![]() ![]() |
||
මේ නිදහස් කිරීම සංහිඳියාවට අවශ්‍යම දෙයක්ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
‘ජාතිවාදය’ යන වචනය ඔබ අරුත් නඟන්නේ කෙසේද? එයින් කියන්නේ ජාතියක් කියා දෙයක් තිබෙනවා කියන අදහස. ඒ විතරක් නොවේ එය සාමූහික අනන්‍යතාවක්. යම් ජන කොටසක් හඳුනාගන්නවා ජාතිය කියන සමූහයක් ලෙස. පොදු ලක්ෂණ තිබෙන බව කියන්න. ඒත් ජාතිවාදය කියන වචනය තරමක් ගර්හාත්මක නිසා මම කැමතියි එය ජාතිකවාදය ලෙස නම් කරන්න. ජාතිකවාදය හොඳද? ඒ හැඟීම සාපේක්ෂයි. මේ පිළිබඳ විවිධ වාද-විවාද තිබෙනවා. ඒත් එය පවතින දෙයක් ලෙස පිළිගැනීමයි සාධාරණ. අනන්‍යතාව පිළිබඳ පෙලඹවීම මානව ලක්ෂණයක්. එය සතුන්ට නෑ. දියුණු මනසත් සමඟයි මමත්වය ඇති වන්නේ. එය අපි බවටත් පත් වනවා පවුල, වෘත්තිය ආදිය සමඟ. ඓතිහාසිකව ඇති වන සාමූහික විඥානයක්. සමහර චින්තන සම්ප්‍රදායවල අය එය අහෝසි වෙලායයි කියා හිතුවට ලෝකේ අදටත් එය පවතිනවා. ගෝලීයකරණයේදීත් දුර්වල වෙයි කියා හිතුවට ගෝලීයත්වය, අපේ ගෝලීය මානයන් වැඩි වන විට අනන්‍යතාව සුවිශේෂ ලෙස ශක්තිමත් වුණා. එය අප බාරගත යුතු යථාර්ථයක්. එසේ නම් ත්‍රස්තවාදී සැකකරුවන් මුදාහැරීමට විරුද්ධ වීම ජාතිවාදී කියන්නේ ඇයි? මේ ප්‍රශ්නය සිංහල - දෙමළ විතරක් නොවේ, දේශපාලන විභේදනයන් සමඟ දැඩිව බැඳෙනවා. දේශපාලන කරළියේ ෆුට්බෝලයක් වගේ මෙය. ප්‍රශ්නය එය නොවේ සමූහික ප්‍රචණ්ඩ ක්‍රියා මුල් කරගෙන ඇති වන ගැටුම් තාර්කික අවසානයකට ගිය පසු ඒ පුද්ගලයින් සම්බන්ධව ක්‍රියා කරන්නේ කොහොමද යන්නයි. කොහොමද එය කළ යුතු යැයි ඔබ සිතන්නේ? අපරාධ වර්ග දෙකක් තිබෙනවා. ඔබේ පසුම්බිය මගේ ප්‍රයෝජනය සඳහා හොරකම් කළොත් එය පෞද්ගලික දෙයක්. ඒත් දහස් දෙනකු කරන සාමූහික උද්ඝෝෂණයකදී මම ගලකින් ගසා ගොඩනැඟිල්ලක වීදුරුවක් බිඳුණොත් ඉතිරි 999 දෙනා නැතිව මට විතරක් දඬුවම් කිරීම පසුම්බිය හොරකම් කිරීමට දඬුවම් කිරීම හා සමාන කළ හැකිද? යන්නයි මගේ ප්‍රශ්නය. එය බොහෝ දෙනා පිළිගන්නවා වගේම අසාධාරණයි. මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ කටයුත්ත පෞද්ගලික දෙයක් නොවන්න පුළුවන්. ඒ, අනෙක් 999 දෙනාම නොකළ කුමක් හෝ තමන් කළ නිසා නේද? මගේ අත්දැකීමකින්ම එය කියන්නම්. පසුගිය මැයි 01 දා මමත් මිතුරකුත් මහින්ද කඳවුර සංවිධානය කළ මැයි රැළිය බලන්න ගියාම අපට ගැහුවා. පොලීසිය ඒ අය අඳුනාගෙන දඬුවම් කරන්න ඕනා කීවාම මම කීවේ එපා කියලයි. මොකද ඒ කීපදෙනා විතරක් තනිවම ඒ පහරදීමට වගකිව යුතු නෑ. එය මානසිකත්වයක්. හැම කෙනකුම විභවාත්මක වැරැදිකරුවෙක්. ඒ පුද්ගලයා නොවේ නම් වෙන කෙනකු හෝ ඔය දේ කරන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් බාධා විසඳුණු පසු තෝරාගත් පිරිසකට දඬුවම් දීම අඛණ්ඩව සිදුවීම නිසා සමූහයක් අසහනයට පත් වන්න පුළුවන්. පොදු ක්‍රියාවක කර එක් කොටසක් තමන් වෙනුවෙන් දඬුවම් විඳින බව දැනුණාම එය අනෙක් පිරිස තවත් ප්‍රචණ්ඩත්වයකට යොමු කරවන්නක් විය හැකියි. ප්‍රශ්නය නොවිසඳී තිබීමටත් හේතුවක් විය හැකියි. එසේ නම් ඔබ කියන්නේ පසුගිය රජයෙන් කරුණා අම්මාන් වැනි අයට ඇමැතිකම් දුන් එක නිවැරැදියි කියාද? ඒක හොඳද-නරකද කියලා මට කියන්න බෑ. කොහොම වුණත් වැරැදි කළ අය ප්‍රධාන ධාරාවට සම්බන්ධ වීම හොඳයි. ඒත් කරුණලාට වුණේ එල්ටීටීඊ ය බෙදීමට ගත් පටු උපක්‍රමික වෑයමට හසු වීමයි. ඒ නිසා සැකකරුවන් නිදහස් කිරීම සහ කරුණලාගේ කතාව සම්බන්ධ කරන්නේ නෑ. ඒත් කරුණා අම්මාන්ලා සම්බන්ධයෙන් එහෙම ක්‍රියා නොකළත් මේ හිරේ ඉන්න බරපතළ චෝදනා නොලැබූ පිරිස නිදහස් කිරීම නම් විය යුතුම දෙයක්. මොකද 1977දී විජේවීරලාත් නිදහස් කළා. ඒ වගේ යම් අර්බුදයක් ජය ගැනීමට මෙවැනි දේ කළ යුතුයි. ඒ කියන්නේ ත්‍රස්තවාදීන් අපරාධකරුවන් නොවේද? නෙල්සන් මැන්ඩෙලාත් මිනී මැරුවනේ? කැරලිකාරී තත්ත්වයක් කියන්නේ වෙනම දෙයක් එය සාමාන්‍ය අපරාධ ගණයට ගන්න බෑ. පුද්ගලයකු ලෙස ඝාතනවලට සම්බන්ධ වීමට වඩා මෙහි වගකීම පිළිබඳවත් ගැටලු තිබෙනවා. යුද්ධයකදී සොල්දාදුවන් මිනී මරනවා. ඒත් ඒවා මිනී මැරුම් ලෙස අප පිළිගන්නේ නෑ. ඒ වගේ යුද්ධයකදී පාර්ශ්ව දෙක අතින්ම ඝාතන සිදු වනවා. එය සමව සැලකිය යුතුයි. එසේ නම් යුද අපරාධත් සොයන්න අවශ්‍ය නෑ නේ? එහෙම අදහසක් තිබෙනවා තමයි. ඒත් එමඟින් කෙරෙන්නේ සාමාන්‍ය සොල්දාදුවන් කළ දේවල් සෙවීම ම නොවෙයි. තමන්ගේ නෛතික රාමුව අබිබවා යමින් කළ වැරැදියි. ඒවා සොයන්න එපා කියන අතර අනෙක් පාර්ශ්වයේ සාක්ෂි නැති අය පවා නිදහස් කිරීමට විරුද්ධ වීම ගැටලු සහගතයි. ලංකාවේ ඇති වුණ එල්ටීටීඊ කැරලිකාරීත්වය පුළුල් දේශපාලන අර්බුදයක කොටසක්. එයට සංහිඳියාත්මක පිළියමක් අවශ්‍යයි. එහි එක් අංගයක් තමයි, සමාජයට ඇති වුණ තුවාල නැති කිරීම. දෙමළ පිරිසක් සිරගත වීම දෙමළ සමාජයටම සාමූහික කම්පනයක්. අපි ඒ කම්පනයට ඔවුන් දිගටම ගොදුරු කෙරුවොත් ඔවුන්ගේ අසහනය වර්ධනය වූ පසු අප අකමැති ප්‍රතිඵල ඇති වන්න පුළුවන්. ඒවාට යළි ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන්න වෙනවාට වඩා හොඳයි අසහනය ඇති වීම කලින්ම වැළැක්වීම. හිටපු ආරක්ෂක ලේකම්වරයා පැහැදිලිව නම් කර කීවා කීපදෙනකු නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි කියා? ගෝඨාභය මහත්මයා යුද්ධය ගැන දන්නවා විය හැකියි. ඒත් ඔහුට දේශපාලනය පිළිබඳ අබමල් රේණුවක තරම් දැනුමක් නෑ. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාඩම් කියා දිය යුතු බව මම මීට පෙරත් කියා තිබෙනවා. ජාතික ආරක්ෂාව කියන‍්නේ ඔය එක තත්ත්වයක් වත් නෙවෙයි. එල්ටීටීඊ සංවිධානය මිලිටරි සංවිධානයක් ලෙස ලංකාව තුළ නැවත ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් දැනට නෑ. දෙමළ සමාජයේ දේශපාලන සංයුතිය මීට වසර 30-40ට පෙර තිබුණාට වඩා දැන් වෙනස් වෙලා. යාපනේ දේශපාලනය දැන් වෙනස්. ඒ නිසා කැරලිකාරී නැඹුරුවක් නෑ. අද තිබෙන අල්කයිඩා, අයිඑස්අයිඑස්, තලීබාන් වගේ නොවේ, අරමුණ වෙනස් වුණාට එල්ටීටීඊ ය එක්තරා විදිහක ජවිපෙයක් වගේ.ලතින් ඇමරිකාවේ ඇති වුණා වැනි ත්‍රස්තවාදීන් යන වචනය ලිහිල්ව භාවිත කරනවා ඕනෑම ප්‍රචණ්ඩත්වය දේශපාලන අවියක් ලෙස බාරගන්න අයට. එය දේශපාලනඥයන්ගේ වැඩක්. ඒ නිසා මේ වගේ පිරිසක් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන කතාව පිස්සුම කතාවක්. ඔබ කියන්නේ එහෙම ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ කියලාද? ගෝඨාභය බලන්නේ යුද්දේ තිබුණු කාලේ බැලූ විදිහට. අද යුද යන්ත්‍රණය නෑ. ඒ වගේම අද එල්ටීටීඊයට එකතු වෙනවා නම් ඔය කියන පිරිසට වඩා අය පිට ඉන්නවා. ඒත් ඒ වගේ සංවිධානයක් එකවර ආයුද, සයනයිඩ් කරල්, බෝම්බ දීලා සංවිධානය කරන්න බෑ. එය ක්‍රමානුකූලව වන දෙයක්. 80 ගණන්වලට පසුව ඔවුන්ට පිරිස බැඳුණේ නැති නිසා තමයි ළමා සොල්දාදුවන් බලෙන් බඳවාගත්තේ. එයටත් පසුබිමක් අවශ්‍යයි. ජවිපෙටත් අද තරුණයන් විශාල වශයෙන් බැඳෙන්නේ නෑ. මධ්‍යම වයසේ මධ්‍යම පන්තියයි ඉන්නේ. දෙමළ සමාජයෙත් එහෙමයි. අනෙක දුක් වින්ද කෙනා නිදහස් වුණාම සමහරවිට අනෙක් අයටත් වඩා මේවායින් ඈත් වනවා. විනාශ කළ සංවිධානයක් නැවත ඇති කරන්න ලේසි නෑ. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන කියන ඔය දේවලට කිසිම පදනමක් නෑ. දෙමළ ඩයස්පෝරාව ඔවුන්ට උදව් නොකර ඉඳීද? ඕනෑම ත්‍රස්තවාදී විශේෂඥයකු සමඟ මම විවෘතව වාද කරන්න ලෑස්තියි. එහෙම සංවිධානයක් ගොඩනඟන්න බෑ. එහෙනම් ජවිපෙ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේම ප්‍රධාන පක්ෂවලටත් සිංහල ඩයස්පෝරාව අරමුදල් එවන්නේ. ඒත් අභ්‍යන්තර දේශපාලන ගතිකයන්ට බලපෑම් කිරීමේ සම්පූර්ණ හැකියාව හෝ සාමාජිකයන් බඳවාගැනීමේ හැකියාව ඒ අයට නෑ. ඒ නිසා දැනට යුදමය වශයෙන් නොවේ, දේශපාලනමය වශයෙන් තර්ජනයක් නෑ. නම් කළ අය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් නැද්ද? එළියේ අර්බුදයක් තිබෙනවා නම් වැදගත් කියලා මමත් පිළිගන්නවා. ඒත් එල්ටීටීඊයේ දේශපාලන කොන්ද බිඳිලා ඉවරයි. ඒ නිසා ඕවා ගැන තැවෙන එක වැඩක් නෑ. මෙය දිහා දේශපාලන දෘෂ්ටියකිනුයි බලන්නයි ඕන. සමහරු චෝදනා කරන්නේ මෙය පිටරටවල උපදෙස් මත කෙරෙන්නක්, හමුදාව වෙනස් කිරීමටත් මුදල් දෙනවා කියලයි? ලංකාවේ හමුදාව වෙනස් කළ යුතුයි තමයි. මේ ටේ සන්නද්ධ නැඟිටීම්වල යුගය ඉවරයි. ඉදිරියේදී වන්නේ රතුපස්වල වගේ සිවිල් කැලඹීම් තත්ත්වයන් නිර්මාණය වීම් විතරයි. පොලිසියේ කාර්යභාරය පවා නැවත සිතිය යුතු තත්ත්වයක ඉන්න අප, හමුදාව ශක්තිමක් කළ යුතුයි කියනවා නම් එය විකාර සහගත මේ කාලෙට නොගැළපෙන කල්පනාවක්. අපට ඇමෙරිකාවට වගේ ලොකු හමුදාවක් නඩත්තු කරන්න අවශ්‍ය නෑනේ. අපිට ගෝලීය බලය පිළිබඳ උනන්දුවක් නෑනේ. මට කණගාටුයි කියන්න අපේ මේ ත්‍රස්තවාදී විශේෂඥයන් මැට්ටෝ. මේ අය දේශපාලනය දන්නෙත් නෑ. එක අතකට මැට්ටෝම කියන්නත් බෑ. ඒ අය වෙනම න්‍යාය පත්‍රවල වැඩ කරන්නේ. තොරතුරු දීලා, ලෝකෙ පුරා දේශන පවත්වලා ලක්ෂ ගණන් ගන්නවා. මේ ව්‍යාපාරය ඉතා වාසිදායකයි. හමුදාවේ ඇතැමුන් යුද අපරාධවලට චෝදනා ලබන අතර ත්‍රස්තවාදීන් යැයි චෝදනා ලැබූවන් නිදහස් කිරීමේ පියවර සංහිඳියාවට මඟක් කියා ඔබ සිතනවාද? යුද අපරාධ පරීක්ෂණ කරන්න ඕනේ දඬුවම් කිරීමටම නොවේ. දෙමළ සමාජයේ කුතූහලයක් තිබෙනවා තමන්ගේ අතුරුදන් වූ ඥාතිමිත්‍රාදියකුට වුණේ මොකක්ද කියා දැනගන්න. එය මනුෂ්‍ය ස්වභාවයක්. මෙය සමාජයන් දෙකක් ලෙස සහයෝගයෙන් ගත යුතු තීරණ මිස වෛරය ඇති කරන්න කළයුතු දේවල් නොවේ. ඒත් සමහරු ඒ වචනයේ තෙරුම දන්නේවත් නැතුවයි කියන්නෙ. හැම කෙනාටම පොදුවේ නීතිය ක්‍රියාත්මක වන අයුරින් කරුණු සිදු විය යුතුයි. ඒ නිසා මේ නිදහස් කිරීම් සංහිඳියාවට අත්‍යවශ්‍යම දෙයක්. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |