![]() ![]() |
||
අලුත් පරපුරේ අලුත් ගමන
පිරිසුදු දෑතක් සහිත ව දේශපාලනයට පැමිණ, පිරිසුදු දෑතකින් ම දේශපාලනයෙන් සමු ගෙන යා හැකි නම් දේශපාලකයකුට ලබන්නට හැකි විශාල ම සතුට එය බවත්, තරුණ දේශපාලකයන්ට තමාට දිය හැකි විශාල ම ත්‍යාගය මේ වචන කිහිපය වන බවත් මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ පැවැති ‘යොවුන් පාර්ලිමේන්තුව’ අමතමින් කථානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා පවසා තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පවා ආදර්ශයක් විය හැකි දේශපාලකයන් ‘යොවුන් පාර්ලිමේන්තුව’ මඟින් රටට බිහි වනු ඇතැ යි විශ්වාසය පළ කළ කථානායකවරයා, කුලය, ධනය, පරම්පරාව යන සාධක මත නායකයන් බිහි වූ යුගය අවසන් වී ඇතැ යි ද ඒ වෙනුවට දැනුම, බුද්ධිය, විනය යන සාධකවලට ඉදිරි දශකයේ දී වැඩි වටිනාකමක් ලැබෙනු ඇතැ යි ද සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආකෘතිය විදහා දක්වන ‘යොවුන් පාර්ලිමේන්තුව’ සඳහා 169 දෙනකු යෞවන සමාජ ඡන්දයෙන් තෝරා පත් කරගැනෙන අතර, ඉතිරි 56 දෙනා විශ්වවිද්‍යාල, සිවිල් සංවිධාන හා පාසල් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. නායකත්ව පුහුණුව අරමුණු කරමින් රට ම නියෝජනය වන පරිදි සංවිධානය කෙරෙන ‘යොවුන් පාර්ලිමේන්තුව’ අමතා කථානායකවරයා කළ ඒ කථාවෙන් ගම්‍ය වන කරුණු කිහිපයක් ම තිබේ. යහපත් ඉදිරි ගමනක් වෙනුවෙන් රටට මඟහැරුණු දේශපාලනයක් ඇති බවත් මේ මඟහැරීම නිවැරැදි කරන වෙනස අලුත් පරපුර වෙතින් බලාපොරොත්තු වන බවත් ඒ කරුණු අතර ප්‍රධාන යි. සිදු කළ යුතු ව ඇති වෙනසේ මූලික ලක්‍ෂණයක් විය යුත්තේ හෘදයසාක්‍ෂ්‍යයට එකඟ, දූෂණයෙන් තොර දේශපාලනයකි. බලයෙන් පහ කෙරෙන ආණ්ඩුවලට දූෂණ චෝදනා එල්ල වීම දිගින් දිගට ම දකින්නට හැකි බව සිහිපත් කළ කථානායකවරයා, බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු සමාජයක එවැනි දෙයක් සිදු වීම සුළුවෙන් තැකිය යුතු නැති බව ද අලුත් පරපුරට අවධාරණය කරයි. ශ්‍රී ලංකාව දේශපාලන ව පිරිහීම ජන සමාජයේ සෑම ක්ෂේත්‍රයකට ම විනාශකාරී බලපෑමක් කළේ ය. රටට නිදහස ලැබුණාට පසු ව ගෙවී ගිය විසිවැනි සියවසේ ඉතිරි කාලය පුරා දක්නට ලැබෙන්නේ දේශපාලන ව ගත් කල එවැනි අවගමනයකි. විසි එක් වැනි සියවසේ පරපුරට ඉතිරි වූයේ එතැනින් ශිෂ්ටසම්පන්න දෙසට වෙනස් කරගත යුතු රටකි. මූලික වශයෙන් පක්‍ෂ දේශපාලනයේ බෙදීම්වලින් හා වංචා දූෂණවලින් තොර දේශපාලනයක් ගොඩනඟාගැනීම බාර ගත යුතු අභියෝගය මෙන් ම වගකීම යි. ඒ සඳහා තරුණ පරපුර රටේ අනාගතය ගැන වෙනස් දැක්මක් ඇති ව කල්පනා කළ යුතු යි; ක්‍රියා කළ යුතු යි. රටේ දේශපාලනය ශිෂ්ටසම්පන්න දිශාවට හැරැවීමට එරෙහි ව මෙතෙක් ක්‍රියාත්මක බාධක මුළුමනින් ම අහෝසි වී ද නැත. ශිෂ්ට සම්පන්න දේශපාලන වෙනස කරන්නට ඉදිරිපත් වන, ඒ ගැන වුවමනාව ඇති අලුත් පරපුර පළමු ව වටහාගත යුතු කරුණ ද එය යි. එහෙත් ලෝකයේ ඇති වන නව ප්‍රවණතා විසින් ඇතැම් බාධක මඟහරවනු ලැබ ඇත. කථානායකවරයා සඳහන් කළ පරිදි නායකත්වයට පැමිණීම කෙරෙහි අද උපකාරි වන දැනුම, බුද්ධිය හා විනය යන සාධක අලුත් පරපුරට ලැබී ඇති වටිනා ම ධනයකි. එය පරම්පරාවෙන්, හෝ වෙනයම් සමාජීය සාධකයකින් හෝ ලැබෙන සාම්ප්‍රදායික සාධකවලට නැති නම් බලයකට වඩා බලවත් කරගත හැකි ය. දෙවන ලෝක යුද්ධයෙන් ධූවිලි වූ ජපානය විසි වැනි සියවස අවසන් වන්නට පෙර ලෝකයේ දෙවැනි ආර්ථිකය බවට නැඟිටගත්තේ විනය ධනය බවට පත් කරගනිමිනි. සවිඥානක ව මෙන් ම අවිඥානක ව ද ශ්‍රී ලාංකික ජන සමාජය ශිෂ්ටසම්පන්න දේශපාලනයක පිපාසාවෙන් පෙළෙන බව දැන සිටීමත් එවැනි පූර්වාදර්ශ අතරට ඉතා වැදගත් ය. මේ ඉදිරි ගමන සඳහා පියවර තැබීමේ දී වටහාගත යුතු අනෙක් වැදගත් කරුණක් වන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලනයකට එරෙහි බාධක ජය ගැනීමට නිදහස් අධ්‍යාපනය ද එතරම් හේතු නොවූ බව යි. උසස්පෙළ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූ සමාජයේ බහුතර පංගුවක් එදා වේල සරි කරගන්නට දැවැන්ත ජීවන අරගලයක නියැලී සිටිය දී, එම උසස් පෙළ විභාගයේ තරගකාරී කඩුල්ල පැනගෙන වෛද්‍යවරුන් බවට පත් වූ වෘත්තිකයන් අනෙක් සියලු යුතුකම් හා වගකීම් පසෙක ලා සෑම තීරණාත්මක අවස්ථාවක ම තම වාහන බලපත්‍රය වෙනුවෙන් වන මාරාන්තික සටන මුලට ගැනීම නිදහස් අධ්‍යාපනය රට ගොඩනැඟීමට හේතු නොවූ බවට දිය හැකි නිදසුනකි. ‘උගත මනා ශිල්පය ම යි මතු රැකෙනා’ යන්නෙන් අදහස් කැරෙන්නේ වාහන බලපත්‍රයක් ලැබෙන රැකියාවක් දිනාගැනීම ද යන විචිකිච්ඡාව සමාජයේ මතු වන තරමට නිදහස් අධ්‍යාපනයේ ඉලක්ක මුල සිට ම වල්වැදිණි. ශිෂ්ටසම්පන්න දේශපාලනයක් ගොඩනැඟීමට නිදහස් අධ්‍යාපනය මුල සිට ම අපොහොසත් විණි. පවුල් බලය, ධන බලය, කුල වාදය යන සාධක අබිබවා දැනුම, බුද්ධිය, විනය යන සාධක වටිනා ධනයක් බවට පත් වූයේ ලෝකයෙන් රටට හමා ආ සංස්කෘතික සුළං දෙකක් නිසා මිස නිදහස් අධ්‍යාපනය නිසා නො වේ. ’78 දී රටට හමා ආ විවෘත ආර්ථික සුළඟ හා ඊට වසර විස්සකට පමණ පසු හමා ආ තොරතුරු තාක්‍ෂණය නමැති සුළඟ එකී නව ප්‍රවණතා ය. ශිෂ්ටසම්පන්න දේශපාලන වෙනස ඇති කරන්නට නායකත්වය ගන්නා අලුත් පරපුර, මේ සංස්කෘතික සුළං දෙක ගැන මෙන් ම ඉදිරියටත් හමා ඒමට නියමිත එවැනි සුළං ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් ද තිබේ. මේ හැම සුළඟකින් ම සාම්ප්‍රදායික, වැඩවසම් බාධක බිඳී ඉදිරිගාමි වාසි සැලසෙනවා වාගේ ම දේශීය වශයෙන් මතු කරගත හැකි අනන්‍ය වටිනාකම් ද එයින් තැළී-පොඩි වී යන බව එසේ වටහාගත යුතු කාරණය යි. එය ද රටට මඟහැරුණු අවස්ථාවකි. එබැවින් අලුත් පරපුර තම නායකත්වය මතු කරගැනීමේ දී දේශීය ව අනන්‍ය එකී වටිනාකම් කෙරෙහි අවධානය යොමු කිරීමත් ඉතා වැදගත් ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |