කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කෝප් වාර්තාව නමට පමණක්ද?

කෝප් වාර්තාව නමට පමණක්ද?

1979 ගිණුම්කාරක සභාවක අවශ්‍යතාව පැනනැඟිණි. පෞද්ගලික අංශය ආර්ථික ‍ක්ෂේත්‍රයට යොමු වීම දිගින් දිගටම පැවැතිණි. එහෙත් 1956 දී රාජ්‍යයේ ආයතන වාණිජ කටයුතු කීරීමේ ක්‍රමවේදයට යොමු විය. මේ අනුව මුදල් වැය වන ආයතන ගිණුම් කාරක සභාවටත්, ආදායම් ලබන රජයේ ආයතන කෝප් සභාවටත් යොමු කෙරිණි. මේ අනුව වාණිජ අරමුණක් ඇති රජයේ ආයතන ලාභ ලබන්නේදැයි නිරීක්ෂණ කිරීම සඳහා කෝප් කමිටුව ආරම්භ කරනු ලැබී ය. විද්වතුන් කිහිප දෙනෙකු කෝප් කමිටුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් මෙසේ ය.

සෝල්බරි ව්‍යවස්ථාවෙත් ගිණුම් පරීක්ෂණ තිබුනා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා

ශ්‍රී ලංකාවට නිදහස ලබාදුන් සෝල්බරි ව්‍යවස්ථාවේ පටන් ගිණුම් පරීක්ෂා කිරීමට පැවැතුණා. ඒවගේම ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේද ගිණුම් පරීක්ෂා කිරීම පැවැතුණා. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මවීමේදී පවා ගිණුම් පරීක්ෂා කිරීම සිදු වෙනවා. මේ නිසා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම රජය‍ට සම්බන්ධ කොමිෂන් සභා අධිකාරී වැනි ආයතනවල ප්‍රධානීන්ද ගිණුම් පරීක්ෂාවේදී ඇති වන තොරතුරුවල අඩුපාඩු මත කෝප් කමිටුවට කැ‍ඳවනවා. ගිණුම් පිළිබඳ අක්‍රමිකතා තිබෙන ආයතනවල නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසීම් කරනවා.

එහෙත් ඒ හේතූන් සොයා බැලීමෙන් පසු සකස් කළ කෝප් වාර්තාව ක්‍රියාත්මක වුණේ නැහැ. මෙයට හේතුව මහජනයාගේ සුබසිද්ධිය සලසන ආයතන හා පුද්ගලයන්ට ප්‍රබල බලයක් නොමැති වීමයි. කෝප් කමිටුවෙන් ගන්න තීන්දු-තීරණ ය‍‍ටතේ කෝප් කමිටුවට ක්‍රියාත්මක කළ හැකි තීරණ අල්පයි.

මේ අනුව 1960 ජූලි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු හා 1977 මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරයකු අල්ලස් ගැනීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවෙන් වරදකරු වූයෙන් පාර්ලිමේන්තුවේ ආසන ඔවුන්ට අහිමි කළා.

ඒත් කෝප් වාර්තාවෙන් ගත් සියලු දේ සම්බන්ධයෙන් තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ විධායකයටයි. විධායකය මේ තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකළ හොත් ඒවා ප්‍රතිඵලදායක නැහැ. මේ නිසා කෝප් වාර්තාවේ සඳහන් වූ තීරණ ඉක්මනින් ක්‍රියාත්මක කර ඒවා නිසි පිළිවෙළට සකස් කිරීමට විධායකය කටයුතුකළ යුතුයි.


ක්‍රියාවට නැඟිය හැක්කේ විධායකයට පමණයි

ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර

කෝප් කමිටුවෙන් වාණිජමය ආයතන ගැන කතා කරනවා. වාණිජ ආයතන, කොමිෂන් සභා, මණ්ඩල, පර්යේෂණ ආයතන, ප්‍රවර්ධන ආයතන පිළිබඳව කෝප් කමිටුවෙන් විමර්ශනය කරනවා. 2010 මං කෝප් කමිටුවේ සභාපති වෙන අවස්ථාවේදී මගේ මතකයේ හැටියට ආයතන 244ක් තිබුණා.

කෝප් වාර්තාවෙන් කතා කරන්නේ වාණිජ ආයතන ගැන විතරයි. මං හිටිය අවුරුදු හතර ඇතුළත ආයතන හයසිය තිහක් ගැන කතා කළා. 2010 දී මං කල්පනා කරලා බැලුවා වාණිජ ආයතන විශාල ප්‍රමාණයක් කොහොමද විමර්ශනය කරන්නේ කියලා. මේ නිසා මං කෝප් කමිටුවෙන් බලය බෙදී යන ආකාරයේ කමිටු තුනක් ඇති කළා. ප්‍රධාන කමිටුවට අනුයුක්ත වන ලෙස මේ අනුකොමිටි තුන ක්‍රියාත්මක කරන්න කියලා එහි සභාපතිවරුන්ට උපදෙස් දුන්නා.

