කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වෙනිසියුවේලාව දකුණට!

වෙනිසියුවේලාව දකුණට!

වසර දාහතකට පසු වෙනිසියුවේලාවේ දක්ෂිණාංශික ආණ්ඩුවක් බිහි වී තිබේ. නිකලස් මදුරෝගේ නායකත්වයෙන් යුතු සමාජවාදි පෙරමුණ පරාජය කරමින් විපක්ෂ සන්ධානය මේ ආණ්ඩුව පිහිටුවීමේ අවස්ථාව උදා කරගෙන තිබේ.

වෙනිසියුවේලාව යනු දකුණු ඇමෙරිකාවේ අඳුරු රටවල් අතර පිහිටි වැඩි කලඑළියක් නැති රටකි. එහෙත් පසුගිය දශකයේදී එරට ලෝක අවධානයට පාත්‍ර වූයේ එහි රාජ්‍ය නායකයා වූ හියුගෝ චාවේස් හේතුවෙනි. චාවේස් 1998 දී වෙනිසියුවේලාවේ වාමාංශික රජයක් පිහිටුවූ අතර අතිවිශාල ජනතා ආකර්ෂණයක් දිනාගැනීමටද ඔහු සමත් වූයේය.

එහෙත් නොකඩා ධූර කාල දෙකක් හා ඉන් ඉදිරියටත් බලයේ රැඳී සිටීමට වැර දැරීම සම්බන්ධව චාවේස් යම් තරමකින් ජනතා ආකර්ෂණයෙන් බැහැර වූ බවක්ද පෙනෙන්නට විය. එහෙත් ඔහු බලයේ සිටියදී ආණ්ඩුව පෙරළීමට දක්ෂිණාංශිකයන්ට හැකියාවක් නොලැබුණු අතර, පිළිකාවක් හේතුවෙන් චාවේස් මිය යන තුරුද ඔහු විසින් පිහිටුවනු ලැබූ ආණ්ඩුව නිරුපද්‍රැත විය.

චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වූ නිකලස් මදුරෝට චාවේස් සතු වූ එකී කැරිස්මාව නොතිබූ බව නම් මුල සිටම පැහැදිලිව දිස් විය. 2013 වසරේදී පැවැත්වූ මැතිවරණයෙන් යන්තම් බලයට පැමිණි මදුරෝ ඉන් වසර දෙකක් ඉක්ම යෑමටත් පෙර වසර දාහතක් පැවැති වාමාංශික රජය දක්ෂිණාංශයේ දෝත පිරිනමා නික්ම ගියේය.

මෙවර මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙනිසියුවේලා විපක්ෂය සන්ධානගතව ඉදිරිපත් විය. ඒ අතර කලකට ඉහතදී සිරගත කරනු ලැබූ විපක්ෂ නායක ලියෝපෝල්දෝ ලෝපේස්ගේ පාර්ශ්වය මෙන්ම වර්තමාන විපක්ෂයේ බලවත්තුද වූහ. මරියා කොරෝනා මචාඩෝ, ලිලියන් වින්ටෝරි මෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ නායකයා සහ විපක්ෂ සන්ධානයේ නායකයාද වන ජීසස් තොරේල්බා ද ෆ්‍රෙඩී ගුවේරා ද ජයග්‍රහණයට නායකත්වය දුන් පිරිස අතර වූහ.

පසුගිය ඉරිදා මැතිවරණය පැවැත්වීමෙන් පසු නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ආසන 167කින් සමන්විත වූ වෙනිසියුවේලානු පාර්ලිමේන්තුවේ ආසන 99ක් විපක්ෂ සන්ධානය විසින් ජයග්‍රහණය කර තිබිණි. පාලක සමාජවාදී පක්ෂයට දිනාගත හැකි වී තිබුණේ ආසන 46ක් පමණි.

වාමාංශික රජය යටතේ වෙනිසියුවේලාවේ ආර්ථිකය දිනෙන් දින බිඳවැටීමට ලක් වූ බව විචාරකයන්ගේ මතය විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]