![]() ![]() |
||
වැටුණු සැණින් යළි නැගිටින සංගා යළිත් වාර්තා පොතටලෝක කුසලාන තරගාවලිය ඇරැඹීමට පෙර අපි ඔහු ගැන ලිව්වෙමු. ඉන්පසු තරගයෙන් තරගය ඉදිරියට යද්දී හැමදාම ඔහු ගැන ලියන්නට සිදුවිය. ඒ තරගාවලියට පෙර පැවසූ පරිදිම ඔහුගේ පිත්ත ක්‍රියාත්මක වී ශතක පිට ශතක ලබාගත් හෙයිනි. ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ කරමින් පිටිය පුරා දර්ශනීය ලෙස පන්දුවට පහර දෙමින් එක්දින ක්‍රිකට් පිටියේත් ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේත් වාර්තා පිට වාර්තා තබමින් පෙරළි කරන හෙයිනි. මූලික වටයේ තරගවත් අවසන්ව නැති මොහොතේ පවා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලෝක කුසලාන වාර්තා පොතේ සිය නම ඉදිරියෙන්ම සටහන් කරන්නට සමත්වුණු ඔහු අන් කිසිවකු නොව ශ්‍රී ලංකා මාතාව බිහිකළ අතිවිශිෂ්ට ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.
2003 වසරේ මුල් වරට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ සංගා මෙවර තරගාවලියට එක්වෙද්දී තරග 30 ක්‍රීඩා කර ලකුණු 991 ක් රැස්කර ගෙන සිටියේය. සිය අවසන් එක්දින තරගාවලිය මෙන්ම අවසන් ලෝක කුසලාන තරගාවලිය ලෙසින් මෙම 11 වැනි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන සංගා තමා මේ වන විට ලොව සිටින විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයා බව දැනටමත් පෙන්වමින් සිටී. පසුගියදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැති මූලික වටයේ තරගයේදී පන්දු 107 කට මුහුණ දී ලකුණු 104 ක් ලබා ගනිමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සංගා මෙවර තරගාවලියේ ඔහුගේ තුන්වැනි ශතකය වාර්තා කළේය. එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකරුවකු පිට පිට ඉනිම් තුනකදී ශතක ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස වාර්තා පොතට එක්විය ඉන්පසු 11 වැනිදා ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමග තරග වැදුණේ මෙම තරග මාලාවේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගය ලෙසිනි.එහිදී ද සංගා ශතකයක් ලබාගත් අතර එදා මෙදා තුර එක්දින තරග ඉතිහාසයේ පිටපිට ශතක 4 ක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.මෙහිදී සංගා පන්දු 95 කදී ලකුණු 124 ක් ලබාගත් අතර ශතකය ලබා ගැනීමට වැයකර තිබුණේ පන්දු 86ක් පමණි. මීට අමතරව 08 වැනිදා පැවැති තරගයේදී එක්දින ලකුණු දාහතර දහස (14000) සීමාව පසුකිරීමට ද සංගාට හැකි විය. එම කඩඉම පසුකළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්ම ලොව දෙවැනි ක්‍රීඩකයා වෙමින් ඉතිහාසයට එක්වූ සංගා මෙය ලියන මොහොත වන විට එක්දින තරග 403 කදී ලකුණු 14189ක් රැස්කරගෙන තිබේ. සංගාට පෙර ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 18426 ක් ලබාගෙන පළමු ස්ථානයේ පසුවෙයි. මෙම ඉනිම සමඟින් සංගා මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට ද සමත්ව සිටි. ඔහු දැන් තරග 6 කදී ලකුණු 496 ක් ලබා පළමු ස්ථානයේ පසුවෙයි. දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් තරග 5 කදී ලකුණු 318 ක් ලබා දෙවැනි ස්ථානයේ ද දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා තරග 5කදී ලකුණු 295 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසුවෙයි. ලොව දක්ෂතම ප්‍රහාරකයන් ලෙස සැලකෙන මෙම ක්‍රීඩකයන් දෙදෙනා සමඟ බ්‍රෙන්ඩන් මැකලම්, ක්‍රිස් ගේල්, විරාට් කෝලි, ෂිකර් ධවාන්, රෝහිත් ෂර්මා වැනි නම් දැරූ ක්‍රීඩකයන් කිසිවකුටවත් සංගා අසලටවත් එන්න තවම හැකිවී නැත. ඊට හේතුව පළපුරුද්ද, ඉවසීම, විශ්වසනීයත්වය මෙන්ම ඉහළම තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයකු වන ඔහු මෙවර තරගාවලියේදී මේ දක්වා සහභාගිවූ තරග 5 කදීම අසාර්ථක වූයේ එක් තරගයකදී පමණක් වීමයි. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පෙබරවාරි 14 වැනිදා පැවැති පළමු තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 38 කදී ලකුණු 39 ක් ලබාගත් ඔහු බෝල්ඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගියේය. එම ඉනිමේදී ඔහු 4 පහර 5 ක් එල්ල කළ අතර ප්‍රහාරක වේගය 102.63 කි. තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගයට මුහුණ දුන්නේ පෙබරවාරි 22 දින ඇෆ්ගනිස්තානය සමඟිනි. මෙම තරගයේදී හමීඩ් හසාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 7 කට දැවී යාමට සංගාට සිදුවීම මෙම තරගාවලියේදී ලැබූ පළමු සහ එකම පරාජය වුණා. පරාජය වූ සෑම අවස්ථාවකදීම වඩාත් ධෛර්යවන්තව නැගී සිටින සංගා එම පරාජය මෙම තරගාවලියේ ඔහුගේ ජයග්‍රාහී කඩඉම බවට පත්කර ගත්තේය. පෙබරවාරි 26 වැනිදා බංගලාදේශය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සිය තෙවැනි තරගයට මුහුණ දුන් අතර එය මෙම තරගාවලියේ 18 වැනි තරගයයි. මෙහිදී අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සංගා පන්දු 76 කදි නොදැවී ලකුණු 105 ක් ලබා ගත්තේ හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් සමඟිනි. එම ඉනිමේ ප්‍රහාරක වේගය 138.15 කි. මෙය සංගා මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ පළමු ශතකය මෙන්ම ඔහුගේ වේගවත්ම ශතකයයි. තරගාවලියේ 22 වැනි තරගය ලෙසින් පසුගිය 01 වැනිදා එංගලන්තය සමඟ පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ සිවුවැන්නයි. එහිදී ද පන්දු 86 කදී නොදැවී ලකුණු 117 ක් ලබාගත් සංගා තරගාවලියේ පිට පිටම තම දෙවැනි ශතකය වාර්තා කළේය. එය සංගාගේ එක්දින පිටියේ 23 වැනි ශතකය මෙන්ම වේගවත්ම ශතකයයි. ඔහුගේ මෙම ශතකය පන්දු 70 කදී වාර්තා විය. මෙහිදී ළහිරු තිරිමාන්න පන්දු 143 කදී නොදැවී ලකුණු 139 ක් ලබාගත් අතර සංගා හා තිරිමාන්න එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැඟූ ලකුණු 212 ක නොබිඳුණු සබඳතාව ලෝක කුසලාන තරගාවලියක පිතිකරු යුගළක් ගොඩනැඟු තෙවැනි ඉහළම සබඳතාව ලෙස වාර්තා විය. එසේම එංගලන්තයට එරෙහිව සංගා නොදැවී රැස්කළ මෙම ලකුණු 117 සමඟ ඔහු එක්දින, ටෙස්ට් හා විස්සයි 20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ලොව දෙවැනි පිතිකරුවා බවට වාර්තා පොතට එක්විය. ඔහු දැනට රැස්කර ඇති ලකුණු ප්‍රමාණය 27670 කි. මීට ඉහත එහි දෙවැනි ස්ථානයේ පසුවූයේ ලකුණු 27498 ක් රැස්කර ගෙන සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක රිකී පොන්ටින් ය. මෙහි ඉදිරියෙන්ම පසුවන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ය. ඔහු ලකුණු 34357 ක් රැස්කරගෙන තිබේ. පිට පිටම සාර්ථක වෙමින් පසුගිය 08 දා ඕස්ට්‍රේලියාවට එරෙහිව සංගා ලබාගත් ලකුණු 104 පන්දු 107 කදී වාර්තා වුණු අතර, ඔහු ශතකය ලබාගන්නට වැය කර තිබුණේ පන්දු 100 කි. ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන 18 වැනිදායින් ඇරැඹේ. මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි හෝ සිවුවැනි තැන හිමිවිය හැකි අතර, ඒ අනුව ‘බී’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි තැනට පත්විය හැකි ඉන්දියාව හෝ දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදුවෙයි. මෙම රටවල් දෙකින් කුමන රටක් සමඟ තරග වැදුනත් එයින් ජයගෙන තරගාවලියේ ඉදිරියට යන්නට සංගාගේ පිත්තෙන් තවත් යෝධ සුපිරි ඉනිමක් ලැබිය යුතුම වේ. සිය අවසන් තරගයට ක්‍රීඩා කරන සංගාත් ඔහුගේ සගයා වුණු මහේල ජයවර්ධනත් සුසංයෝගය මෙතෙක් බොහෝ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජය මාවත විවර කර දුන් බව රහසක් නොවේ. පසුගිය 08 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී මහේල අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමෙන් මෙම සුසංයෝගය බිඳී ගියේය. එහෙත් ඉදිරි තරග කීපයේදී හෝ සංගාට සවියක් වෙමින් සිය අවසන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන මහේල ලකුණු අතරට පැමිණියහොත් යළිත් වරක් ලෝක ක්‍රිකට් මිණි කිරුළ ලක් මවට පලඳවන්නට හැකි වන බව අපට විශ්වාසය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |