![]() ![]() |
||
ජනතාව දිනවමුතව දින කිහිපයකින් මහ මැතිවරණයක් පැවැත්වේ. මේ පිළිබඳව වෙන කවරදාටවත් වඩා මහජනයා නිශ්ශබ්දව රටේ සිදුවන සියලු දේ අධ්‍යයනය කරන බවක් පෙනේ. අන්ධානුකරණයේ ප්‍රචාරවලට රැවටී සුළු පෞද්ගලික වාසිවලට වහල් වී තමා සතු අගනා ඡන්දය යම් පක්ෂයකට හෝ පුද්ගලයකුට හෝ දෙනවාට වඩා මෙසේ ගැඹුරට සිතා බැලීම මහජනතාව තුළ වැඩෙන යහපත් සමාජ ලක්ෂණයකි. මහජනයාගේ එකම අභිලාෂය විය යුත්තේ මහජනතාවම ජයග්‍රහණය කරවනු විනා පුද්ගලයකුට හෝ පක්ෂයකට ජය ලබාදීම නොවේ ය යනු මගේ අදහසයි.
1950 ගණන්වල සිටම පක්ෂ දේශපාලන ක්‍රමය තුළින් කවදාවත් අප රටේ ප්‍රජාතාන්ත්‍රික වූ ජනතා පරමාධිපත්‍යය සැබෑ කළ හැකි සමාජ ක්‍රමයක් ගොඩනැඟිය නොහැකි යැයි යන මතයේ මම පිහිටා සිටියෙමි. සර්වෝදය ශ්‍රමදාන සංසදය ආරම්භ කිරීමට ද ප්‍රධාන හේතුවක් වූයේ ජනතාව විසින් ජනතාවගේ යහපත සඳහා ජන සහභාගිත්වයෙන් සහ ජනතා පරමාධිපත්‍යයෙන් යුතුව රටේ ස්වාභාවික සම්පත්, සමාජයේ මානව සම්පත් සහ නවීන විද්‍යා තාක්ෂණය එක්තැන් කොට ජන සහභාගිත්වික සමාජ ක්‍රමයක් ගොඩනැංවීමටය. මේ රටේ ප්‍රශ්නවලින් 99%කටම වගකිවයුත්තේ පක්ෂ දේශපාලන ක්‍රමය බව පැහැදිලිය. මහා සංඝයා වහන්සේලා, එකම පවුලේ දෙමවුපිය සහෝදර සහෝදරියන්, එකම ගමේ ජනතාව සමස්තයක් වශයෙන් මුළු රටම කඩින්කඩ වී බෙදී ගියේත්, විවිධ ජාතිවාදී ගෝත්‍රික සටන්වලට යොමු වී සිවිල් යුද්ධයක් පවා ඇති කර ගත්තේත් මේ බෙදීම නිසාය. මෙවැනි පක්ෂ දේශපාලනය පදනම් වූ බෙදීම්වලින් තොරව ජන විඥානයට අවදි විය හැකි බව අත්දැකීමෙන් අප දැක්කෙමු. එහෙත් නැවත අප අවාසනාවන්ත අන්දමට පිල් කිහිපයකට බෙදී අරගලයක පැටලී සිටින බව පැහැදිලිය. අප පක්ෂ ක්‍රමයට විරුද්ධ වුවත් පක්ෂ ඇතුළේ සිටින පිරිස්වලට විරුද්ධ නැත. ඒ අය අතර හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිස්සු ද සිටිති. මේ නිසා හොඳ අයට වඩා නරක අයගේ දුර්වලකම් පක්ෂ තුළින් මතු වී ඔවුන් ආරක්ෂා වී එයින් ඇති වන නරක ආදීනව මුළු රටටම බලපායි. අප මේ දිනවල කතා කරන මහා පරිමාණයේ මුදල් වංචා, දූෂණ, දරුවනට සහ ස්ත්‍රීන්ට සිදුවන අපරාධ, සූදුව, මත්වතුර, මත්ද්‍රව්‍ය, කැසිනෝ ආදී අනේකවිධ සමාජ විරෝධී ක්‍රියාවන් සියල්ලටම ප්‍රධාන වශයෙන් රැකවරණය ලැබෙන්නේ මේ පක්ෂ ක්‍රමය නිසා බව අප වටහා ගත යුතු වෙමු. තව දින කිහිපයකින් ලැබෙන මහගු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන පුද්ගලයෙකු හෝ පක්ෂයක් හෝ නොව මහජනතාවම දිනවීමට තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතු යැයි මා කියන්නේ ඒ නිසාය. මෙයින් අදහස් කරන්නේ කිමෙක්ද? සැබෑ පක්ෂවලම හොඳ අපේක්ෂකයෝ සිටිති. හිංසා, වංචා, අපරාධවලින් වැළකුණු හදවතින්ම මහජනයාට සේවය කිරීමට ආශාවක් ඇති රට - දැය - සමය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ගැඹුරට හිතාබලා යහපත් සමාජයක් ගොඩනැඟීමට හැකියාව තිබේ යැයි විශ්වාස කරන උගත්, නිහතමානී පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට මේ ලැබ තිබෙන අවස්ථාව මඟ නොහරිනු මැනවි. පාර්ලිමේන්තුව ගුණ දහමින්, බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් පිරි නියෝජිතයින්ගෙන් යුක්ත වුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් විසින් ජනතා පරමාධිපත්‍යය සාක්ෂාත් වන, ජන සහභාගිත්වය උපරිම වශයෙන් සංවර්ධනයට උපයෝගී කර ගන්නා, රාජ්‍ය පාලනය විනිවිද පෙනෙන, සාධාරණව නීතිය ක්‍රියාත්මක වන සැමට සෙත සැලසෙන යහපාලනයක් ගොඩනඟන බවට සැක කළ යුතු නැත. ජනවාරි 08 වැනිදා බහුතර ජන විඥානයේ සංකේතයක් ලෙස අප රටේ ජනාධිපතිවරයා වශයෙන් තේරුණු මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ භේදවලින් තොරව සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයකු බව ක්‍රියාවෙන්ම පෙන්වා දී තිබේ. එතුමාගේ නායකත්වය යටතේ යහපාලනයෙන් යුතු ආදර්ශවත් රටක් ගොඩැනැංවීමට ඉහතින් සඳහන් කර ඇති අන්දමේ යහපත් නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට අපේ ඡන්දය පාවිච්චි කරමු. ඉන් පසු රට ගොඩනැංවීමට පුරවැසියන් වශයෙන් අපි සියලුදෙනාම සහභාගි වෙමු. එයයි ජනතාවගේ ජයග්‍රහණය.
(සර්වෝදය සභාපති ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය ඇසුරෙනි.) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |