![]() ![]() |
||
අහසේ පාවෙන විමතික කණ්ඩායම හා පොළොවේ ඇවිදින විරුද්ධ පක්ෂයසම්මුති ආණ්ඩුවේ මංගල අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දා සිටම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමතික කණ්ඩායම ළයෙහි අත් ගසමින් දිවුරුවේ අය වැය පරාජය කරන බවකි. එහෙත් පසුගිය සතියේ දී අය වැය සම්මත වූයේ වැඩි ඡන්ද 2/3 ක බහුතර බලයක් ලබමිනි. ඒ අනුව විමතික කණ්ඩායමේ අභියෝගයන් හුදු කට මැත දෙඩවීමකට පමණක් සීමා වූ අතර අවම වශයෙන් තම කණ්ඩායමේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව අය වැයට විරුද්ධ මතයක තබා ගැනීමට හෝ ඔවුනට නොහැකි වුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමතික කණ්ඩායම මුළුමනින්ම පදනම් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී මතවාදයක ඉදිමිනි. ජනවාරි අට වැනිදා රාජපක්ෂ රෙජීමය පරදවා නව යුගයකට රට ගෙන ගිය දා පටන්ම රාජපක්ෂවාදී විමතිකයන් රටට කිව්වේ හෙට ආණ්ඩුව වැටෙනවා අනිද්ද ආණ්ඩුව වැටෙනවා ආදී අදහසකි. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ මහ මැතිවරණයෙන් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවන බවට ද කට මැත දෙඩවීය. එහෙත් විය යුතුම පරිද්දෙන් රාජපක්ෂවරුන් උත්කර්ෂයට නැංගවීමේ විමතික අරමුණු පරාජය වුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමන්විතව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විමතිකයන්ට මතවාදී නායකත්වය දෙන්නේ කිසිම ජනතා පදනමක් නොමැති එහෙත් කොළඹ අගනාගරිකය තුළ මතවාදී පදනමක් ඇති කල්ලි කණ්ඩායම නායකයන් දෙදෙනෙකු විසිනි. ඒ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ හා පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල විසිනි. ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර තිස්ස විතාරණ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර ඒ පසුපස යති. ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික සන්ධානයේ වාසුදේව නානායක්කාර ඊට අත් උදවු දෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමතිකයන් පිරිස උත්කර්ෂයට නංවන්නට උත්සාහ ගන්නේ වසරක් තුළ දෙවතාවක්ම පිට පිට ජනවරම් දෙකකින් පරාජය වූ මහින්ද චින්තන සංස්කෘතියයි. ඒ සංස්කෘතිය තුළ වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර හා තිස්ස විතාරණ ඔල්වරසන් දෙන්නේ මහින්ද චින්තනය තුළ අධිරාජ්‍යවාදයට ඉඩ නොදුන් බව පවසමිනි. එහෙත් මහින්ද චින්තනය තමන්ටම ආවේණික වූ නව ලිබරල්වාදී දැක්මකින් කටයුතු කළේය. ධනවාදී සංවර්ධනය පිළිබඳ අග්නිදිග ආසියානු ආදර්ශය අනුව සැකසුණු උපාය මාර්ගික ප්‍රවේශයක් ඊට තිබුණි. එය කිසිසේත්ම නව ලිබරල්වාදයෙන් බැහැර වීමක් නොවේ. ප්‍රවේශය වෙනස් කරමින් ගෝලීය ධනේශ්වරය හා ගැටගැසුණු මහජන චීනයේ ආදර්ශය රාජපක්ෂ චින්තනයේ පරමාදර්ශය වුණි. එල් ටී ටී ඊ සංවිධානය මුලිනුපුටා දැමීමේ රාජපක්ෂ චින්තනයේ ප්‍රමුඛ කාර්යය ඉටු කිරීමේ දී ලංකාවේ නෙතික දේශපාලන ආයතන ව්‍යුහය යළි සකස් කිරීමට ඔවුහු නිර්භය වූහ. ඒ අනුව ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් මුළුමනින්ම විධායකයේ හස්තයට නතු කර ගත් අතර ව්‍යවස්ථාපිත අධිකාරිවාදයක් ව්‍යුත්පන්න වුණි. රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුව වෙනස් වී ජාතික ආරක්ෂක රාජ්‍යයක් බවට ශ්‍රී ලංකා රාජ්‍ය පත්වුණි. මේ උපාය උපක්‍රමශීලී දේශපාලන ක්‍රමය ජනතා පදනමක් සකස් කර ගත්තේ එල් ටී ටී ඊ යට එරෙහිව ක්‍රියාත්මක කළ යුද්ධය මඟිනි. යුදකාමී දකුණට රාජපක්ෂ රෙජිමය තේරුම් ගැනීමට නොහැකි වුණි. ඒ නිසා කොන්දේසි විරහිතව රෙජීමය ආරක්ෂා කිරීමට සමාජයේ බහුතරය ඉදිරියට පැමිණියහ. මේ ජනතා පදනම ආරක්ෂා කර ගැනීමට මහින්ද චින්තනය විසින් යොදා ගත්තේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයයි. ඒ නිසා සිංහල බෞද්ධ දේශපාලන ක්‍රියාකාරකම් උත්කර්ෂයට නැඟීමට මහින්ද චින්තනය පෙලඹුණි. ඒ නිසා රාජපක්ෂ රෙජීමය වටා සමාජයේ පහළ මධ්‍යම පාන්තික, සුළු ධනේශ්වර හා ලූම්පන් සංක්‍රාන්ති සමාජ තීරු පෙළ ගැසුණි. සමාජයේ පිරිස් හිතන හැටි එහෙමත් නැත්නම් මහජන විඥානය වෙනස් කරමින් සමාජය වඩා විදග්ධ, ශික්ෂිත හා ප්‍රජාතන්ත්‍රීය තලයකට ඔසොවා තබන ප්‍රයත්නයකට මහින්ද චින්තන සංස්කෘතිය මහන්සි නොගත් අතර ජනතා විඥානය මත සරල හා නොදියුණු ගමන් මඟක කටයුතු කිරීම එහි දෘෂ්ටිය වුණි. ඒ නිසා ග්‍රාමීය පහළ මධ්‍යම පාන්තිකයන්ගේ, සුළු ධනේශ්වරයන්ගේ හා ලුම්පන් සංක්‍රාන්ති සමාජ තීරුවල වීරයා බවට මහින්ද රාජපක්ෂ පත්වුණි. රාජපක්ෂ මතවාදය නිර්මාණය කර ගත් රාජය සැකැස්ම තුළ මූල්‍ය පාලනයකින් තොරව විශාල ලෙස රටට ණය ගෙන සුපිරි සංවර්ධන ක්‍රමයක් දියත් කෙරුණි. එම මෙගා ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ දී ඉහළ සිට පහළටම එකී මුදල් කොමිස් වශයෙන් මහින්ද චින්තන අන්තේවාසිකයන්ගේ සාක්කුවල පිරවුණි. මේ නිසා රෙජීමය ආරක්ෂා කිරීමේ “දේශපාලන වැටක්” ඉදිවූ අතර ආණ්ඩුවේ කාඩරයන් වූයේ ඔවුන්ය. මහින්ද රාජපක්ෂ පිට පිට දෙවතාවක්ම පරාජය වී තිබිය දීත් විවිධ මුහුණුවරින් විවිධ ආඛ්‍යානයන්ගෙන් යුතුව රාජපක්ෂවරුන් ආරක්ෂා කරගැනීමේ කාඩරයන් ඉදිරියට එන්නේ එබැවිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමතිකයන් වරින් වර ජයඝෝෂා නඟමින් උත්සාහ ගන්නේ මෙවැනි සමාජ ක්‍රමයකට පසුබැසීමට මිස මේ වන විට සමාජය අඩිය තබා ඇති තැනින් එක් පියවරක් හෝ ඉහළට එසවීමේ උත්සාහයකට නොවේ. එවැනි ප්‍රගතිගාමී දේශපාලනයකට අවශ්‍ය දැක්ම විමතිකයන් සතුව නැත. දේශීයවත් අන්තර් ජාතිකවත් පරාජය වූ හා ප්‍රතික්ෂේප වූ මතවාදයක් කරපින්නා ගෙන අතීතය ස්මරණය කිරීම හැර වැරැදි නිවැරැදි කරගනිමින් ඉදිරියට යන දේශපාලන දෘෂ්ටියක් ඔපවත් කර ගැනීමට ඔවුන්ට නොහැක. ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව පිහිටු වූ දින සියයේ ආණ්ඩුව තුළ හෝ මහ මැතිවරණයෙන් පසුව පිහිටුවූ සම්මුතිවාදී ආණ්ඩුවේ හෝ මතවාදී, දෘෂ්ටිවාදී හෝ ප්‍රායෝගික අගතීන් නිවැරැදි කරන විකල්පයක් වීම ඔවුන්ට උගහටය. ඒ නිසා සමාජයේ පැන නඟින දේශපාලන සිද්ධීන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට පදනම් කරගෙන තිබේ. දින සියයේ ආණ්ඩුව තුළ පොළොවේ හැපෙමින් උද්ඝෝෂණය කළේ මහ බැංකුවේ අධිපතිට එල්ල වූ චෝදනා මතය. එය වරෙක වර්ගවාදය දක්වා ඔසොවා ගෙන යෑමට තරම් විමතිකයන් නිර්ලැජ්ජා වුණි. මහා මැතිවරණයේ ප්‍රබලම සටන් පාඨයක් වූයේ මහ බැංකු අධිපතිට එල්ල වූ චෝදනාවන් ය. එහෙත් මැතිවරණය අවසන් වූ වහා ඒ සටන් පාඨ විමතිකයන්ට අමතකව ගොස් ඇත. මහා හෙයිජිං ගනුදෙනුවට වරදකරු වූ දේශපාලන ව්‍යාපාරයකට රටක ප්‍රතිපත්තිමය සුජාතභාවය වෙනුවෙන් කටයුතු කළ නොහැකි බව විමතිකයන් විසින් ඔප්පු කරමින් සිටී. ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් විමතිකයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ මැක්ස්වෙල් පරණගම වාර්තාව එළිදක්වන ලෙසය. හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළ හිටපු ජනාධිපතිවරයාට භාර දුන් මැක්ස්වෙල් පරණගම වාර්තාව එළිදක්වන්නැයි සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම විහිළුවක් වුණි. විමතිකයන් දේශපාලන විහිළු කරමින් උත්සාහ කළේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ සම්මුතිවාදී ආණ්ඩුව අපහසුතාවට ලක් කිරීමට වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නොබියව මැක්ස්වෙල් පරණගම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව යුද අපරාධ සම්බන්ධයෙන් කමිටුවේ අදහස වී ඇත්තේ ඊට වගකිව යුත්තේ එල් ටී ටී ඊ ය පමණක් නොවන බවයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්විය යුතු බව වාර්තාවේ සඳහන් වේ. ඒ සමඟම විමතික කණ්ඩායමේ අරමුණු ව්‍යර්ථ වුණි. දේශපාලන සිද්ධීන් මත “පදික වේදිකා දේශපාලනයේ” නිරතවීම හැර උපාය උපක්‍රම සහිත ප්‍රතිපත්තිමය දේශපාලනයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමතික මන්ත්‍රී කණ්ඩායමට නොමැති වීම කනගාටුවට කරුණකි. විමතික කණ්ඩායමට මේ ඉරණම අත්වී ඇත්තේ දේශපාලන නිවැරැදි කර ගැනීමකින් තොරව තවදුරටත් මහින්ද චින්තන සංස්කෘතිය ආරක්ෂා කරන බැවිනි. වසරක් තුළ පිට පිට දෙවරක් සමාජය විසින් ප්‍රතික්ෂේප කළ දේශපාලන සංස්කෘතියක් උත්කර්ෂයට නැංවීම දේශපාලන සිද්ධීන් මත පදනම් වෙමින් කළ නොහැක්කකි. ඒ සඳහා වැරැදි නිවැරැදි කර ගන්නා වූ ස්වයං විවේචනයකින් ද අලුත් දේශපාලන දෘෂ්ටියකින් ද සන්නද්ධ විය යුතුය. එහෙත් විමතිකයන් එවැනි දේශපාලන නිවැරැදි කිරීමකට යෑමට තරම් ශක්තිමත් හා දියුණු පිරිසක් නොවේ. ඔවුන්ගේ පදනම වන මහින්ද චින්තන සංස්කෘතිය අනුව එවැනි ප්‍රතිසංස්කරණයක් ආගන්තුක අත්දැකීමකි. ජනවාරි විප්ලවයට මූලික කාර්යභාරය ඉටු කරමින් මෛත්‍රිපාල සිරිසේන ලාංකික දේශපාලනයට ආගන්තුක වූ පියවරක් පෙරට තැබුවේය. ඒ තුළ ඉපැරැණි පක්ෂ දේශපාලන ෙභ්ද ඉවතලා පොදු අරමුණක් වෙනුවෙන් එක පෙළට සිට ගත්තේය. ජයග්‍රහණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය හා සම්මුතිවාදී ආණ්ඩුවකට එකඟ වුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක ඉතිහාසයේ කවරදාවත් ඉටු නොකළ මෙහෙයක් ඉටු කරමින් සිටී. ඒ අර්ථයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රවේශය නැවුම් ය. විමතිකයන්ගේ ප්‍රවේශය දුගඳ හමනසුලු ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |