කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නෙළුම් විල

ප්‍රේම පූජා

තම දුප්පත් පෙම්වතා සමඟ සැබෑ සෙනෙහසින් බැඳී සිටින, එහෙත් මුදල් නැති කමින් විවාහය කල් දමමින් පසුවන, අහිංසක තරුණියකගේ මංගල උත්සවය වෙනුවෙන් වැය වන වියදමට හැකි අයුරින් දායක වීමට කැමැත්තෙමි.
 

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨක මෙනෙවියක විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

ඇගෙන් උපකාරය ලැබීමට බලාපොරොත්තු වන විවාහපේක්ෂක තරුණියන් සිටී නම් කරුණාකර ඒ බව නෙළුම්විලට ලිඛිතව දන්වන්න. අදාළ ඉල්ලීම් ඇය වෙත යොමු කැරෙනු ඇත.
 

පින් සුවඳ

දළදා පෙරහර නැරඹූ අප දික්වැල්ල බලා එමින් සිටියේ කොටියාකුඹුර පසු කරමිනි. ඒ වන විට හොඳට ම හවස් වී ද තිබිණ.

අප සිටියේ ද දැඩි වෙහෙසිනි. උණුසුම් තේ කෝප්පයක් බීමේ වුවමනාව තදින් පැවතිය ද පොහොය බැවින් කඩදොරවල් ද වසා දමා තිබිණ.

පුංචි ‍ෙත් කඩයක් හෝ ඇද්දැයි බලමින් අප ඉදිරියට ගමන් කළේ උණුසුම් තේ රසය සිතින් විඳිමිනි.

කුඩා දරුවෙකු කහ පැහැති කොඩියක් වැනුවේ මේ අතර ය. ඒ සංඥාව අපට නවතිනු පිණිස ය.

සංග්‍රහයක් විඳින්නට පෙර ම හිත් පිනා ගියා සේය. අපි රිය අයින්කොට නවතා බිමට බැස්සෙමු.

දැරියක් බෙලිමල් වතුරින් කෝප්ප පිරවූ බන්දේසියක් ඔසවා ගෙන අප වෙත ආයේ හිනාවක් පාමිනි. එකෙණෙහිම දරුවෙක් හකුරු බඳුනක් රැගෙන දිව ආවේය.

අපි හකුරු සපමින් උණුසුම් බෙලිමල් දිය බොන්නට වීමු.

පානය ලැබීමෙන් අප ලද්දේ මහත් සතුටකි. පානය පිදීමෙන් ඔවුන් ලද ඉමහත් සතුට මුහුණුවලින් දිස්විණ.

සැබෑ පින්කමකි එය.

අපි ඒ සතුට විඳිමින් පොඩි උන් හා දෙඩුවෙමු. ඔවුන් ගේ නිකැළැල් සිනාව ද සොඳුරු කතාව ද, පින් සිත ද අප සැනසීය.

පාසල් කිහිපයක ඉගෙනුම ලබන ඔවුහු එකම ගමේ දරුවෝ ය. ඔවුනට මග පෙන්වූයේ මා පියන්ය.

මේ සද්කාර්යයෙහි නායකත්වය ගෙන තිබුණේ පින්දෙණිය ජාතික පාසලේ 11 වැනි ශ්‍රේණියේ රන්දික රාජපක්ෂ දරුවා ය. අම්පෙ ආදර්ශ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ අයේෂ් දිල්හාර, 6 වැනි ශ්‍රේණියේ තරුෂ අශේන් හා හිරුණිකා චේතනා, රුවන්වැල්ලේ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයයේ 6 වැනි ශ්‍රේණියේ නිෂාන් කෞශල්‍ය, කෑගල්ල සාන්ත මේරි විදුහ‍ෙල් 9 වැනි ශ්‍රේණියේ මධුශාන් තරංග යන දරු දැරියෝ මේ වෙනුවෙන් එකතු වී සිටියහ. ඔබට යහපත සැලසේවා!

මේ වෙනුවෙන් අනුග්‍රහය හා අනුබලය ලබා දුන් පී.ජී. කරුණාවතී මෑණියන් ඇතුළු මාපිය වැඩිහිටි හැමට ද පැසසුම හිමි විය යුතුය.

වලස්ගල, දික්වැල්ල පාරේ, ලක්ෂ්මන් කුමාරසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
 

දිනුම පැරදුම

මම වැඩිහිටි නිවාසයක නැවතී සිටින්නෙක්මි.

ලොතරැයියක අංක දෙකක් ගැළපී රුපියල් සියයක දිනුමක් තිබුණු නිසා බොරැල්ලේ ලොතරැයි වෙළෙන්දකුට එය ඉදිරිපත් කළෙමි.

‘ඔය ගණන්වලට අපි දෙන්නේ ටිකට්’ කියා ඔහු කීවේ ය.

මා සිතා සිටියේ එයින් යමක් කා තේ බීමට ය.

ඔබේ‍ෙස්කරපුර හන්දියේ වෙළෙන්දකු මට හවස හයට පමණ කීවේ ‘තවම සල්ලි එකතුවෙලා නෑ’ කියා ය.

මෙවැනි වෙළෙඳුන් අතර හොඳ අය ද සිටිති. මෙලෙසම සියයක දිනුමක් ලැබුණු දිනක මම රාජගිරියේ ආයුර්වේද පාලම ළඟ සිටි ලොතරැයි වෙළන්දකු වෙත එය ඉදිරිපත් කළෙමි. ඔහු කිසිත් නොකියා සිය සාක්කුවෙන් රුපියල් සියයක් ගෙන මට දුන්නේ ය.

මට නම් ඔහු පෙනෙන්නේ නෙළුමක් මෙනි.

රාජගිරියේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. නෑයන්ගේ හිත් රිදෙන නිසා තම නම ගම හෙළි නොකරන ලෙස ඉල්ලා තිබේ.
 

හිත රිද වූ අත්වැරැද්ද

පන්සල් ගිය මා බිරිය ගෙදර ආවා පමණි.

ආගන්තුක යුවලක් ගේ දොරකඩ පෙනී සිටියහ.

‘ඇයි මහත්තය?’ මා බිරිය ඔවුන් ඉදිරියට ආවේ කුහුලිනි.

‘අම්මෙ, අපේ වාහනේට බල්ලෙක් පැනල මැරුණ. ඌව වළලන්න උදැල්ලක් ඉල්ල ගන්නයි ආවෙ.’

යුහුසුලු වූ මා බිරිය ඔවුනට උදැල්ල ගෙනැවිත් දුන්නා ය.

‘බොහොම ස්තුතියි අම්මෙ, අපි උදැල්ල ආපහු ගෙනත් දෙන්නං. ගෙවල් කීපයකට ම කතා කළා උදැල්ලක් ඉල්ල ගන්න. ඒත් ගේට්ටු ඇරුණෙ නෑ.’ නෝනා මහත්මිය කීවා ය.

උදැල්ල රැගෙන ගිය යුවල ආපසු පැමිණෙන තුරු මා බිරිය දොරකඩට වී සිටියා ය.

පැය බාගයකින් පමණ පසු ඔවුහු ආහ.

‘වැඩේ කරගත්ත ද?’

‘ඔව් අම්මෙ. මෙන්න උදැල්ල’

සමුගැනීමට පෙර ඔවුහු සුළු මොහොතක් රැඳී සිටියහ.

‘බල්ල අපේ වාහනේට හැප්පිල මැරිච්ච එක අපේ හිතට මහ මොකක්ද වගේ අම්මෙ. අපි හිතල මතල ඌව හැප්පුවෙ නෑ.’ නෝනා මහත්මිය දුක් වූවා ය.

‘එක පාරට ඌ පාර හරහ පැන්නම මට කරගන්න දෙයක් තිබුණෙ නෑ. කරුවල හින්ද ඌව හරියට පෙනුණෙත් නෑ. වෙච්ච වැඩේ ගැන හරි දුකයි.’ මහත්මයා ද දුක් වූයේ ය.
 

පිළියන්දල, මාම්පේ, සාම විනිසුරු ඇඩ්වින් රත්නායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]