![]() ![]() |
||
ළසෝ තැවුලින් මතු වූ දිඟු සුසුමක පිළිබිඹුව:චිත්‍ර ශිල්පයේ සිට ආලේඛ්‍යමය චිත්‍රණයක්
පුෂ්පයක් යනු කාන්තා ලාලිත්‍යයේ සංකේතයකි. සිතුවමේ නිරූපිත ඇයගේ ගෙළ වටා පැලඳි මල්දමේ හා දෙඅතේ රැඳි මේ මල්වලින් මතු කෙරෙනුයේ සුන්දර බවක් ද, එමෙන් ම ඉතා පරීක්ෂාකාරී ලෙස මෙම සිතුවම කියවන විට මෙම සිතුවම පිරිමි චිත්‍ර ශිල්පියකු විසින් ගොඩනඟන ලද කාන්තා රූපයක් නොවන බව පෙනී යන්නකි. ඊට හේතුව පිරිමි සිත්තරෙකු විසින් කාන්තා රූපයක් නිරූපණයේදී ඉතා කැමැත්තෙන් අඳිනු ලබන රූපික අංග මෙහි දී මතු නොවීමයි. මෙම කරුණ තේරුම් ගැනීමට අපි සිතුවම් කීපයක් සිහියට නඟා ගනිමු. ඓතිහාසික කලාවේ සීගිරි සිතුවමක්, නූතනවාදී කලාවේ ජෝර්ජ් කීට්ගේ, එමෙන් ම මේ අවදියේ දී ඇල්බට් ධර්මසිරි ආදි ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියකු තම සිතුවම් තුළ කාන්තාව නිරූපණය කර ඇති ආකාරය නිදසුනකට ගතහොත් ඉහත කරුණ වඩාත් අර්ථ ගන්වා ගත හැක. සැබැවින්ම කලා කෘතියක් ස්ත්‍රී හෝ පුරුෂ ලෙසට වෙනම වර්ග කර දැක්ම යුක්ති යුක්ත නොවන නමුදු සියුම් නිරීක්ෂණයකදී ගැහැනියක විසින් සිතුවමක් තුළ ගොඩනඟන ගැහැනියකගේ රුව හඳුනාගත හැකි වේ. පැබ්ලෝ පිකාසෝ වරෙක තම දෘශ්‍ය කලා ගමන්මඟෙහි එක්තරා අවස්ථාවකදී පුරුෂ මූලික නිරූපණයෙන් බැහැරව ස්ත්‍රිය චිත්‍රණයට යොමු වූ උත්සාහය දැකිය හැකිය. “වැලපෙන ස්ත්‍රිය” සිතුවම ඊට නිදසුනකි. ජගත් වීරසිංහගේ “ස්ත්‍රිය ඇඳීමේ නොහැකියාව” ප්‍රදර්ශනයේ සිතුවම් ද පුරුෂ කේන්ද්‍රීයව ස්ත්‍රිය නිරූපණය ස්වයං ප්‍රශ්න කිරීමකට යොමු වීම පිළිබඳ නිදසුනකි. ඉහත නිදසුන් ආශ්‍රිතව අපට නොයෙලින්ගේ මෙම සිතුවම අර්ථ ගන්වා ගැනීමට හැකි වේ. මල් පෝච්චියක් සේ ලොව සතුටු කරවන සුන්දර ලලනාවක අපට මෙම සිතුවම තුළින් අබිමුඛ නොවේ. එහි කමල වතක් නො දිස්වේ. කමල තුළ ද ලලනා ලාලිත්‍ය මතු නොවේ. චිත්‍රය නරඹන අපට දැනෙන්නේ ළසෝ තැවුලින් මතු වූ ඇගේ දිඟු සුසුමකි. උණුසුම් වර්ණයෙන් තැවුරුණු ඒ සුසුමේ උණුසුම අපට දැනේ. මුඛ්‍ය රූපික අංගයේ සහ පසුතලයේ මෙන් ම සිතුවමේ දකුණුපස පහළ කොටසේ සනිටුහන් චිත්‍ර ශිල්පිනියගේ අත්සන ද උණුසුම් රක්ත වර්ණයෙන් යුතු වේ.
රත්පැහැ මල්දම යනු ශෝකාන්තයක සංකේතයකි. පුරුෂ ඌර්ධ්වකායක අලංකරණයක්, සාදර පිළිගැනීමක සංකේතයක් ලෙස කාන්තා දෑතින් හැඬ වූ මල්දමක් පරිදි මෙම මල්දම පිළිබිඹු නොවේ. මෙහි දී රුධිර පැහැති ඛේදාන්තයේ මල්දම හිමිව ඇත්තේ ගැහැනියක වෙතය. සිතුවමේ සමස්තාර්ථය වන ශෝකීභාවය කුළුගන්වන්නේ චිත්‍ර ශිල්පිනිය තමන් වෙතම දිශාගතව කරුණා රසයක් උද්දීපනය වෙනුවෙන් විය නොහැකි ද? සිතුවමේ ප්‍රකාශිත ඇය දයානෙත පැතු මනමේ කුමරිය ද, දෙතැනක වැලපුණු සුප්පා දේවිය ද, මහ පොළොවෙන් අවසන පිහිට පැතු ස්වර්ණතිලකාවන් ද නොවී. කඳුළක සලකුණක් හෝ චිත්‍රණය නොවූ ස්ව ආලේඛ්‍යයේ ආත්මීය නිරූපණයෙන් ජීවිතයේ අනුප්‍රාණය ලැබුවා විය නොහැකි ද? 1960 දශකයේ අගභාගයේ දී මෙරට චිත්‍රකලා ක්ෂේත්‍රය වෙත පිවිසුණු නොයෙලින් සිය ප්‍රථම ඒකපුද්ගල චිත්‍රකලා ප්‍රදර්ශනය පවත්වන ලද්දේ 1970 දීය.
මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර වෙතින් චිත්‍ර කලාව ඉගෙනීමට නොයෙලින් යොමු වූයේ ඇය නව යොවුන් දැරියකට සිටියදීය. පසුව, කෝරා ඒබ්‍රහම් චිත්‍ර ශිල්පිනිය විසින් පවත්වාගෙන යන ලද මැල්බන් කලා පාසලට (Melbourne Art Classes) එකතු වීමත් සමඟ යුරෝපීය ශාස්ත්‍රාලීය සිතුවම් සම්ප්‍රදායෙන් මිදී නව කලා ප්‍රවේශයකට යොමු වීමටත්, තරුණ සිත්තරුන්ගේ කණ්ඩායම (Young Artists Group) සමඟ ක්‍රියාකාරී වීමටත් ඇයට අවස්ථාව ලැබිණි. එම තරුණ සිත්තරුන්ගේ කණ්ඩායම විකසිත වූයේ එවක 43 කණ්ඩායමේ ආලෝකය තුළින් තරුණ සිත්තරුන් ලද උත්තේජනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එස්. නාරසිංගම්, ලකී සේනානායක, චන්ද්‍රාමණී තේනුවර, ගාමිණී වර්ණසූරිය, අනිල් ගාමිණි ජයසූරිය ආදි සිත්තරු එහි ක්‍රියාකාරී චරිත අතර වූහ. නොයෙලින්ගේ බොහොමයක් සිතුවම් තුළ නිරූපණය වනුයේ කාන්තා චරිතයි. වරෙක ඝනිකවාදී හැඩතල සහිත සංරචන එම සිතුවම් අතර වේ. එම සිතුවම් තුළ සංරචිත නිශ්චල මානව රූප, වර්ණ තවරා ඇති ආකාරය හා රූප පිහිටුවීමේ ස්වරූපය මඟින් ප්‍රකාශනාත්මක බවක්, නිහඬ ශෝකී හැඟීමක් මතු කරයි. නොයෙලින් අද දවසේ ද චිත්‍ර ඇඳීමේ ක්‍රියාකාරිත්වයේ අනලස්ව නියැළී සිටී. එමෙන් ම ළමා නිවාසවල දරුවන්ට චිත්‍ර ඇඳීමේ පුහුණු වැඩමුළු ස්වේච්ඡාවෙන් සංවිධානය කරමින් සහ දරුදැරියන්ට චිත්‍ර කලාව ඉගැන්වීමේ කාර්යයේ උද්‍යෝගිමත්ව නිරතව සිටී. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |