කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සුමිගෙන් අහන්න

සුමිගෙන් අහන්න

කැප්පෙටිපොළ චරිතය අළලා සයිමන් තිරකතාවක් ලීවාද?

අත්තනගල්ලේ විමලසේන සපුතන්ත්‍රි

ප්‍රශ්නය - සුජාතා අත්තනායක ගයන ‘පෙම්වත තරහා වෙලා නිහඬව ඉන්නේ ඇයි’ ගීතය මොහොමඩ් ගවුස්ගේ තනුවක් බව කියැවෙනවා. ඒ ගීතය නිර්මාණය වෙද්දී ගවුස් මාස්ටර් ජීවතුන් අතර සිටියේ නැහැ නේද?

පිළිතුර - ඒක ගවුස් මාස්ටර්ගේ පරණ තනුවක්. මුල් ගීතය ගයා ඇත්තේ සුජාතාගේ මවයි. ඒ තනුවට අනුරූපීව තමයි සුනිල් ආර්. ගමගේ ඉහත ගීතය සුජාතාට ලියා තිබෙන්නේ.

වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ

ප්‍රශ්නය - පියදාස සිරිසේනගේ ඇතැම් නවකතාවල එන කෝන්ගොඩ වික්‍රමපාලගේ චරිතය ජේම්ස් බොන්ඩ් වර්ගයේ චරිතයක් ද?

පිළිතුර - ඔව්. ඔව් එය රහස් පරීක්ෂක චරිතයක්.

මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ

ප්‍රශ්නය - ගාමිණි - මාලිනි සුසංයෝගය තරම් ගාමිණි - ගීතා, ගාමිණි - වීණා, ගාමිණි - ස්වර්ණා කහවිට, ගාමිණි - ෆරිනාලායි සුසංයෝග සාර්ථක නොවුණේ ඇයි?

පිළිතුර - ඒ මාලිනිගේ සුවිශේෂ රංග මහිමය.

මීගමු මහහුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා

ප්‍රශ්නය - සයිමන් නවගත්තේගම කැප්පෙටිපොළ චරිතය අළලා චිත්‍රපට තිරකතාවක් ලිව්වා ද?

පිළිතුර - ඔව්. ඔහු එය ලීවේ විජය කුමාරතුංග වෙනුවෙන්. ඒ සඳහා එකල ඔහුට රුපියල් 20 දාහක අත්තිකාරමක් ද ගෙවනු ලැබ තිබුණා.

පිළියන්දල චාමර විජේසිංහ

ප්‍රශ්නය - සිංහල සිනමාවේ හොඳම ගීතමය පෙම් ජවනිකාව කුමක් ද?

පිළිතුර - ‘තුෂාරා’ චිත්‍රපටයේ ‘ජීවනයේ මීවනයේ’ ගීතය රැගත් පෙම් ජවනිකාව. රඟපෑවේ විජය සහ මාලිනි.

මැදවච්චියේ ගුණපාල ජයසේකර

ප්‍රශ්නය - ලංකාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ එක්දින වැඩමුළුවක් වෙරළබඩ හෝටලයක පවත්වන්නේ නම් ඔබ කැමැති ද?

පිළිතුර - ඔව්. එතකොට සුනාමියක් එහෙම ආවම ඔක්කොම ටික එක සැරේ මුහුදට ගහගෙන යනවනේ.

මෝදර එම්. රුෆිනස් ඩයස්

ප්‍රශ්නය - ‘මිහිඳුම් සිහින’ චිත්‍රපටයේ රූ ගැන්වීම් සිදු වූයේ කොහේ ද?

පිළිතුර - සමනල කන්ද පැහැදිලිව පෙනෙන මස්කෙළිය, ලක්ෂපාන වැනි තැන්වල.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. බණ්ඩාරවෙල අඹේගොඩ දේශානි මාධවී, කපුගොඩ මාළිඳ සරත් රණසිංහ, ගම්පහ පත්මාවෝ මහේෂ්වරි හේරත්, මඩකළපුවේ ඩුෂානි තාරුකා සසිදරන්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]