මේ නිසා මේ අනුකොමිටිවලින් කෙරෙන විමර්ශන ප්‍රධාන කොමිටියට ගෙන ආ යුතුයි. මේ ක්‍රමය නිසා වාර්තාව ඉදිරිපත් කරනඑක ඉක්මන් වුණා. මං කෝප් සභාපතිවරයාව සිටින කාලයේ දින දෙකක විවාදයක් තිබුණා. ඊට පස්සේ ඒ සෑම දෙයක්ම සාකච්ඡාවට බඳුන් කළා. ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු වාර්තාව ඉදිරිපත් කළ පසු ඒ අය පාර්ලිමේන්තුවට කැඳවනවා. ආයතනකට වගකිවයුත්තා වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයයි. පාර්ලිමේන්තුව සම්මත කරන මුදල් පරිහරණය කිරීමට බලය ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාටයි.

මගේ ධූර කාලය තුළදී කෝප් වාර්තාව සියලු නිලධාරීන් දැනුවත් කළා. ඒ වගේම මං ගත්ත තවත් පියවරක් තමයි සියලු වාර්තා ඇමැතිවරුන්ට යැවීම. ඇමැතිවරුන් සැබෑ තත්ත්වය දැනගන්න අවශ්‍ය බව මං විශ්වාස කළා. ඒ වගේම කෝප් වාර්තාව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට යැවුවා.

ප්‍රථම වතාවට කැබිනට්එකේ මේ බව සාකච්ඡා කළා. ඒ වගේම මහජනතාව දැනුවත් කළා. ඒත් කෝප් කමිටුවට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ වාර්තාවේ සියලුම දේ ක්‍රියාත්මක කිරීමේ බලතල තියෙන්නේ විධායකයට පමණයි. අපි වාර්තාව සකස් කරලා දුන්නත් විමර්ශනය කළත් අවසාන ප්‍රතිඵලය අත්පත් කරගන්න විධායකයේ සහයෝගය ඕනේ. නැත්නම් මේ දේවල් ක්‍රියාත්මක කරන්න බැහැ.


අපි වාර්තාව බාරදී පසු විපරමකට යනවා

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ වර්තමාන සභාපති සුනිල් හඳුන්නෙත්ති

ඇත්තටම පාර්ලිමේන්තුවට තියෙන බලය තමයි ව්‍යවස්ථාවේ 148 වගන්තියෙන් හදලා තියෙන්නේ මහජනතා‍වගේ මුදල් රාජ්‍ය ආයතන කොහොමද පරිහරණය කරන්නේ කියලා පරීක්ෂා කරලා බලන එක. මේ අනුව විගණන වාර්තා, මුදල් අමාත්‍යාංශයේ වාර්තා අදාළ ආයතනයේ ගිණුම් වාර්තා හා කැඳවීම්, ව්‍යවස්ථාවේ ස්ථාවර නියෝගවල ඉතා පැහැදිලිව තියෙනවා ඕනෑම ආයතනයක මුදල් පරීක්ෂා කරන්න පුළුවන් කියනඑක. ඒ කියන්නේ ඒක මුදල්මය වශයෙන් පරීක්ෂා කරන්නත් පුළුවන්.

එම ආයතනයට ගිහිල්ලා ප්‍රායෝගිකව බලන්නත් පුළුවන්. මේ දක්වා සිදු වූ අඩුව තමයි මෙය වාර්තා කිරීමට පමණක් සීමා වෙලා තියෙනවා. ඊළඟට මෙය පාර්ලිමේන්තුවට වාර්තාවක් විදිහට ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ ආයතනවල වාර්තාව විවාදයකට ලක් කරලා ඒ කරුණු මත අදාළ ආයතන මඟින් පරීක්ෂාවන් කෙරෙන්න අවශ්‍යයි.

ඒත් අනිකුත් ආයතන ව්‍යුහය විසින් තමයි අදාළ ක්‍රියාවලිය කරන්න අවශ්‍ය වන්නේ. ඊට පස්සේ එම ආයතනයේ මූල්‍යමය අපරාධයක් වෙලා තියෙනවා නම් මූල්‍යමය වංචාවක් වෙලා තියෙනවා නම්, පොදු දේපළ පනත යටතේ, රජයේ මුදල් අපහරණය යටතේ, සීඅයිඩීඑකට අල්ලස් හා දූෂණ කොමිසමට, රටේ අධිකරණ පද්ධතියට ඒ ඒ ක්‍රියාවලයට මැදිහත් වෙන්න පුළුවන්.

එය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ විධායකයට. ඒ කියන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලයට. විභාගයට ලක් කරන්නේ ඇමැතිවරයෙක් යටතේ තියෙන ආයතනයක්. මෙච්චර‍ කාලයක් සිද්ධ වුණේ අදාළ වාර්තා යොමු කළාට පස්සේ ඒ වාර්තා හමස් පෙට්ටියට වැටුණා මිසක් එතනින් එහාට ක්‍රියාවලිය ගියේ නැහැ. අදාළ අමාත්‍යාංශයෙන් ක්‍රියාවලියක් සිදු වුණේ නැහැ. අල්ලස් හා දූෂණ කොමිසම වැනි ආයතනවල ක්‍රියාවලියක් සිද්ධ වුණෙත් නැහැ.

පසුගිය කාලයේ කෝප් වාර්තාව හැදුවා මිසක් එයට මහජනතාව සම්බන්ධ කරගැනීමේ හෝ මාධ්‍ය සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියක් තිබුණේ නැහැ. අනිත් දෙය තමයි ඊට පසු විපරමක් සිද්ධ වුණෙත් නැහැ. මෙවර විශේෂත්වය තමයි වගකීමකින් කියනවා. අපි මේ පරික්ෂා කරන දේවල් සම්බන්ධයෙන් පසුවිපරම් ක්‍රියාවලියක් ආරම්භ කරනවා. පොදු ව්‍යාපාර කාරක සභාවට පුළුවන් අදාළ ආයතනවල‍ට නිර්දේශ කළේ නැත්තේ ඇයි කියලා පසුවිපරම් කරන්න. ඒ කියන්නේ නොවන්නේ ඇයි ද කියලා වාර්තා කැඳවන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෝ කැඳවන්න පුළුවන්.

පසුවිපරම් ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදලා තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන්නේ. මේ නිසා සියලු ආයතන මේ වන විට පරිගණකගත කරලා තියෙන්නේ. එතකොට අපිට පරිගණක ජාලයෙන් දැනගන්න පුළුවන් අදාළ ආයතන තමන්ට පැවැරූ ක්‍රියාවලිය කරලා තියෙනවා ද කියලා.

පසුගිය කාලයේ සිදු වුණේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයෙක් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්න අවස්ථාවක ඔහු වගකියන්නේ පාර්ලිමේන්තුවටද විධායකටද කියන ප්‍රශ්නය ඇති වෙනවා. දැන් විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් තමයි කෝප් කමිටුවේ සභාපතීත්වය දරන්නේ.

මේ නිසා විධායකයත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා මට මැදිහත් වීමේ හැකියාවක් තියෙනවා. මං මේක කියන්නේ ඉතාමත් විවෘතව කියනවා රජයේ සේවකයන් ‍හා රාජ්‍ය ආයතන හොරකම් කරනවා කියන පදනමින් මං මේකට මැදිහත් වෙන්නේ නැහැ. ඔවුන් හොරකම් කරන්නේ නැහැ කියන පදනමින් තමයි මං මේ සඳහා මැදිහත් වෙන්නේ. මං නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රටට අවංකව ආදරයක් තියෙන නිලධාරීන් කෝප් කමිටුවට එන්න බිය විය යුතු නැහැ කියලා.


බිලියන සියයක වත්කම් මගේ කාලේ අය කරගත්තා

අධිකරණ සහ බුද්ධසාසන ඇමැති විජේදාස රාජපක්ෂ

කෝප් වාර්තාව ව්‍යවස්ථාදායකය හැදුවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නේ විධායකය. විධායකයේ විමර්ශනයට මේ වාර්තාව ලක් විය යුතුයි. ඒත් විධායකයේ විමර්ශනයට‍ ලක් වුණා‍ට මේ සම්බන්ධයෙන් තීරණ ගන්නේ නැති නම් වාර්තා සකස් කිරීමේත් තේරුමක් නැහැ තමයි.

මං කෝප් කමිටුවේ සභාපති වෙලා සිටිය කාලේදී ලංකාවේ ආදායම බිලියන 800ක් විතර වෙනවා. ඒත් ඒ කාලයේ වංචා දූෂණ බිලියන 300ක් තිබුණා. මේ ඉදිරිපත් කළ කරුණු අනුව සිදු වෙලා තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් බලාත්මක වෙන්න කියලා අපි අධිකරණයේ තර්ක කළා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට බිලියන සීයයක වත්කම් ආපසු අය කරගත්තා. ඒ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇපලෝ රෝහල වරාය සම්බන්ධ ඉඩමක වගේම පෞද්ගලික බැංකුවල කොටස් අය කරගත්තා. මගේ වාර්තාවේ මේ වංචා දූෂණ ගැන ක්‍රියාත්මක වෙන්න කියලා මං සටහන් කළා.

පාර්ලිමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ මේ රටේ නීති ආධිපත්‍යයක් නැහැ. ව්‍යවස්ථාදායකය නීති හැදුවාට විධායකය තමයි ක්‍රියාත්මක කරන්නේ. මං කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් සිටියේ 2006 මැයි සිට 2008 අගෝස්තු දක්වා. ඒ කාලයේ මං කෝප් වාර්තා දෙකක ඉදිරිපත් කළා. මං මගේ වාර්තාවේ ආයතන 147ක් වංචා දූෂණ ඉදිරිපත් කළා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]