![]() ![]() |
||
ලස්සන තැනක සුන්දර හෝරා කීපයක්
පසුගියදා සිළුමිණ කර්තෘ මණ්ඩලයේ අපි රැකියාව සමඟ කොන්ක්‍රීට් වනාන්තරයේ ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී හෝරා කීපයක් විනෝදයෙන් ගත කරන්නට අපූරු නිස්කලංක පරිසරයකට ගියෙමු. කොළඹ සිට හොරණ ඉංගිරිය පාරේ ගොස් බෝපේ හන්දියෙන් හැරී යනවිට සෙරනිටි විලේජ් නම් වූ මේ අපූරු නවාතැනට හෝරා දෙක තුනකින් ළඟා විය හැකිය. ස්වභාවික තුරුලතා ආරක්ෂා කර පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති සෙරනිටි විලේජ් හෝටලය තරමක කඳු ගැටයක පිහිටා තිබේ. එහි ඉහළට ම නැගුණු කල මිහිඳුම් සළු පොරවාගත් සමනළ කන්ද සමඟ නිල්වන් කඳු වළල්ල නෙතට රසඳුනක් මවයි. කන්ද පාමුල මඳ සුළඟේ දැවටී නැමී දඟ කරමින් වැනෙන නිල්වන් ගොයමින් පිරි කෙත් යාය මවන්නේ ගැමි සුන්දරත්වයයි. මෙහි කාමර ඉදිකර ඇත්තේ ස්වභාවික ලී කොටන් උපයෝගී කරගනිමිනි.
එකා මෙන් ම සොයුරු දමින් වෙලී නැටුමින් ගැයුමින් ගෙවුණු දිනය අවසන් වුණේ සිත්වලට දුකක් ද එක් කරමින්. එහෙත් සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සෑම දෙනකුට ම තිළිණයක් බැගින් පිරිනැමුණේ මේ දිනය සදා ස්මරණීය වන්නටයි. දිනයේ විනෝද ජනකම මොහොත එළඹියේ සිළුමිණ කුමරිය, හොඳම තට්ටයා සහ හොඳම රැවුල තෝරා තෑගි බෙදා දුන් අවස්ථාවයි. සිළුමිණ කුමරිය වූ රමණී සුබසිංහ කැරට් 24 මාලයක්, හොඳම තට්ටයට තේරුණු සිළුමිණ කර්තෘ ලක්ෂ්මන් පියසේනට පනාවක් සහ හොඳම රැවුල හිමි තිඹිරියාගම බණ්ඩාරට රේසරයක් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා අතින් පිරිනැමුණි. සොඳුරු තැනක, රසබර හෝරා කීපයක් විනෝදජනක ලෙස ගෙවූ අපි සතුටු සිතින් ආපසු පැමිණියෙමු.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |