම ගොඩක් ආසයි. ඒ ගීතවල එයා අපූරුවට නටනවා.’ මෙලෙස පැවසුවේ ලියම් පානේ.

‘ප්ලේ බෝයි'ට නිරුවත එපාවෙයි

‘ප්ලේ බෝයි’ නම් වූ ලොව ප්‍රකට සඟරාව ශ්‍රී ලංකාව වැනි රටවල දකින්නට නැහැ. ඒ වුණත් සඟරාවේ නම කියූ සැණින්ම එය කුමන අන්දමේ ප්‍රකාශනයක්දැයි බොහෝ දෙනකු දන්නවා. ජනප්‍රිය නිළියන් සහ නිරූපිකාවන්ගේ අඩ නිරුවත් ඡායාරූපවලින් සැරසුණු ‘ප්ලේ බෝයි’ සඟරාව ප්‍රකාශයට පත් කිරීම ඇරැඹුණේ 1953 දී ඇමෙරිකාවේදීයි. මෙහි නිර්මාතෘවරයා වන්නේ තවමත් එහි ප්‍රධාන කර්තෘ ධුරය දරන 89 හැවිරිදි හියූ හෙෆ්නර්.

1953 සිට මේ දක්වා මුද්‍රණය වූ ‘ප්ලේ බෝයි’ සඟරාවේ හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියන් ද අඩ නිරුවතින් ඡායාරූපවලට පෙනී සිටිය බව රහසක් නොවෙයි. 1970 වන විට මිලියන 5.6 ක තරම් පිටපත් ප්‍රමාණයක් අලෙවි වූ ‘ප්ලේ බෝයි’ සඟරාවේ වත්මන් අලෙවිය ලක්ෂ 8ක් දක්වා අඩුවෙලා.

මෙයට හේතු දක්වන සඟරාවේ නිර්මාතෘවරයා පවසන්නේ වත්මනෙහි විවිධාකාර මාධයයන් ඔස්සේ අසභ්‍ය ඡායාරූප ගලා යද්දී ‘ප්ලේ බෝයි’ සඟරාව ‘යල් පැන ගිය’ ප්‍රකාශනයක් වී ඇති බවයි. ඒ අනුව පසුගිය ඔක්තෝබර් කලාපයෙන් පසුව ‘ප්ලේ බෝයි’ සඟරාවෙන් අනුරාගික කාන්තා ඡායාරූප ඉවත් කරන්නට එහි නිර්මාතෘවරයා තීරණය කරලා.

ඔක්තෝබර් කලාපයෙහි කවරයේ ඡායාරූපයේ අඩනිරුවතින් පෙනී සිටියේ සුපිරි නිළි පැමලා ඇන්ඩර්සන්.

ඇකඩමි නළුවා ගුවන් අනතුරකින් බේරෙයි

සුපිරි නළු මෝගන් ‍ෆ්‍රී මෑන් පසුගිය දා ගුවන් අනතුරකින් බේරුණේ අනූ නවයෙන්. ඔහු ගමන් කළ කුඩා ගුවන් යානය මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ටියුනිකා හිදීයි. (ඇමෙරිකාවේ මිසිසිපි ගංගාව අසල)

ගුවන් යානය හදිසියේ ගොඩ බසිද්දී ධාවන පථයෙන් ඉවතට ගමන් කිරීමෙන් මේ අනතුර සිදුවී ඇති බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ගුවන් යානයට සැලකිය යුතු අලාභ හානියක් සිදුවෙලා. SJ130 නම් වූ එම ගුවන් යානය මෝගන්ට අයත් වූවක්.

“මම ටෙක්සාස්වලටයි යමින් හිටියේ. ඒ, ‘ස්ටෝරි ඔෆ් ගෝඩ්’ රූපවාහිනී වැඩ සටහනේ එක් අංගයක රූගත කිරීමකට. අපි නොහිතපු විදිහට ප්ලේන් එකේ රෝදයක දෝෂයක් ඇතිවුණා. ඒ නිසයි හදිසියේම ගොඩ බැස්සුවේ.

වාසනාවට මගේ ගුවන් නියමුවාගේ දක්ෂකම නිසා අපි දෙන්නගෙම ජීවිත බේරුණා.” 78 වියැති මේ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පියා පැවසුවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]