කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

වවුලාගේ ගෙදර ගිය හොත් අපට සිදු වන්නේ කකුල් දෙක බිම තබා සිටින්නට නොව, වවුලකු සේ කකුල් දෙකෙන් එල්ලී හිස බිමට හරවාගෙන සිටින්නටය. ඒ බව නොදැන ගිය හොත් සිදු වන්නේ ගැටලු රැසකට මුහුණ පෑමටය.

මේ වන විට ලක්වාසීන් බොහෝ දෙනකු නෙත් ඇර බලා සිටින්නේ සවුදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව ගැනයි. ඇය කොළඹ මරදානේ කාන්තාවකි. දීර්ඝ කාලයක් එරට සේවය කර ඇත්තේ මෙරට නාගරික ප්‍රදේශයක සිට කළ හැකි වෙනත් රැකියාවක් නොවන නිසා වන්නට ඇත. ඇය විවාහකය. එහෙත් එහිදී සිදු වූ අනියම් ඇසුරක් නිසා ඇය එරට අධිකරණයෙන් වරදකාරියක් වූවාය. සවුදි අරාබිය යනු මෙරට ගෘහ සේවිකාවන්ට දස වධ දෙන රටක් බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.

දහසින් බැඳි පියලි රැගෙන ඒමට ඒරොප්පෙට ගොස් කොඳු අත පය කඩාගෙන පැමිණි කාන්තාවන් ගණන මේ වන විට දහසක් පමණ වන්නට ඇත. එමෙන්ම ප්‍රාණය නිරුද්ධ සිරුර ගෙන ඒමට සිදු වූ අවස්ථාද ඇත. තවත් අය වසර ගණනාවක් සේවය කර පැමිණෙන්නේ කිසිදු වැටුපක් නොමැතිවය. මේ තත්ත්වය දැනදැනත් අප රටේ වැසියන් තවමත් අරාබිකරයට වඳිමින් එරට රැකියා සොයා යෑම සැබැවින්ම කනගාටුදායකය. එසේම රජය විසින්ද ඒ සඳහා පැහැදිලි හා විධිමත් චර්යා හා නීතිරීති පද්ධතියක් ස්ථාපිත කර නැත.

රිසානාට වූ‍ දේ

මීට වසරකට දෙකකට පමණ පෙර සවුදි අරාබියේදි හිස ගසා මරා දමනු ලැබූ ‘රිසානා‘ තරුණිය එතෙර රැකියාවට යවා තිබුණේ ඇයගේ වයස වෙනස් කර ළාබාල වයසේදී බව තහවුරු විය. අපේ නීතිකාරයන් ක්‍රියාත්මක වන්නේ අශ්වයා පැන ගියාට පසුවය. රිසානා එතෙර යැවූ ඒජන්සිය සම්බන්ධව සොයන්නට පටන් ගත්තේ ඇය ඝාතනයට තීන්දුව ලැබීමෙන් පසුවය. මේ අපේ ක්‍රමවේදයයි.

සවුදි අරාබිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට පවා අත්සන් නොකළ රාජ්‍යයකි. අරාබියේ තෙල් මාෆියාව හේතුවෙන් සෙසු රටවල් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට යට වී සිටිම නිසා තම බල පරාක්‍රමය විහිදුවා ලන්නට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

මරණ ඉල්ලා සිටීමක්

මානව හිමිකම් තුට්ටුවකට හෝ ගණන් නොගන්නා මෙවන් රාජ්‍යයන් වෙත ගමන් කිරීම පවා අන්තරාදායක තත්ත්වයක තිබියදී එරට නීතිය දැනදැනම උල්ලංඝනය කිරීම යනු මරණය ඉල්ලා වැලඳගැනීමකි. මේ තත්ත්වය තේරුම් නොගෙන කටයුතු කළ මෙරට කාන්තාවට හා තරුණයාට එරට අධිකරණය මගින් දඬුවම් නියම කරන ලදී. තරුණයා අවිවාහක බැවින් ඔහුට කස පහර සීයක් තැළීමට හා කාන්තාව විවාහක නිසා ඉස්ලාම් ෂරියා නීතිය අනුව ඇයට ගල් ගසා මරා දැමීමට නියම විය.

සවුදි අරාබියාවේ ගල් ගසා මරා දැමීම බොහෝ විට ක්‍රියාත්මක නොවන අතර, සිදු කැරෙන්නේ ගෙල සිඳ ඝාතනය කිරීමයි. එහෙත් එය ව්‍යවහාරයේ මෙන්ම නඩු තීන්දුවේදීද ප්‍රකාශ කෙරෙනුයේ ගල් ගසා මරා දමනු ලබන බවයි.

ඇයගේ ඉරණම දැන් ඇත්තේ සවුදි අරාබියේ බලධාරීන් අතය. අපට කළ හැක්කක් නැත. කළ හැකි එකම දෙය නම් සවුදි අරාබි රජයෙන් ඒ සම්බන්ධව ඉල්ලීම් කරමින් පින්සෙණ්ඩු වීමය. රටක තිබෙන නීතිය කුමක්දැයි හරිහැටි දැනගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. මෙරට අධිකරණ මඟින් මත් කුඩු ජාව‍ාරම් සම්බන්ධයෙන් වරදකරුවන් කර ජීවිතාන්තය දක්වා සිර දඬුුවම් නියම කරන ලද පාකිස්තාන ජාතිකයෝ රැසක්ම සිටිති. ඒ මෙරට නීතියයි.

ආගමට කළ අපහාසයක්

සවුදි අරාබියේ ඝාතනයට ලක් වන විදේශ ජාතිකයන් සම්බන්ධයෙන් එරට නීතිය තදබල ලෙස ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම ඉස්ලාම් ධර්මය අදහන්නන් නොවන අය පිළිබඳව ඇත්තේ පුදුමාකාර නීතියකි. එවන් තත්ත්වයක් තුළ ඔවුන් සැමවිටම කටයුතු කරන්නේ ආගමට කරන ලද අපහාසයක් සේ කටයුතු කරමින්ය.

කෙසේ වුවත් මේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම මේ වන විටත් සිදු වී ඇති අතර විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ මේ වන විට ගෘහ සේවිකාව බේරාගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. මේ කාන්තාව මරණ දඬුවමින් බේරාගැනීම ප්‍රධාන ඉලක්කය වන බව පෙන්වා දෙන ඇය පවසන්නේ දඬුවම ලිහිල් කරගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශය පියවර සියල්ල ගත් බවයි. එමෙන්ම එරට අධිකරණයට ඉදිරිපත් කළ ඇපෑලද විභාගයට ගෙන ඇති බව ඇය පෙන්වා දෙයි.

එසේ වුවත් ගැටලුව වී ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙන් එරට අධිකරණයේදී සිව් වතාවක් මේ කාන්තාව වරද පිළිගෙන තිබීමයි. මේ වසරේ මාර්තු මස 16, මාර්තු 30, අප්‍රේල් 27 හා අප්‍රේල් 29 යන දිනයන්හිදී ඇය වරද පිළිගෙන ඇති හෙයින් අධිකරණය ඇයට ගල් ගසා මරා දැමීමේ තීන්දුවට එළඹ ඇත.

නඩුව යළි විභාගයට

කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ කටයතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ඇපෑල් අධිකරණයක් මගින් නඩුව යළි විභාගයට ගැනීමට නියමිත බවයි. ෂරියා නීතිය කෙසේ වුවත් මෙහිදී සිදු වන්නේ 'නඩුත් රජ්ජුරුවන්ගේ - බඩුත් රජ්ජුරුවන්ගේ' ක්‍රමවේදයක් බව පැහැදිලිය.

මානව හිමිකම් තුට්ටුවකට වත් ගණන් නොගන්නා රටක සේවය කිරීමට යෑම මෙහිලා විශේෂයෙන් අප සලකා බැලිය යුත්තකි. මෙරට රැකියා ප්‍රශ්නය උග්‍ර බව සැබෑවකි. එහෙත් සවුදි අරාබිය වැනි, විදේශිකයන්ගේ මානව හිමිකම් කිසි සේත් නොසලකන රටක සේවයට යෑම 'මරුවා සමග වාසේ' බව අප දැනගත යුතුය. පෙර කීවාක් මෙන් දෙපයින් ගොස් පෙට්ටියෙන් ආ පිරිස අතිවිශාලය. ඒ අයට බොහෝ විට ලැබෙන වන්දියක්ද නැත. රට රැකියාවට යැවූ ඒජන්සිද නින්දේය.

යස ඉසුරු සොයන්නට දුර රටකට යා යුතු නමුත් පළමුව තමන් ආරක්ෂා වීම මෙහිලා වැදගත්ය. එමෙන්ම 'දේසේ හැටියට වාසේ' යන්න ගැනද අවධානය යොමු කළ යුතුය. ෂරියා නීතිය අනුව අනාචාරයේ හැසිරීම ඇස් හතරකින් සාධාරණ සාක්ෂි ඇතිව ඔප්පු වුව හොත් පමණක් ගල් ගසා මරණයට පත් කළ හැකිය. එහෙත් අනාචාරයේ හැසිරුණේ යැයි චෝදනාවට වරදකාරිය වූ මේ කාන්තාව හා තරුණයාගේ ප්‍රකාශ හැරෙන්නට වෙනත් ඇසින් දුටු සාක්ෂි නැත. එහෙත් අධිකරණය ෂරියා නීතිය ක්‍රියාවට නැංවීමට තීන්දුව ලබා දී ඇත.

එරට අධිකරණයේ තින්දු තීරණ එරටට අවශ්‍ය ආකාරයටය. අප තේරුම් ගත යුත්තේ අපගේ බැරි-අමාරුකම් කෙසේ වුවත් මෙරට සුළු හෝ ස්වයංරැකියාවක් හෝ කරගන්නට කාන්තාවන් යොමු කිරීමය. විදේශ රැකියාවට යෑම 80 දශකයේ සිට මෝස්තරයක් වන්නට පටන් ගෙන තිබිණි. එහෙත් පාසල් නිල ඇඳුම හා පාසල් පෙළපොත නොමිලේ ලබා දී, අධ්‍යාපනයත් නොමිලේ ලබා දෙන මෙවන් රටක අධ්‍යාපනය නිසි අයුරින් ලබාගෙන රැකියාවක් ලබාගන්නට නොහැකි වීම කාගේ වත් වරදක් නොව, තම තමන්ගේ බව ද අප සිත්හි තබාගත යුතුය.

එසේ වුව හොත් එතෙර රටක කඹුරන්නට ගොස් මෙවන් විපත්තිවලට හසු නොවීමට අපට හැකියාව ලැබෙනු ඇත. රිසානාගේ පවුලේ අය මාස ගණනාවක් තිස්සේ කිසිදු ආහාරයක් නොගෙන ඇය වෙනුවෙන් උපවාස කළහ. තම දියණිය ගෙල සිඳ මරණයට පත් කිරීමට යෑම ගැන ඇසූ දා සිට මව දිනකට හත්-අට වතාවක් මැරි-මැරී උපදින්නට ඇත. අඩුම වශයෙන් ඇය දැකගන්නට හෝ කතා-බහ කරන්නට හෝ කිසිවකුට හැකියාවන් නොලැබිණි. මෙවන් තත්ත්වයකට පත් වූ අයගේ මෙරට නොමැරී මැරෙන පවුලේ අය, අනෙකුත් ඥාතීන් ගෙවන්නේ අපා දුකකි. ඔවුන්ට තම අධ්‍යාපනික කටයුතු මෙන්ම රැකියා පවා කරගත නොහැකි වනු ඇත.

එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රශ්නයක් දක්වා දුර-දිග යනු ඇත. මේ තත්ත්වයන් යළි ඇති නොවීමට කටයුතු කිරීමට සියලු දෙනාම වග බලාගත යුතුය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]