කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
80 වසර සපුරන ලංකා සමසමාජ පක්ෂය

80 වසර සපුරන ලංකා සමසමාජ පක්ෂය

මෙරට ඉපැරැණි වාමාංශික පක්ෂයක් ලෙස විරුදාවලි ලත් ලංකා සමසමාජ පක්ෂය දෙසැම්බර් 18 වැනිදා සිය 80 වැනි සංවත්සරය සමරයි. 1935 දෙසැම්බර් 18 වැනිදා ස්ථාපනය කරන ලද මේ පක්ෂ‍ය මෙරට දේශපාලන නිදහස ලබා ගැනීම සඳහා දායකත්වය සැපයූ පක්ෂයකි. සමසමාජ පක්ෂය විසින් දියත් කරන ලද අරගල මෙන් ම ලැබූ ජයග්‍රහණ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටීම ඒකීය ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස සියලු ජන සමූහ හා සමාජ ස්ථර එක්සත් කිරීමට එකී පක්ෂය දැරූ උත්සාහය ගැන මේ ලිපියෙන් සාකච්ඡා කැරේ.

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ

ලංකා සමසමාජ පක්ෂය 80 වැනි සංවත්සරය සැමරීම අපේ රටේ වමේ සමාජවාදී ව්‍යාපාරයේ 80 වැනි සංවත්සරය ලෙස හඳුන්වා දිය හැකියි. ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂයයි.

ලංකා සමසමාජ පක්ෂයේ 80 වැනි සංවත්සරය සමරන්නේ එයට 80 වසරක් සම්පූර්ණවීම නිසා පමණක් නොව අපේ රටේ නියම සමාජවාදී වම සමරන උත්සවයක් ලෙසට ය. මේ හැරුණු විට දේශයට හා ජනතාවට අසූ වසරක අඛණ්ඩ සේවාවක් ලබාදීමේ දුර්ලභ අවස්ථාව ලද ශ්‍රී ලංකාවේ එකම දේශපාලන පක්ෂය ලෙස ද අප පක්ෂය හඳුන්වා දිය හැක.

ලබාගත් එම ජයග්‍රහණ හා ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ නියැළීම මඟින් ලද ජයග්‍රහණ දෙස හැරී බැලීමට ලංකා සමසමාජ පක්ෂයට හැකියාව ලැබී තිබේ. ලංකා සමසමාජ පක්ෂයේ මුඛ්‍ය පරමාර්ථය වන සමාජවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කැර ගැනීමට නව අපේක්ෂාවක් පෙර දැරිව අනාගතය දෙස නෙත් යොමු කළ හැක.

ලංකා සමසමාජ පක්ෂය බිහිවනුයේ සූරියමල් ව්‍යාපාරය හරහා 1935 දෙසැම්බර් මස 18 වැනි දිනය ප්‍රථම වරට සභාපතිවරයා ලෙස පත්වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ය. පසුව ලංකා සමසමාජ පක්ෂයෙන් සභාපති ධූරය ඉවත් කිරීමට පක්ෂය විසින් තීරණය කරන ලදී.

සැබෑ ජාති මමත්වයකින් යුතු මාක්ස්වාදී දේශපාලන සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය ලංකා ‍සමසමාජ පක්ෂයට හිමිවෙයි.

ආචාර්ය එන්.එම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ වැනි ජාතික නායකයන්ගෙන් ලංකා සමසමාජ පක්ෂය සමන්විත විය. ශ්‍රී ලංකාවේ හා ලෝපුරා පීඩිත ජනතාවගේ සතුරා ලෙස අධිරාජ්‍යවාදය හඳුනාගත් සමසමාජ පක්ෂය බ්‍රිතාන්‍ය පාලනයෙන් රටේ පූර්ණ නිදහස ලබා ගැනීමටත් අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කිරීමටත් ප්‍රමුඛතාව ලබාදෙන ලදී.

ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ අරගලයේදී මෙරට දී හා ඉන්දියාවේදී සිරබාරයට පත්වූයේ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, බර්නාඩ් සොයිසා, හෙක්ටර් අබේවර්ධන නායකයෝ ය.

ලංකා සමසමාජ පක්ෂය එහි ආරම්භයේ සිටම රටේ සියලු පීඩිත පංතිවල අයිතිවාසිකම් සුරැකීම සඳහා සටන් වැදුණේ ය. විවිධ සංස්කෘතින්ට ගරු කරමින් ශ්‍රී ලාංකේය සංස්කෘතියක් බිහි කිරීම පිණිස එම සියලු සංස්කෘතීන් එක ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක්සත් කිරීම සඳහා ලංකා සමසමාජ පක්ෂය සැම විටම වෙහෙසුණේ ය.

බ්‍රිතාන්‍යයන් ‍විසින් ශ්‍රී ලංකා‍වට 1948 දී නිදහස ලබාදුන් අවස්ථාවේ ලංකා සමසමාජ පක්ෂය මේ රටට පූර්ණ නිදහස ලබාගැනීම සඳහා අඛණ්ඩ අරගලයක යෙදුණේ ය. පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් සන්ධාන රජය හරහා සම්පාදනය කරන ලද ජනරජ ව්‍යවස්ථාවේ නිර්මාතෘ වරයා ලෙස ලංකා සමසමාජ පක්ෂයේ නායකයකු වූ ව්‍යවස්ථා කටයුතු හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයා කටයුතු ‍ෙකළේ ය.

මෙරට වැඩ කරන ජනතාවගේ, ගොවීන් ගේ දිළිඳු ජනතාවගේ විමුක්ති අරගලයේ ලංකා සමසමාජ පක්ෂය හඳුනාගනු ලැබූ කරුණක් වූයේ ලෝකයේ ධනපති රාමුවක් තුළ සිටිමින් දේශීය හා විදේශීය පාලකයන් විසින් කරනු ලබන සූරාකෑම මේ අර්බුදයට මූලික හේතුව බවයි. මේ සඳහා ලංකා සමසමාජ පක්ෂය ආර්ථික හා දේශපාලනික අසාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීම හා ජාතික ආර්ථිකයේ සත්‍ය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කෙළේ ය.

ශ්‍රී ලංකාව සතු කරගෙන ඇති විශිෂ්ට තත්ත්වයේ ජීවන දර්ශකයන් හා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් බොහොමයක් සිය පක්ෂය පිහිටුවනු ලැබූ අවස්ථාවේ අරමුණු කරගත් පරමාර්ථ ලෙස ලංකා සමසමාජ පක්ෂය විසින් හඳුනාගනු ලැබිණි.

මේවා අතර පැය අටක වැඩකරන දිනයන් අතිකාල ගෙවීම්, විශ්‍රාම වැටුප් හා අර්ථ සාධක අරමුදල් හිමිකම්, සේවයේ සුරක්ෂිත බව, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධන පියවර මිස මේ ජයග්‍රහණ අත්කර ගැනීමට අනෙකුත් පක්ෂවල ප්‍රගතිශීලී දේශපාලනඥයන් ඉටු කළ කාර්ය භාරය ඉවහල් වූ නමුදු මේ ජයග්‍රහණ විශාල වශයෙන් ලංකා සමසමාජ පක්ෂය විසින් දියත් කරන ලද අරගල හා ව්‍යාපාර වල ප්‍රතිඵල විය.

වැඩ කරන ජනතාව වෘත්තීය සමිති වටා සංවිධානගත කිරීමෙහි ලා ලංකා සමසමාජ පක්ෂය විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සිය සාමාජිකයන්ගේ සහ ජාතියේ සැබෑ සුබසාධනය සඳහා කැපවූ වෘත්තීය සමිති ප්‍රතිපත්ති සඳහා ලංකා සමසමාජ පක්ෂයේ සහාය සැමවිට ම පළ විය.

බ්‍රිතාන්‍යයන්ගේ සිර අඩස්සියේ සිටිමින් ආචාර්ය එන්.එම්. පෙරේරා විසින් සම්පාදනය කළ The case for free Education නම් කෘතිය නිදහස් අධ්‍යාපනය පිළිබඳ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ අරමුණේ සාර්ථකත්වයට සාධක සැපයීය.

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයකු වන පිලිප් ගුණවර්ධන මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබ‍ූ ඉඩම් ප්‍රතිසංස්කරණ ලංකා සමසමාජ පක්ෂයේ යෝජනාවන්ට බඳුන් වු කරුණු විය.

බැංකු , රක්ෂණ හා වැවිලි අංශ‍ය වැනි ආර්ථිකයේ උච්ඡස්ථාන රජය සතු කර ගැනීම සඳහා ලංකා සමසමාජ පක්ෂය සිය දායකත්වය දැක්වීය.

ලංකා සමසමාජ පක්ෂයේ අනිල් මුණසිංහ ලංකා ගමනාගමන මණ්ඩලය ස්ථාපනය කරනු ලැබුවේ ලෙස්ලි ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍ය පදවිය දැරූ සමයේ ය.

ශ්‍රී ලාංකික ආර්ථිකයේ හා ජන සමාජයේ ප්‍රගතිශීලි ප්‍රගමනය සඳහා සුවිශාල දායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් අතර ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ද ආරම්භයේ සිට ම මේ ප්‍රයත්නය සඳහා දායකත්වය ලබා දුන් අතර ඉදිරියේ ද ඒ සඳහා අඛණ්ඩ සහාය ලබා දෙනු ඇත.

අප රටේ සිංහල හා දෙමළ සංස්කෘතියේ පුනරුදය සඳහා අඩිතාලම දමමින් ප්‍රථම වරට සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් දේශපාලන රැස්වීම් පවත්වන ලද්දේත් ලංකා සමසමාජ පක්ෂය විසිනි.

නොබැඳි විදේශ ප්‍රතිපත්තියට සහාය දක්වමින් ‍සමාජවාදී හා ප්‍රගතිශීලී රටවල් සමඟ සමීප සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලනිපයට සහාය දක්වන ලදී.

අන් සියලු අනන්‍යතා අබිබවා යන ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් සහිත ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැංවීම සඳහා දෙමළ හා මුස්ලිම් ප්‍රජාවගේ සහය ලබාගත යුතු ය.

දිළිඳු බවින් මිදී සෞභාග්‍යමත් රටක් මෙන් ම සංවර්ධිත දේශයක් බවට පත් කැර ගැනීමට හැකියාව එවිට අපේ රටට ලැබෙනු ඇත. ආරම්භ කොට ඇති ආර්ථික සංවර්ධන වැඩසටහන සඳහා ලංකා සමසමාජ පක්ෂයේ පූර්ණ සහාය ලබා ගැනීමට එවිට පහසු වනු ඇත.

සංවර්ධනයේ සියලු ප්‍රතිලාභ ජනතාව වෙත ලැබිය යුතුය සමාජ සාධාරණත්වය හා මානව අයිතිවාසිකම් ගරු කිරිම මේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වනු ඇත.‍

රට සංවර්ධනය කරා මෙහෙයවීමට වැඩ කරන ජනතාව මෙන් ම මධ්‍යම පන්තියේ ජනතාව සහ දිළිඳු ජන ප්‍රජාව සහ බුද්ධිමතුන්ගේ ක්‍රියාශීලී සහාය අවශ්‍යය.

දුක් විඳින ජනතාව වෙනුවෙන් සමසමාජයක් පිහිටුවීමට ක්‍රියා කරමින් දුප්පත්කම නැති කරන එමෙන් ම දුප්පත් පෝසත් භේදය අවම කොට සාධාරණ සමාජයක් ගොඩ නංවන්න ලංකා සමසමාජ පක්ෂය කළ යෝජනා දැන් ඵල දරමිනි.

සමසමාජ පක්ෂය මෙරට ආර්ථික හා සමාජයීය විප්ලවය සඳහා සැපයූ දායකත්වය ගැන සාකච්ඡා කිරීමේදී ඉඩම් අයිතිය සීමා කිරීමට කළ යෝජනාව ද ප්‍රමුඛත්වයක් ගනී.

ශ්‍රී ලාංකේය ජනතාව සමඟ එක්ව අසූ වසරක සේවාවක් සමරන සමසමාජ පක්ෂය සිය අද්විතීය නායකයන්ගේ ගමන් මඟ අනුගමනය කරමින් රටේ තරුණ කොටස් අතර ක්‍රමයෙන් වර්ධනය වන ශක්තිය අතරින් රටේ සියලු ජනතාවගේ විශේෂයෙන් දිළිඳු ජන කොටස් වල ආර්ථික සංවර්ධනය ඇති කැර ගැනීම සඳහා ලංකා සමසමාජ පක්ෂය සිය සහාය ලබාදෙයි.

වසර 80 ක ගමන් ම‍ඟේ ලැබූ ජයග්‍රහණ බොහෝ ය. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක එහි ජනතාවගේ සුබසිද්ධිය සඳහා තවදුරටත් කැප වී කටයුතු කිරීම අසූ වැනි සංවත්සරය සමරන මොහොතේ ලංකා සමසමාජ පක්ෂයේ ඒකායන අරමුණු වී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]