![]() ![]() |
||
බස්නාහිර, කිරුළේ මැණික කරන මෙගාපොලිස්
දශක තුනක් ඇතුළත දැවැන්ත සමාජ, ආර්ථික “පිම්මක්” පැනීමට දිරි දීමේ අරමුණින් සමස්ත බස්නාහිර පළාත් ම ආවරණය වන සේ මහා නගරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. මහා නගර නොඑසේනම් මෙගා පොලිස් සංකල්පය මෑතක් වන තෙක්ම ශ්‍රී ලංකාවට ආගන්තුක මාතෘකාවක් වුව ද එය මහපොළොවේ ඇත්තක් බවට පත්කිරීම සඳහා විවිධ විෂය ක්ෂේත්‍රයන් හා සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් සහිත විශේෂඥයන් කණ්ඩායමක් හා එකට එක්ව නගර සැලසුම්කරුවන්, මේ වන විට තම උපරීම වෙහෙස මහන්සිය යොදවමින් සිටිති. වර්ග කිලෝමීටර් 3700ක් පුරා පැතිර ඇති දිස්ත්‍රික්ක තුනක් එකට එක්කරමින් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දැවැන්තම ව්‍යාපෘතිය ලෙස මෙම මහා නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතය. මීගමුව සිට බේරුවල දක්වා විහිදුණු යෝජිත, මහා නගර සැලැස්ම යටතේ ගම්පහ, කොළඹ, කළුතර ආවරණය වන අතර, රටේ ආර්ථිකයෙන් 45% කට වග කියනුයේ බස්නාහිර පළාත නියෝජනය කරන එම දිස්ත්‍රික්ක ය. ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක වටිනාකමක් ඇස්තමේන්තු කර ඇති මෙම මහා නගර හා නගර සංවර්ධන ව්‍යාපෘතිය හරහා රටෙහි බස්නාහිර ප්‍රදේශය දකුණු ආසියාවේ ආර්ථික වශයෙන් දිදුලන ජීවත්වීමට වඩාත් සුදුසු, නේවාසික මහ නගරය බවට පත් කිරීම අරමුණය. ගමනාගමන, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, වැවිලි කර්මාන්තය, සංචාරක හා කර්මාන්ත යනාදී අංශ ඇතුළත් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති 150ක් එකිනෙක යා කරමින් මීළඟ වසර 15 තුළ, බස්නාහිර පළාත, ලෝකයේ ඉහළම මහා නගර සේ සැලකෙන ලන්ඩනය හා තෝකියෝවේ තත්ත්වයට රැගෙන යාම එමඟින් අපේක්ෂිත ය. බස්නාහිර පළාත් මහ නගර සැලැස්මේ මූලික අරමුණු අතර රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ආයෝජන ඉඩප්‍රස්ථා පුළුල් කිරීම, හා පළාත තුළ පොදු සේවාවන් ශක්තිමත් කිරීම ද වේ. රැකියාව, අධ්‍යාපනය සඳහා හෝ පොදු සේවාවන් හෝ සෞඛ්‍ය පහසුකම්, ලබා ගැනීමට කොළඹට පැමිණීම වෙනුවට තමන් උපන් හෝ ජීවත්වන ප්‍රදේශවල සිට ඉහත කී කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ අවස්ථා ලබාදීම හරහා සුවදායී ජීවිතයක් සහතික කිරීම හා රැකියාවන්හි නිරත වීමේ පහසුව උදා කර දෙනු ඇත. ප්‍රධාන ඒකක තුනක් බස්නාහිර පළාත ගෝලීය තරගකාරි නාගරික කලාපයක් බවට පත්කිරීම වෙනුවෙන් වන බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම සඳහා 2015 අප්‍රේල් විසිපස් වැනි දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණ අතර අනතුරුව මේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන නමින් වෙනම අමාත්‍යාංශයක් ද පිහිටුවන ලදී. මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අගෝස්තුවේ පිහිටුවන ලද එම අමාත්‍යාංශයේ වගකීම පැවරුණේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ය. මේ අතර, බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ, ප්‍රකට වෘත්තිකයකු වන අජිත ද කොස්තා මහතා ය. කොස්තා මහතාට අමතරව එහි ප්‍රධාන මෙහෙයුම් කමිටුව නියෝජනය කරනුයේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ආයෝජන මණ්ඩලයේ සභාපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහ බැංකු අධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම්වරයකු, බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා, අග්‍රාමාත්‍ය උපදේශක, ආර්. පාස්කරලිංගම් හා නම්කරන ලද තාක්ෂණික උපදේශකවරුන්ය. ඊට අමතරව බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඒකක තුනක් ක්‍රියාත්මක ය. ඒ ශ්‍රී ලාංකික උපදේශක කණ්ඩායම සිංගප්පූරු උපදේශක කණ්ඩායම හා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු වෙනත් රාජ්‍ය අංශ කණ්ඩායම් ලෙසිනි. ශ්‍රී ලාංකික උපදේශක කණ්ඩායම් හතරෙහි නායකත්වය දරනුයේ රමණී ඇල්ලේපොළ, මහාචාර්ය සිරි හෙට්ටිගේ, මහාචාර්ය පී. කේ. එස්. මහානාම හා ටී. හේවාවසම් යන මහත්ම මහත්මීන්ය. රමණි ඇල්ලේපොළ මහත්මියගේ නායකත්වයෙන් යුතු උපදේශක කණ්ඩායම, පරිසරය, ජල සම්පත්, ඉඩම්, ගොඩබිමට හා සාගරයට සම්බන්ධ අනෙකුත් ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් කටයුතු කරන අතර මහාචාර්ය සිරි හෙට්ටිගේ ප්‍රධානත්වයෙන් යුතු උපදේශක කණ්ඩායම, පරිවාහන හා සේවා සහ ප්‍රවාහන, වාණිජ හා ව්‍යාපාර සංවර්ධන සංචාරක ආරක්ෂාව හා ආරක්ෂාව වැනි සමාජ, ආර්ථික සේවාවන් හා සම්බන්ධ සේවා අංශ පිළිබඳ කටයුතු කරති.
නියාමන ආයතන, ව්‍යවස්ථාදායක විධිවිධාන, අත්පත් කරගැනීම් වන්දි ලබාදීම් පෞද්ගලික අංශයේ කාර්යභාරය, රාජ්‍ය අංශය, රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සම්බන්ධතා විධි ක්‍රම, ප්‍රසම්පාදනය, වැනි කර්තව්‍යයන් සම්බන්ධයෙන් උපදේශන කාර්යභාරය ඉටු කරනුයේ එම කණ්ඩායමය.
ධරණිය මූලික රාමුවක් පසුගිය මාස කිහිපය තුළ ඉහත කී බුද්ධි මණ්ඩල හරහා ලැබුණු දායකත්වය ඔස්සේ බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතිය තම මූලික වැඩ රාමුව මේ වන විට බොහෝ දුරට නිර්මාණය කරගෙන අවසන් ය. “සැම කෙනෙකුටම තමන්ට හැකි ආකාරයෙන් මේ ව්‍යාපෘතියට දායක විය හැකි හා ඒ සඳහා අවස්ථාවක් ලැබෙන අන්දමේ නිවැරදි සාධාරණ හා ධරණීය මූලික රාමුවක් නිර්මාණය කරගැනීම අපේ බලාපොරොත්තුවයි. එවැනි වැඩපිළිවෙළක් හරහා මෙම ව්‍යාපෘතියෙන් සියලු දෙනාටම ප්‍රතිලාභ හිමි වන කිසිවකු බැහැර නොකරන බවට සහතිකයක් පහසුවෙන් ලබා දෙන්න පුළුවන්” බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපති අජිත ද කොස්තා මහතා තුළ ඇත්තේ එබඳු අදහසකි. “සිංගප්පූරු විශේෂඥයන් සමඟ දැනුම බෙදා ගනිමින් 100%ක් ශ්‍රී ලාංකික සැලැස්මක් නිර්මාණය කරගැනීමට අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. නූතනත්වයට ගැළපෙන සේ මෙවැනි සර්ව භෞමික මහා නගර ඉදිකිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු උපදේශකයන්ට මනා පළපුරුද්දක් තියෙනවා. මෙතැනදී ඒ දැනුම අතිශය වැදගත්” සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. මේ දක්වා සිදුකල කණ්ඩායම් නිරීක්ෂණ හා මෙම මහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙතෙක් සිදුවූ සාකච්ඡා ඇසුරින්, සකස් කරන ලද මූලික නිර්දේශ ඇතුළත් වාර්තාවක් බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතිය විසින් විෂය භාර අමාත්‍යවරයාට ලබා දී තිබේ. ඒ අනුව යෝජිත ව්‍යුහාත්මක සැලසුම පහත පරිදි ය. 1. ගුවන් නගර කලාපය 2. පරිවහන හා භාණ්ඩ ප්‍රවාහන කලාපය 3. මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය (සාරවත් ප්‍රදේශය) 4. වෙරළ හා සාගර සංවර්ධන කලාපය 5. විද්‍යා හා තාක්ෂණ නගර 6. වැවිලි නගර 7. වැවිලි හා වනාන්තර නගර 8. සංචාරක කලාපය 9. කර්මාන්ත නගර කලාපය 10. ආගමික හා අධ්‍යාත්මික විශේෂ භූමි භාග බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතිය, යටතේ ප්‍රතිපත්ති සම්පාදකයන් වහා අවධානය යොමුකළ යුතු ප්‍රධානතම කාරණයක් වනුයේ ප්‍රවාහන හා මාර්ග තදබදය සම්බන්ධ ගැටලුය. තම කණ්ඩායම ඒ වෙනුවෙන් දක්වා ඇති සංවේදීතාව පිළිබඳ අජිත ද කොස්තා මහතා කියනුයේ මෙවැන්නකි. “දියුණු හා නවීන දුම්රිය හා බස් සේවාවක් වහා ප්‍රමුඛතාවක් ලෙස මෙම කලාපයට හඳුන්වා දිය යුතු බව විශේෂඥ කණ්ඩායම, නිර්දේශ කර තියෙනවා.
මේ අතර බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන අවන්ති ජයතිලක මහතා පවසනුයේ එදිනෙදා කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති මාර්ග තදබදය අඩු කිරීමට භාවිත කළ හැකි විවිධ ප්‍රවාහන විධි හා නව යෝජනා පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි අවධානය යොමුකර ඇති බවය. වර්තමානයේ මඟීන්ට අමිහිරි අත්දැකීමක් වී ඇති පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය උසස් කරලීම වෙනුවෙන් ඒ සම්බන්ධව ඇති ගැටලු විසඳීමට නවීන තාක්ෂණය යොදා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබේ. “යටිතල පහසුකම්, ව්‍යුහය දියුණු වී නගර එකට එකතු වුණහම මිනිස්සුන්ට නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන් වගේම සියලු පහසුකම් අපහසුවකින් තොරව ලබාගන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න හා අත්‍යවශ්‍ය සේවා ලබාගැන්මට විශේෂිත ප්‍රදේශ පිහිටුවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියලු පහසුකම් එක්ක වැඩි වශයෙන් ආයෝජන කරන්න ඔවුන් පෙළඹේවී” ජයතිලක පවසයි. විකල්ප බලශක්ති ක්‍රම වර්තමානයේදී ප්‍රධාන නගරවල දක්නට ලැබෙන තවත් ප්‍රධානතම ගැටලුවක් වනුයේ වායූ දූෂණයයි. ඒ වෙනුවෙන් විශේෂඥයන් යෝජනා කර ඇත්තේ වැඩි වශයෙන් විද්යුත් මෝටර් රථ හඳුන්වා දීම හා නිවාස කර්මාන්ත හා වාහන සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් හඳුන්වා දීමය. කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීමට නම් පවතින රථවාහන සැලැස්මෙහි විවිධ වෙනස්කම් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුමය. නගරය තුළ ත්‍රීරෝද රථ ගමන් කළ නොහැකි කලාප හඳුන්වා දීම, බරවාහන හා බහාලුම් ප්‍රවාහන සඳහා වෙනත් මංතීරු සහ කාල සටහන් සකස් කිරීම, සුඛෝපභෝගී බස්රථ සේවා හඳුන්වා දීම එසේ කළ යුතු වෙනස්කම්ය. නියාමන ව්‍යාපෘතියක් ලෙස කොළඹට මඳක් ඈතින් පිහිටි ප්‍රදේශවල සිට විද්යුත් බස්රථ සේවා ඇරැඹීම සේම රාජකාරි වේලාවන්හි සංශෝධන සිදුකිරීම ද නගරයට ඇතුළුවන රථවාහන සංඛ්‍යාව අඩු කිරීම වෙනුවෙන් යෝජනා වී ඇති බව කියවෙයි. මහා නගර ව්‍යාපෘතිය, රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමට මෙන්ම දිනෙන් දින වර්ධනය වන ජනගහණයට සුවපහසු, නිරෝගී පරිසරයක, ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට ද බලාපොරොත්තු වේ. එමෙන් ම එය අනාගතයේ ක්‍රියාත්මක වන්නා වූ සැම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහාම මාර්ගෝපදේශ සැපයීමට නොඑසේනම් අත්පොතක් වීමට සූදානම්ය. සමානාත්මතාව හා ධරණීය සංවර්ධනය සහතික කිරීම එසේ මාර්ගෝපදේශ සැපයීමේ අරමුණ ය. අධිරාජ්‍යවාදී යුගයේ සිට මේ දක්වාම රටේ සංවර්ධනය කේන්ද්‍රගතව පැවතියේ කොළඹ වරාය වටාය. නිදහසින් පසු බලයට පැමිණි සැම රජයක්ම පාහේ කේන්ද්‍රය, ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම තුළ සැබවින්ම සිදු වූයේ පරිධියේ සිටින ජනතාව කොළඹට පැමිණීම ධෛර්යමත් වීම පමණි. රාත්‍රියේදී අඩුවක් දැකගත හැකි වුවත් දිවා කාලයේ දී කොළඹ ජනගහණය සෑහෙන අධික වීම එහි අවසාන ප්‍රතිඵලය වී ඇත. අවම තරමින් දිවා කාලයේ කොළඹ නගරයේ ජනගහණයෙන් 47% ක්ම අවට ප්‍රදේශවලින් පැමිණියවුන්ය. “මේක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි” ජයතිලක කියයි. “මේකෙන් වෙන්නේ කොළඹට ඇති ප්‍රධාන ගමන් මාර්ගයන්හි මාර්ග තදබද වැඩිවීම විතරයි. වර්තමානයේ ඇතිව ඇති තදබදයට, වගේම පරිසර විනාශයට මෙය සෑහෙන හේතුවක්. ඒ එක්කම මාර්ග පළල් කිරීම, තදබදයට තියෙන හොඳම විසඳුම නෙවෙයි. වාහන ආනයනය කිරීම් වැඩි වුණාට පස්සේ ඒවා ඉක්මනින්ම පිරෙනවා. ඒ නිසා ඒක සංවර්ධනයට වඩා විනාශයට හේතුවක්. අද පළල් කරන මාර්ග හෙටට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙතැනදි සම්පූර්ණ වෙනස් ප්‍රවේශයක් ඔස්සේ නාගරික සංවර්ධන සංකල්පය දිහා බලන්න වෙනවා” ඔහු වැඩිදුරටත් පවසයි. ජයතිලකගේ එම අදහස කොස්තා ද අනුමත කරයි. “වඩාත් හොඳ සැලසුම් හා පහසුකම් යටතේ නගරය නවීකාරක වෙද්දී එහි තත්ත්වය උසස් වෙද්දී, පරිධියේ ඇති මධ්‍යස්ථාන අනාගතයේදී මිනිස්සු ආකර්ෂණය කරගන්න, ආර්ථික වශයෙන් වැදගත් මධ්‍යස්ථාන බවට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එවිට මිනිස්සුන්ට තමන් උපන් නගරේ හෝ ඒ ළඟම ඇති නගරේ සතුටින් වැඩ කරන්න, ජීවත්වෙන්න පුළුවන්, පරිසරයක් හැදේවී. හොඳ පාසල්, රැකියා අවස්ථා හොඳ සෞඛ්‍ය පහසුකම් සහ ආර්ථිකව බලවන්ත වීමට අවශ්‍ය සෙසු තත්ත්වයන් තමන්ගේ ගම් ප්‍රදේශවල නිර්මාණය වුණාට පස්සේ ඒවා ආර්ථික මධ්‍යස්ථාන වුණාට පස්සේ කොළඹ එන්න අවශ්‍යතාවක් කාටවත්ම පැන නඟීවි කියලා මම හිතන්නෙ නැහැ” කොළඹින් පරිබාහිරව එසේ සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති පරිධියට අයත් ප්‍රදේශ වනුයේ මීරිගම, නිට්ටඹුව, කිරිඳිවැල, හංවැල්ල, පාදුක්ක, හොරණ සහ මතුගම ය.
අලුත් ප්‍රවේශයක් එම උත්සාහය සැබැවින්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා සැලසුම්කරුවන් එම ප්‍රදේශවල ස්වභාවික ආර්ථිකමය පදනම, සම්පත් හා සැබෑ ආර්ථික ක්‍රියාකාරිත්වය කෙරෙහි සංවේදී වීම වැදගත්ය. ඒ පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නොදක්වමින් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති, අවසන් වූයේ ජනතාවට සමාජයට හා පරිසරයට අතිමහත් විනාශයක් අත්පත් කර දෙමිනි. එම වරද බස්නාහිර, පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතිය මෙහෙයවන්නන් හඳුනාගෙන සිටීම ප්‍රශංසනීයය. “අපේ ප්‍රවේශය ඊට වඩා වෙනස්. අපි මුලින්ම අපි සතු වඩාත් තීරණාත්මක පාරිසරික සම්පත්, හඳුනාගෙන තියෙනවා. ඒ ඒවා ආරක්ෂා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ අදහසින්” කොස්තා මහතා සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර පළාත හරහා ගලා බසින ප්‍රධාන ගංගාවන් වන දෙද්දුව කළු ගඟ බෙන්තර ගඟ දැදුරුඔය සහ මෙම භූගෝලීය තීරුවට අයත් වගුරු බිම්, වෙරළ කලාපය, ආවරණය කරමින් පාරිසරික කලාපයක් බිහි කිරීම ඉහත කී සැලසුමේ එක් කොටසකි. බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියට එම පාරිසරික කලාප අත්පත් කරගත් පසු පාරිසරික මාර්ගෝපදේශ පිළිබඳ සැලකිලිමත් වෙමින් එම කලාප සංවර්ධනය කිරීමට නව ක්‍රියාමාර්ග සැකසීම, සැලසුම් සකසන්නන්ගේ වගකීම ය. සංවර්ධන ඉලක්ක කරා යන ගමනේ දී ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. සංවර්ධන කලාප ඇති කිරීමේදී පරිසරය ආරක්ෂා කිරීම වැදගත් සේම ජල විද්‍යානුකූලව හා පාරිසරික විද්‍යානුකූලව ඉහළ වටිනාකමක් සහිත ස්ථාන සංරක්ෂිත කලාප බවට පත්කිරීම පිළිබඳව එහිදී වඩාත් වැඩි අවධානයක් යොමු කිරීම වැඩදායීය. ඒ පරිසරය විනාශ කරමින් ඊට අනර්ථයක් සිදු කරමින් කරන සංවර්ධනය අවසාන විග්‍රහයේ දීඅනර්ථයක් ම බැවිනි. “අපි ඒ කිසි ප්‍රදේශයකට අත තියෙන්නේ හෝ ඇඟිලි ගහන්නේ නැහැ. අනෙක් ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කරමින්, ඉලක්කවලට යන්න අපි බලාපොරොත්තු වෙනවා” ඒ පිළිබඳ අප කළ විමසීමකදී ජයතිලක එසේ පැවැසීය. “වගුරු බිමක, වර්ග සෙන්ටිමීටරයකටවත් අපි අත තියන්නේ නැහැ. අගමැතිතුමා ඒක අපිට පැහැදිලිවම කිව්වා” අපේ කථාවට ඌණ පූරණයක් එක්කරමින් අජිත ද කොස්තා ද පවසයි.
විදෙස් විශේෂඥ සහාය පසුගිය කාලයේ සිදුවූ තත්කාර්ය සංවර්ධන ව්‍යාපෘතිවලදී තීරණාත්මක උප ව්‍යුහයන් පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම තුළ මතු ව ඇති ප්‍රශ්න සමඟ පැටලීමට නූතන සැලසුම්කරුවන්ට සිදුව තිබේ. සරල නිදර්ශනයකින් මෙය පැහැදිලි කළහොත් හෝටල් වැනි විශාල සංවර්ධන ව්‍යාපෘතියකට අනුමැතිය දීමට පෙර සීමිත පහසුකමක් සහිත නගරයේ මළපවාහන පද්ධතිය වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබිය යුතුය. විදේශීය විශේෂඥයන්ගේ සහාය වැදගත් වනුයේ එහිදීය. නගර සැලසුම්කරණය පිළිබඳ කීර්තිමත් වැඩ වාර්තාවක් සහිත සබානා වැනි ආයතන තම මහා නගර ව්‍යාපෘතිය වෙනුවෙන් අජිත ද කොස්තා ඇතුළු කණ්ඩායම සම්බන්ධ කරගෙන ඇත්තේ ඒ අවබෝධය තුළ විය යුතුය. සබානා සිංගප්පූරු රජයට සම්බන්ධ නිවාස සංවර්ධන ආයතනයකි. “තත්කාර්ය සංවර්ධන, ව්‍යාපෘති ගැන කතා කරද්දී නරකම අත්දැකීම මාර්ග තදබදයයි. අද විශාල ප්‍රශ්නයක් ලෙස මතුව තියෙන මාර්ග තදබදය, ඒ තත්කාර්ය සංවර්ධනයේ ප්‍රතිඵලයක්. පසුගිය කාලේ කළ සංවර්ධන ව්‍යාපෘතිවලදී මාර්ග තදබදය කියන කාරණය සම්බන්ධයෙන් ඒ හැටි ආමන්ත්‍රණයක් සිදුව නැහැ. හොඳ රථවාහන සැලැස්මකින් තොරව කරන සංවර්ධනයකින් රටකට වැඩක් නැහැ” ජයතිලක කියයි.
පැල්පත් වාසීන්ට ද සහන පල්පත්වාසීන්ගේ නිවාස අවශ්‍යතා පිළිබඳව ද නව ව්‍යාපෘතියේ දී සැලකිල්ලක් දක්වා තිබීම සාධනීයය. මේ වන විට එබඳු පැල්පත් 50000ක් පමණ කොළඹ ඇත. පැල්පත්වාසීන් නිවාසලාභීන් බවට පත් කිරීම වෙනුවෙන් දැනටමත් වැඩසටහනක් ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියට අදාළ සැලසුම ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු පසු මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන ආයෝජකයන් හා පාර්ශ්වයන්ගෙන් ඒසඳහා ටෙන්ඩර් කැඳවනු ඇත. “අපි සංවර්ධන ව්‍යාපෘති 120ක් දැනට හඳුනාගෙන තියෙනවා. මේ වන විට අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව ප්‍රධාන පෙළේ දෙස් විදෙස් ආයෝජකයන් රැසක් මේ දැවැන්ත සංවර්ධන ව්‍යායාමයේ කොටස්කරුවන් වෙන්න දැඩි උනන්දුවක් දක්වනවා ය කියලා ආරංචියි” අජිත ද කොස්තා මහතා පවසන අන්දමටම මෙය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්ය. සරලව පැවසුවහොත් මෙය මහවැලි ව්‍යාපෘතිය මෙන් පස් ගුණයක් විශාල ව්‍යාපෘතියකි.
ව්‍යාපෘති රැසක් බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපතිවරයා පැවසු ආකාරයට සංවර්ධන ව්‍යාපෘති 120ක් යටතේ ක්‍රියාත්මක මෙම දැවැන්ත වැඩපිළිවෙළ යටතේ ගුවන් නගර ව්‍යාපෘති දෙකක්, දුම්රිය මාර්ග ව්‍යාපෘති දෙකක්, දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය, බටහිර වෙරළ තීරයේ සාගරික ව්‍යාපෘතියක්, හොරණ හා මීරිගම කර්මාන්ත කලාප, ජාතික සත්ත්ව උද්‍යානය, හොරණට හෝ පිළියන්දලට ගෙනයෑමේ ව්‍යාපෘතිය, තේ, රබර්, පොල් වැවිලි වගාවන් ආවරණය කරමින් අවිස්සාවේල්ලේ වැවිලි නගරයක් පිහිටුවීමේ ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති රැසක් අන්තර්ගතව පවතී. මේ සියලු වැඩ කටයුතු මහ පොළොවේ ඇත්තක් බවට පත්කිරීම වෙනුවෙන් “මුළු ඇඟෙන්ම” වැඩ කරමින් සිටින බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය සමඟ මේ වන විට වෘත්තිකයන් සියයක් පමණ එකතු වී සිටිති. “ඒ සෑම කෙනෙක්ම සෑහෙන උනන්දුවකින් යුතුව මනා කැපවීමකින් යුතුව මේ කටයුත්ත හා සම්බන්ධ වී සිටිනවා. ඒ සමහරු අපිත් එක්ක වැඩ කරන්නේ කිසිඳු මුදලක් නොගෙන ස්වෙච්ඡා පදනමින්. මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කරන්න ඔවුන්ට තියෙන උනන්දුව ඒකෙන් පේනවා” අජිත ද කොස්තා මහතා මේ කාර්යයේදී තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටින තම සහෝදර වෘත්තිකයන් කණ්ඩායම පිළිබඳ එසේ සහතිකයක් ලබා දෙයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |