![]() ![]() |
||
කවුද මේ ‘කාරයා’මේ කතාබහ සමහරුන්ගේ ජීවන වෘත්තියටත්, තනතුරටත්, ඇතැම් අයගේ පෞද්ගලික නමටත්, තවත් විටෙක නෑකමටත් පසුපසින් නිල නොවන ලෙසත්, රහසිගතවත් යෙදී අනභිමුඛව සමාජය තුළ ව්‍යවහාරයෙහි පවතින ‘කාරයා’ පිළිබඳවය. මේ සඳහා නිදසුන් කීපයක් දැක්වූ විට මෙය හොඳින්ම පැහැදිලි වනු ඇත. එනම් පාන්කාරයා, ලියුම්කාරයා, කිරිකාරයා, බෝතල්කාරයා, පත්තරකාරයා, කීරකාරයා, කොසුකාරයා, ඉදල්කාරයා, මාළුකාරයා යනාදී වශයෙන් සමාජය තුළ වැහැරෙන අය අප කවුරුත් දන්නා-කියන වෘත්තීය හිමියන්ය. මේ පිළිබඳව තරමක් ගැඹුරින් බැලූ විට පෙනෙනුයේ මේ සියලු දෙනාම වාගේ නිවසේ කඩුල්ල හෙවත් ගේට්ටුව ළඟට දිනපතාම නොහොත් නිතරම වාගේ එන චරිත කීපයක් බවය. ඔවුන් අතින් සිදු වනුයේ ගෙහිමියන්ගේ නිවසට එදිනෙදා අවශ්‍ය යම් යම් ද්‍රව්‍ය සහ බඩු - භාණ්ඩ සැපයීමය. ඒ අතර ඔවුහු ද එමඟින් දවසේ ආදායම සරිකර ගනිති. එදා බෝතල්කාරයා ලෙස ප්‍රකටව සිටියේ ගෙදර ගොඩගැසී ඇති විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ පරණ - හිස් බෝතල් සහ කුප්පි වර්ග මිලදී ගැනීමට එන පුද්ගලයාටය. අදත් එම පුද්ගලයාට එම යෙදුම භාවිත කෙරුණ ද එය ඊටත් වඩා අද වැඩියෙන්ම යෙදෙනුයේ අරක්කු බීමට ගිජු සහ ඇබ්බැහි වූ පුද්ගලයාටය. පත්තරකාරයා යන්න ද එවැනිමය. එදා ගෙදරට උදේ - හවා පුවත්පත් විකිණීමට ආ පුද්ගලයාට මෙම ව්‍යවහාරය යෙදිණ. එය අදත් එසේම පවතින අතර පුවත්පත් කලාවේදියෝ ද අද දවසේ මෙම යෙදුමට සිය කැමැත්තෙන්ම උරුමකම් පාති. ඒ පුවත්පත් කලාවේදියා - පත්තරකාරයා අද සමාජයේ වඩාත් පැසසුමට ලක්ව සිටින අයකුවීම නිසා විය හැකිය. කෙසේ වුවද මෙම යෙදුම් ජනිත වී ඇත්තේ නිවස වෙත එන මොවුන්ගේ නම් - ගම් ආරම්භයේදීඹ නොදන්නාකම නිසාත් කුමන හෝ ඥාති සබඳතාවක් නොමැති නිසාත් විය හැකිය. එසේ නොමැතිව නොහොඳ - නෝක්කඩුවක් නිසා ගොඩ නැගුණු ව්‍යවහාර නොවේ. ඇත්ත වශයෙන්ම බැලුවහොත් ගෙහිමියනුත් මොවුනුත් අතර පවතිනුයේ එක්තරා මට්ටමක සුහද බවකි. ලෙන්ගතු කමකි. ඒ අර්ථයෙන් බලනවිට එම යෙදුම්හි අන්තර්ගතය සුබවාදීය. අගෞරවාර්ථයෙන් තොරය. එමෙන්ම අහිංසකය. මිත්‍රශීලීය. ඒ අතරේම එම ජීවන මාර්ග ඉහළ යයි සම්මත ගණයට අයත් නොවූ නිසාත් මෙම වදන එවැනි ස්වයං රැකියා ලාභීනට ඈඳුණා ද විය හැකිය. මේ අතර මෙවැනි වූ තවත් කණ්ඩායමක් කෙරෙහි අවධානය යොමු කරවීමට කැමැත්තෙමි. එනම් කඩකාරයා, මුරකාරයා, බෙරකාරයා, හේවිසිකාරයා, යනාදී පුද්ගලයන්ය. මොවුන් ද ගමට, නගරයට - සමාජයට සේවා සපයන පිරිසකි. මොවුන්ට ද ‘කාරයා’ වදන එකතුවී ඇත්තේ ද්වේශ සහගත පදනමකින් නොවන බව පෙනේ. මෙයින් කාඩකාරයා ගතහොත් ඔහු එදා ගමට අත්‍යවශ්‍යම පුද්ගලයෙකු විය. එදා අද මෙන් ‘එහෙ බැලුවත් කඩ - මෙහෙ බැලුවත් කඩ’ තත්වයක් නොතිබුණි. බෙරකාරයා, හේවිසිකාරයා වැනි වෘත්තීන් එදා කේන්ද්‍රගතවී තිබූණේ ඊට අදාළ යැයි සම්මතව තිබූ කුල පරම්පරාවලට පමණි. අද එය එසේම නොවේ. මුරකාරයාගේ තත්ත්වය ද අද එදාට වඩා නිල ඇඳුමෙන් මෙන්ම විෂයානුබද්ධ දැනුමෙන් - හැකියාවෙන් සහ සමාජ තත්ත්වයෙන් ද වැඩිදියුණු කෙරී ඇත. සමාජය තුළ මෙවැනි වූ කැපී පෙනෙන තවත් ‘කාරයා’ චරිත කීපයක්ම තිබේ. ඒ අතර ජනතා සිත්හි ඉදිරියෙන්ම පෝලිම් ගැසී සිටිනුයේ බොරුකාරයා, කේලාම්කාරයා සහ පොලුකාරයා යැයි සිතමි. මෙයින් පොලුකාරයා යනුවෙන් නම් පටබැඳී ඇත්තේ ණයට - අතමාරුවට යම් මුදලක් රැගෙන එය ආපසු ගෙවීම දිගින් දිගටම මගහරින පුද්ගලයාටය. ඒ අතරට යම් තැනකින් - පුද්ගලයකුගෙන් යම් වැඩක් කරවා ගෙන ඊට අදාළ ගාස්තුව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ ගෙවීම දිගින් දිගටම පැහැරහරින තැනැත්තාට ද සමාජය විසින් මෙම යෙදුම ආරූඪ කර ඇත. කෙසේ වුවද මේ චරිත කීපයම ඉතා අසුබවාදීය. සමාජ ගෞරවය බිංදුවටම අහිමි කරගෙන අගෞරවය උපරිම ලෙස හිමිකරගත්තවුන්ය. සමාජයට අවැඩදායී වූවන්ය. ළඟින් යෑමටවත් සමාජය බියක් දක්වන පුද්ගලයන්ය. පරිපාලන ව්‍යුහයන් තුළ පවතින යම් යම් තනතුරු ආශ්‍රිතව ද ‘කාරයා’ ව්‍යවහාරය පවතින බව පෙනේ. ඒ අතරින් කැපී පෙනෙනුයේ නඩුකාරයා යන්නය. මෙම යෙදුම පෙර කී ඒවා මෙන් සමාජ ව්‍යවහාරයට කාලීනව ඉබේම එකතු වූවා ද නො එසේ නම් වාග් විද්‍යාඥයින් සහ භාෂාවේදීන් විසින් ‘අධිකරණයේ විනිශ්චයකාර’ යන්නට සරල තනි වචනයක් හඳුන්වා දුන්නා ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවද මෙම යෙදුම භාවිතයේ පවතිනුයේ දැඩි කීකරු, භය - පක්ෂපාතී සහ ගෞරවාන්විත අර්ථයෙන්ය. පසුකාලීනව උගත් සමාජය තුළ රැකියා සහ පාලන - පරිපාලන ව්‍යුහයන් තුළට එක්වී ඇති එවැනි සැඟවුණු ව්‍යවහාරයන් තවත් බොහෝය. නිදසුන් කීපයක් පෙළ ගැසුවහොත් ඒ අතර ප්‍රින්සිපල්කාරයා, මැනේජර්කාරයා, ඩීඑම්ඕකාරයා, ඩිරෙක්ටර්කාරයා, කමිෂනර්කාරයා, සභාපතිකාරයා, ප්‍රොෆෙසර්කාරයා, ජීඑම්කාරයා යනාදිය දැක්විය හැකිය. මේ පිළිබඳව වැඩිමනත්ව සිතන කල්හි පසක් වනුයේ මේවායේ නිර්මාපකයන් බොහෝවිට පොදු මහජනතාවටත් වඩා ඒ ඒ ආයතන පද්ධතීන්හිම සිටින ගෝල - බාල, සේවක - නිලධාරි ප්‍රජාවම බවය. කෙසේ වුවද මෙම යෙදුම් වලින් ධ්වනිත කරනුයේ අසුබවාදී මෙන්ම අගෞරව ආකල්පයන්ය. යම් පාලන සහ අධිකාරී බලයක් සහිත ඇතැම් තනතුරුධාරීන් තුළින් ප්‍රදර්ශනය කෙරෙන අනවශ්‍ය කෝපය, අනෙකාට ගරු නොකිරීම, ඇහුම්කන් නොදීම, දුකේදී පිහිට නොවීම, දැඩි ආත්මාර්ථකාමීබව, අඩු සුහදශීලීබව, අඩු කැපවීම, දැඩි අලසබව, අල්ලසට - දූෂණයට පෙළඹීම, ගැහැනු සොඬකුවීම, නීතිගරුක නොවීම, පක්ෂග්‍රාහීවීම, තීරණ ගැනීමේ දුර්වලයකුවීම, තනතුරින් පිම්බී සිටීම, එපාවාහෙට හොදි බෙදීම වැනි දුර්ගුණයන් වැඩි දෙනකු ඉවසා - දරා සිටියද එසේ කිරීමට අපහසු සහ තරමක් කටකාරයෝ රහසිගතව මෙවැනි ආකාරයේ අන්වර්ථයන් ගොඩ නගති. මේ අතර රටේ අස්සක් - මුල්ලක් නෑර හැම තැනම දන්නා හඳුනන තවත් කාරයෙක් රාජ්‍ය සේවය තුළ සිටී. ඒ අන් කවරකුවත් නොව පොලිස්කාරයාය. මෙයද පොලිස් කොස්තාපල් යන තනතුර ඇසුරින් භාෂාවේදීන් විසින් හඳුන්වා දෙනු ලැබූ යෙදුමක් දැයි නොදනිමු. කෙසේ වුවද මෙයද මුල් කාලයේදී භාවිත වූයේ අගෞරවයෙන් තොරව භය - පක්ෂපාතී බවම අරමුණු කොට ගෙනය. එහෙත් පසුකාලීනව එය පොදුවේ අගරු සහ ප්‍රියජනක නොවන චරිතයක් - නිලයක් ආශ්‍රිතව පවතින යෙදුමක් බවට ද පත්විය. මෙවැනිම පසුබිමකින් යුතුව ‘කාරයා’ යෙදුම තම තමන් දන්නා කියන සමහර ඥාති - හිතවතුන් අරභයා ද ව්‍යවහාරයේ පවතින අයුරු දක්නට ලැබේ. හැමවිටම එහිදී සිදුවනුයේ නමට සහ නෑකමට පසුපසින් ‘කාරයා’ යෙදීමකි. උදාහරණ ලෙස ‘ගුණදාසකාරයා’, පේමරත්නකාරයා’, ‘මාමකාරයා’, ‘බාප්පකාරයා’, ‘අලංකාරයා’ යනාදිය දැක්විය හැකිය. මේවා පසුකාලීන සමාජ පසුබිම තුළින් මතු වූ අසුබ සහ අගෞරව ව්‍යවහාරයන් බව පැහැදිලිය. මෙම ව්‍යවහාරයන්ට ද පාදක වී ඇත්තේ එවැනි අයගේ චර්යාවන්හි පිටතට පෙනෙන යම් යම් දුර්ගුණයන්ය. මෙම ‘කාරයා’ සහිත යෙදුම් ගොන්න අතරට මෑත කාලීන සමාජයේ අවසානයට වාගේ තවත් කීපයක්ම එකතුවී ඇති බව ද පෙනේ. ඒවායින් කීපයක් නම් ස්වීප්කාරයා, කොළකැඳකාරයා සහ ත්‍රීවිලර්කාරයාය. මේවා ද වැහැරට එක්ව ඇත්තේ මෙහි තුන්වන ඡේදයෙහි කී ආකාරයේ අහිංසක සහ යම් සුහදශීලී පසුබිමකින් යුතුවමය. කල් යත්ම බොහෝ දෙනා ඔවුන් ඔවුන්ගේ නම් වලින් හෝ මල්ලී, අයියා, අන්කල් වැනි සුදුසු නෑකමකින් හෝ හැඳින්වෙනු දැකිය හැක්කේ එහෙයිනි. ඒ අතරම දරුණු ගණයේ තවත් කාරයෝ දෙදෙනෙක් ද වර්තමාන සමාජය හොල්ලමින් සිටිති. ඒ කුඩුකාරයාත් පාතාලකාරයාත්ය. ඉතින් මේ ‘කාරයා’ පිළිබඳව ඔබට සිතෙනුයේ කුමක් ද? අප කී කාරයන්ට අමතව තවත් කාරයන් ඔබේ මතකයට ද එනු ඇත. කෙසේ වුවද මෙහි නිදසුන් ලෙස දක්වා ඇති සමහර ‘කාරයන්’ අවංකවම කලබල නොවූවා යැයි ද සිතමි. ඒ අතරම කුඩුකාරයාත්, පාතාලකාරයාත් හැර ඉතිරි අයගෙන් සමහරුන් මනසින් කලබල වූවා ද විය හැකිය. ඒ මේ ‘කාරයා’ පට්ටම තමාගේ නමට හෝ තනතුරට හෝ චරිතයට හෝ රහසිගතව පැමිණි ඇතුවාවත්දෝයි යන විචිකිච්ඡාවෙනි. ඉතින් ගමේ වැඩබිමේ, කාර්යාලයේ දෙතුන් දෙනකු පමණක් ‘කාරයා’ මඟින් ඔබට යම් නිගරුවක් ජනිත කරවීමට වැර යොදන්නේ නම් ඒ ගැන උකටලී වියයුතු නැත. එහෙත් වැඩි පිරිසක් එම අගරුව පසුපස සිටින බව හැඟේ නම් ඔබට එය එක එල්ලේම බැහැරකළ නොහැකි වනු ඇත.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |