![]() ![]() |
||
පොතක තිබුණා මෙසේ....එදා ‘මයිනා කෑම්ප්’ හමුදා කඳවුර අද කැලණි විශ්වවිද්‍යාල බිමයිදෙවන මහා ලෝක සංග්‍රාමයේ දී, බ්‍රිතාන්‍ය හමුදාව ඔවුන්ගේ සහාය සඳහා, නේපාල ගුරුකාවරුන්, අප්‍රිකානු හා අනික් යටත් විජිතවලින් සොල්දාදුවන් ලංකාවට ගෙන්වූහ. ඔවුන් අතරින් නේපාල ගුරුකාවරුන් රණකාමී හා නිර්භීත භටයින් බව ගම්මු නිතර ම කීහ. දැනට කැලණිය විශ්වවිද්‍යාලය පිහිටා ඇති ඉඩම එකල ඝන කැලෑවකි. මෙම කැලය මැද්දේ “මයිනා කෑම්ප්” නමින් යුද්ධ අභ්‍යාස සඳහා විශාල කඳවුරක් සාදා තිබුණි.
මයිනා කෑම්ප් එකට යෑම ඉතා ම දුෂ්කර හා අන්තරාදායක ගමනක් බව දිප්පිටිගොඩ, හුනුපිටිය අවට ගම්වාසීන් අම්බලමේ දී නිතර ම කතා කරනවා මා අසා ඇත. එක් දිනෙක වනවාසලින් පැමිණි ගැමියෙක් ඉතා රසවත් කතාවක් කීය. අපි එදා අම්බලමේ ලෑල්ල මත හිඳ මගදී කඩාගත් පලතුරු අනුභව කරමින් සිටියෙමු. අප අසල වාඩි වූ ගැමියෙක් මෙසේ කතාව පටන් ගත්තේය. “ඔය කටුවා කැලේ කෑම්ප් එකට කිසි කෙනෙක් නො ගියේ, කැලේ සිටි සතා - සරපයි නිසා නොවෙයි, එම දුෂ්කර පාරේ යාම ඉතා අමාරු නිසා හා කෑම්ප් එකෙන් පැන යන මිනී කන කාපිරි නිසා. කාපිරින්ගේ කටේ ඉබ්බන් දමා කට වහලා තියනවා. ඒ ඔවුන් මිනි කන නිසයි. දවසක් මෙහෙම සිද්ධියකුත් වෙලා. කෑම්ප් එක කිට්ටුව එක්තරා කන් නෑසෙන අත්තම්මා කෙනෙක් මුනුපුරෙක් සමඟ සිටියා. මුනුපුරා දවස ගානේම සෙල්ලම් කර ගෙදර එන්නේ පරක්කු වෙලයි. අත්තම්මා මුනුපුරා ගෙදර එන තෙක් නිදියන්නේ නැහැ.... එක දවසක් මුනුපුරා ගෙදර එන්න හොඳටම පරක්කු වුණා. සවස හත අට වෙනකොට හොඳටම කළුවරයි. මුනුපුරා ගෙදර ආවේ නෑ. අත්තම්මාගේ ගේ අවට කිසි කෙනෙක් පදිංචි වී සිටියේ නැහැ. අත්තම්මා මොකද කළේ? ගෙදර තිබෙන ලන්තෑරුමත් පත්තු කර, “පුතේ... පුතේ” කිය කියා කටුව කැලේ පාර දිගේ ගමන් කළා. ලන්තෑරුම එල්ලා ගෙන “පුතේ... පුතේ....” කිය කියා ගිහින් තියෙන්නේ මයිනා කෑම්ප් එකටයි. ඒ කාලේ කෑම්ප් එක මුර කළේ මිනී කන කාපිරි. අත්තම්මා ලන්තෑරුමත් අරගෙන ඉදිරියට යද්දි, කාපිරියා “හෝල්ට්” කියද්දිත් ආත්තම්මා ඉදිරියටම ගියා. අත්තම්මාට කන ඇහෙන්නේ නැති හින්දා. කාපිරියාට අත්තම්මා මොනවා කියනවාද කියා තේරුම් ගියෙත් නැහැ. දෙවෙනි වර “හෝල්ට්” කියනවාත් සමඟම ඉදිරියට එන අවතාරයට කාපිරියා වෙඩි තිබ්බා. ආත්තම්මා එතැනම මැරී වැටුණා. ආත්තම්මා ගේ මිනිය පවා මුදවා ගැනීමට ගම්මු කෑම්ප් එකට යන්න බිය වුණා.” කතාව අවසන් කොට ගැමියා බය වෙලා වගේ බලාගෙන හිටියා. කටුව කැලේ අද නැහැ. “මයිනා කෑම්ප්” එක වෙනුවට එහි ඇත්තේ කැලණි විශ්වවිද්‍යාලයයි. කටුවකැලේ කුඩා අතු පාර දුෂ්කර පාරක් වූ හෙයින් මෙම පාර රහසිගතව උපයෝගී කර ගත්තේ, ලංකාවට පැමිණි විදේශීය අප්‍රිකානු හා ගුරුකාවරුන් පමණි. තෙලඟපාත සිට, වනවාසලට ගොස් දිප්පිටිගොඩින් හුනුපිටිය හරහා කටුවා කැලේ පාරට යා හැකි ය. අපට එහි තිබූ බංකර් හා නැවතී සිටි විදේශීය සෙබළුන් දක්නට ලැබිණ. යුද්ධය අවසන් වී තිබුණු නිසා එහි සිටි සොල්දාදුවෝ ඉතා සැහැල්ලුවෙන් හා සන්තෝෂයෙන් සිටියහ. ඔවුන් දුටු වහා අපි ඇඟිලි දෙකකින් වී “V” අකුරක් සාදා පෙන්නුවෙමු. මෙයින් අදහස් කළේ ජයග්‍රහණය “Victory” යන්නයි. ඔවුහු ඉතා සතුටට පත්ව පාසල් සිසුන් වන අපට බිස්කට් (විස්කෝතු) පැකට් දුන්හ. අපි ආපසු ඒමට තීරණය කළෙත් කටුව කැලේ දුෂ්කර මාර්ගය හරහාය. වේවැල්, පතොක් හා එරමිණියා පමණක් නොව පලතුරු ගස් රාශියක් ද තිබිණ. මෙහි සඳුන් දිවියන්, ඉත්තෑවුන්, මීමින්නෝ හා විෂකුරු සර්පයන් සිටින බව අවට ගම්වාසීහු අපට කීහ. අදත් මේ පෙදෙස කටුවකැලේ නමින් හැඳින්වේ. එහෙත් එහි කටු කැලයක් නැත. (ජිනදාස ජයවර්ධන මහතා විසින් රචනා කරන ලද ‘මා දුටු සුන්දර ගම තෙලඟපාත’ ග්‍රන්ථයෙනි) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |