කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නවකතාවේ කඩඉමක් ලකුණු කරන සරසවි දියණියෝ

නවකතාවේ කඩඉමක් ලකුණු කරන සරසවි දියණියෝ

2012 පළමු කවිතා සම්මාන උලෙළේ දී හොඳ ම නවකතාවට හිමි සම්මානය කර්තෘවරියන් දෙදෙනකු අතරේ සම තත්වයෙන් බෙදී ගිය අතර, ඒ නවකතාකාරියන් වූයේ සළපතන මණ්ඩිය ලියූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආශා රැළපනාව හා යක්දෙහි කන්ද රචනා කළ කැලණිය විශ්වවිද්‍යාලයේ යනූෂා ලක්මාලි ශිෂ්‍යාවන් ය. ඔවුන් දෙදෙනාම සිංහල ගෞරව පාඨමාලාව හදාරන උපාධි අපේක්ෂිකාවන් වීය. 2013 - 14 දෙවන සම්මාන උලෙළේ දී ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනූ නවකතා ත්‍රිත්වයේ ම හිමිකාරිත්වය සරසවි දියණියන් තිදෙනකු විසින් හිමිකර ගැනීම අහඹු සිදුවීමක් සේ පෙනුණ ද එය සැබෑවට ම සිදුවූවක් ය.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ ශිෂ්‍ය මානවිකාවක වූ නවෝදා සුගන්ධිනී විසින් රචනා කරන ලද, සරසවි පොතක් සේ පළ වූ ‘සසර යාත්‍රාව’ ට ප්‍රථම ස්ථානය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ශිෂ්‍යවාවක වූ සුරස පොතක් ලෙස පළවී ඇති “සැඳෑ නයනිය” ට දෙවන ස්ථානය ද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ගෞරව උපාධි අපේක්ෂිකාවක වූ සුරන්දි දිල්රුක්ෂි විසින් රචනා කරන ලද ‘ගමන’ ට (සුරස පොතක්) තෙවන ස්ථානය ද හිමිවූයේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතරේ නවකතාකරණයෙහි ලා මානවිකා දායකත්වය මානවක දායකත්වයට වඩා ඉහළ ය යන්න සනාථ කරමිනි. මේ නවකතා ත්‍රිත්වය ම සම්මාන හිමිකර ගැනීමට තරම් අවශ්‍ය සාහිත්යික හා කලාත්මක ගුණයෙන් යුතු යැයි විනිශ්චයට එළැඹෙන ලද්දේ ප්‍රවීණ හා සම්මානිත නවකතාකාරියක වන සුනේත්‍රා රාජකරුණානායක විසිනි. කවිතා සම්මාන උලෙළට විවිධ අංශ ඇතුළත් වූවද, පසුගිය සම්මාන උලෙළ ද්වයෙහිදී ම සාහිත්‍ය අංශයෙන් සම්මාන දිනූ කෘති සියල්ල මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්වීම, උලෙළෙහි අර්ථවත් බවට මාහැඟි නිදසුනක් වේ.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි, මෙරට සරසවි සිසු සිසුවියන්ගේ දායකත්වය පිළිබඳ යම් වටහාගැනීමක් ලබා ගැනීමට මේ මුද්‍රිත නිර්මාණ කෘති එක්කරන අගය අමිල ය. කුමන හේතුවක් නිසා හෝ මේ නිර්මාණ කෘති පිළිබඳ කිසිදු විචාරයක් දක්නට නොලැබුණ ද ආධුනික නවකතාකාරියන් කෙටිකතාකාරුවන් හෝ පද්‍ය කාව්‍ය, ගීත කාව්‍ය රචක රචිකාවියන් ගේ මට්ටමින් සාකච්ඡා කළ යුතු මට්ටමක පවතින බව නම් ඉඳුරාම පැවසිය හැකිය. මෑත කාලයේ අප'තට පත් වී කියවන්නට ලැබුණු ඇතැම් නවකතාවන්ට සාපේක්ෂව මෙවර කවිතා සම්මානිත නවකතා ත්‍රිත්වය ම නිර්මාණ ගුණයෙන් සපිරි කෘති ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. නවෝදා සුගන්ධිනීගේ ‘සසර යාත්‍රා’ කෘතිය නිසැක වශයෙන් ම පාඨක විචාරක ගැඹුරු කියවීමකට ඇරැයුම් කරන කෘතියකි. රවීන්ද්‍ර විජේවර්ධන විසින් රිවිර කලසෙහි සසර යාත්‍රා පිළිබඳ දීර්ඝ විචාරයක් ලියා තිබුණ ද, ඉන් ඔබ්බට කිසිදු විචාර ක්‍රියාකාරකමක් නොවූ බවයි මගේ මතකය. සැඳෑ නනිය හෝ ගමන, කිසිදු විචාරයකින් හෝ ඇගැයීමට ලක්නොවූ එහෙත් ඇගැයීමට ලක්විය යුතු කෘති ලෙස සඳහන් කරන්නේ, මේ නවකතා ඉතා විශිෂ්ට කෘති යැයි අධි තක්සේරුවක පිහිටා නොවන බව අවධාරණය කරමිනි.

නවකතාවක් මතු නොව ඕනෑම සාහිත්‍ය කෘතියක් එක දිගට කියවාගෙන යාමට හැකි ගුණයෙන් වියුක්ත නම්, ඒ කෘතිය කෙතරම් අගනා අත්දැකීමකින්, පොහොසත් භාෂා ව්‍යවහාරයකින්, ඖචිත්‍යයෙන් යුතු භාෂාවකින් හා ආකෘතිමය අත්හදා බැලීම්වලින් පෝෂිත වුවත්, පාඨකයන් විසින් ප්‍රතිෂේප කරනු වැළැක්විය නො‍ෙහ්. අප කුමන හෝ සාහිත්‍ය නිර්මාණ කෘතියක් කියවන්නේ ඇයි? අප කියවන්නේ මෙබඳු කෘතිද, ඒවා කියැවීමෙන් පසු අපගේ හදවත් රිදුණු තැනක් වී දැයි යළි සිතා බලන කල්හි හදවත රිදවන වර්ගයේ, හද කම්පනයට ලක්කරන අන්දමේ කෘතියක් නම් අප ඊට ආසක්ත වීම නිසැක ව ම සිදු වනු ඇත. මෙවර කවිතා සම්මාන උලෙළේදී සම්මාන දිනූ, සසර යාත්‍රා, සැඳෑ නයනිය හෝ ගමන යන කුමන හෝ කෘතියක් විසින් පාඨක සිතෙහි කිසියම් සියුම් රිදවුමක් කරනු නිසැක ය.

මේ නවකතා ත්‍රිත්වය එකින් එක ගෙන ඒ පිළිබඳ දීර්ඝ විචාරයක, විග්‍රහයක යෙදීමට සමගාමී ව රස වින්දනයකට එක්වීමට වඩා මේ කෘති ත්‍රිත්වය කෙරෙහි පාඨක විචාරක අවධානය යොමු කරවමින් මෙසේ පැවසීමට කැමැත්තෙමි. මේ නවකතා තුන ම කියවා බලන්න. ඇතැම් නවකතාවක් කියවා අවසන ඔබේ හදවත රිදුම් ගෙන දුන්නා වූ ජීවන අත්දැකීමකට මේ මානවිකාවන් විසින් පාඨක ඔබ කැඳවාගෙන යනු ලබන්නේ සූරකතාකාරියන් තිදෙනකු පරිද්දෙනි. ජීවිතය පිළිබඳ පුළුල් හෝ පරිණත අත්දැකීම් ලබන්නට තරම් වයසකින් තොර වූ මේ සරසවි යෞවනියන් තිදෙනා ම, කවිතා නිර්මාණ කුසලතා සම්මාන උලෙළ ඔස්සේ නවකතාකරණයට අත්පොත් තබන්නට වාසනාව ලද්දියන් බවට පත් ව සිටී. ඔවුන් සතු නිර්මාණශීලීත්වයක් වේ නම් එය අගයන්න.

සසර යාත්‍රා නවකතාව රචනා කරන නවෝදා සුගන්ධනී පෙරමුණ, විශ්වවිද්‍යාල ජීවිතයේ දී වාස්තු විද්‍යාව වැනි විෂයයන් හදාරමින් නවකතා වැනි ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයන් කෙරෙහි ඇලුම් කරමින් තම නිර්මාණය සඳහා ‍තෝරාගෙන ඇති අත්දැකීම් සමුදාය අපූරු කතාකාරියක ලෙස ප්‍රබල නිර්මාණ කාර්යයක් බවට පත්කොට ගෙන ඇති විලාසය අප සිත් ගනී. උතුරුමැද පළාතේ ඈත දුෂ්කර ගම්මානයක පාසලකට පත්වීමක් ලැබ ගුරු සේවයට යන තරුණ භික්ෂු ගුරුවර චරිතයක් නවකතාවෙහි ප්‍රධාන චරිතය වේ. පාසල් ගුරු මණ්ඩලයට රාහුල හිමියන්ගේ ආගමනයත් සමඟ පාසලේ සිදුවීමට පටන්ගන්නා වෙනස්කම් කතුවරිය අප ඉදිරියේ නිරූපණය කරන්නී ය. රාහුල හිමියන්ගේ චරිතය, පාසලේ මුල් ගුරුතුමා, හයදෙනෙක් තරම් වූ කුඩා ගුරු මණ්ඩලය, උන්වහන්සේට හල්මිල්ලෑවේ දී පළමු වතාවට මුණ ගැහෙන යසපාල නම් තරුණයාගේ චරිතය ප්‍රමුඛ ‍ෙකාට එක්තරා කාල වකවානුවක් තුළ ගැටෙන ආකාරය ඔස්සේ කතුවරිය විසින්, ගුරු භික්ෂුවගේ චරිතය පරමාදර්ශී චරිතයක් ලෙස ගොඩ නැංවීමට උත්සාහ ගන්නී ය.

තරුණ භික්ෂූන් වහන්සේ ජීවිතය පිළිබඳ යථාර්ථවාදී ව සිතන, ආගම හිස මත කරපින්නාගෙන ක්‍රියා කරනු වෙනුවට, ජීවිතයේ ප්‍රායෝගික ස්වභාවය හඳුනාගෙන ඒ අනුව නිර්භීත තීරණ ගන්නා චරිතයකි. උන්වහන්සේගේ ආගමනය මුල් ගුරුතුමාගේ සිතට සහනයක් වන මුත් ගුරු වෘත්තියෙහි අගය වටහා නොගත්, දුෂ්කර ගම්මානයක ශිල්ප සොයනා වරප්‍රසාද නොලත් දරු දැරියන් කෙරෙහි අනුකම්පාවකින් තොරව කටයුතු කරන ඇතැම් ගුරුවරුන්ගේ එතෙක් පුරුදු ව සිටි ජීවිතයට තර්ජනයක් වේ. එවැනි තර්ජන හමුවේ පමණක් නොව, පාසල පාලනය කරනු ලබන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන අරක්ගත් දේශපාලන බලවතුන් සමඟ‍ මෙන් ම නිලධාරීන් සමඟ ද ගැටෙමින් තම යුතුකම් ඉටු කිරීමට සටන් වදින චරිතයක් ලෙස කටයුතු කරනු පෙනේ.

උන්වහන්සේ, මේ දුෂ්කර ගම් පළාතේ ජීවත් වන දුවා දරුවන්ගේ පමණක් නොව, ඔවුනගේ දෙමාපියන්ගේ දුෂ්කර ජීවිත ද ජීවත්වීමට ඔවුන් විසින් නිරතුරු ව ගෙනයනු ලබන අරගලය ද දකී, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින, අයුක්තිය පිටු දකින රාහුල හිමියන්ගේ සසර යාත්‍රාව, නවකතාව ගලා යෑමට සැලැස්වූ රිද්මයට බාධාවන අයුරින් නිම කිරීමට කතාකාරිය උත්සාහ ගැනීම අපට නොවැටහේ. උන්වහන්සේ විසින් තම ජීවිතය පුරා හුරු පුරුදු කරගත්තා වූ දයානුකම්පා ගුණය, මනුෂ්‍යත්වයට ගෞරව කිරීමේ උතුම් පුරුද්ද අපගේ ජීවිත අරක්ගත් අඳුරට එල්ල කරන ලද ආලෝක ධාරාවක් වැන්න.

තම මූලික චරිත හා සිද්ධිදාමය පෙළ ගැස්වීමේදී කතාකාරිය විසින් භාවිත භාෂාවේ නිර්මාණශීලි ගුණය මෙන් ම කලාත්මක බවද පාඨක සිත් ඇද බැඳ ගනී. ඇතැම් චරිතයක් නිරූපණයේ දී මේ යෞවන කතාකාරිය අපූරුවට සංයමයෙන් යුතු භාෂා භාවිතයක් උපයෝගී කර ගන්නී ය. ගමෙහි දුප්පත් ළා බාල දැරියක, මුදලාලි විසින් අපයෝජනයට ලක් කරනු ලබන මොහොතක් රාහුල හිමිගේ නෙත ගැටෙන අයුරු පවසන අයුරු ඇගේ බසින් කියවා බලන්න.

“නින්ද ‍ෙගාහින් වෙන්නැති” යි තමාට ම කියා ගත් රාහුල හිමියෝ සීරුවෙන් ගොස් දොර රෙද්ද මෑත් කළෝ ය.

ඒ සමඟම දුටු දසුනින් තිගැස්සුණු හිමි නම තැබූ පියවර ආපස්සට ගෙන පසුපසට ඇදිණ. අවුරුදු දොළහක දහතුනක වයසේ දැරියක ළංකොට ගෙන සිටි රුහුණු මුදලාලිගේ දෑත ඇයගේ ළමැද මත විය. ඒ මේ අත ඇඹරුණු දැරියගේ නොසන්සුන් බව ද මුදලාලිගේ කාමාශක්ත මුහුණ ද රාහුල හිමියන් සිත කෝපයට පත් කළේ ය.

සැණෙකින් දොරක් ඇරෙන වැසෙන හඬ ද ඇසිණ. කිසිවක් සිදු නොවූ අයුරින් එළියට ආ රුහුණු මුදලාලි නිරුවත් උදරය අත ගා ඈනුමක් ඇරියේ ය.” ගුරුකමින් ඔබ්බට ගිය රාහුල හිමියන් ගේ චරිතය ගමෙහි ජීවත්වන අසරණ තරුණ ගැහැනියකගේ ජීවිතයේ කොටසක් බවට පත් වූ ආකාරයත්, හිමියන් කෙරෙහි ඈ සිත උපන් භක්ත්‍යාදරයත් කතාකාරිය පාඨක හදට ළං කරන්නේ කරුණා රසය ඉස්මතු වන අයුරිනි.

“මාලතී” හිමියන්ගේ හ‍ඬෙහි වූයේ වේදනාවකි. “හාමුදුරුවනේ”.

මෙතෙක් වේලා හරිහැටි නොදුටු රාහුල හිමියන්ගේ ගිලන් සිරුර දැකීමෙන් මාලතීගේ හැඬුම තීව්‍ර විය.

“අඬන්න එපා මාලතී, හැමෝගෙම ජීවිත දුකක්”.

“මගේ දුක වේදනාව අඳුනගත්තෙ, නැති කළේ ඔබවහන්සේ”....

“ඉතිරි කාලෙත් සතුටින් ඉන්න. වැරැද්දක් නොකරන තැන සතුට තියෙනව මාලතී...”

රාහුල හිමි පැවසූවේ දයාබරිත ස්වරයෙනි.

සැඳෑනයනිය, සසර යාත්‍රා නවකතාවට වඩා හාත් පසින් ම වෙනස් වූ විශ්වවිද්‍යාල ජීවිතයම මුල් කර ගත් අත්දැකීමක් නවකතාව තුළින් පැවසීමට, හංසිනී ප්‍රමුදිතා ලේඛිකාව විසින් ගත් උත්සාහයකි. ලේඛිකාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මානවිකාවක් වූවද ඈ තම නවකතාවෙන් නිරූපිත චරිත ගොඩනගන්නේ පේරාදෙණි සරසවි ජීවිතය ආශ්‍රිතවය. ඈ විසින් පේරාදෙණිය සරසවියේ ජීවිතය, නිරූපණය කොට ඇත්තේ සැබැවින් ම ඈ ඒ සරසවියේ ම ශිෂ්‍යාවක හැසිරෙන පරිද්දෙනි. සරසවියේ දී එකිනෙකා අහම්බෙන් හමුවී හඳුනාගෙන, ප්‍රේමයක් ගොඩ නැගෙනා සිංහල තරුණියක හා ද්‍රවිඩ ශිෂ්‍යයකු ගේ ජීවිත, ඔවුන් ගේ පවුල්, වැඩිහිටි චරිත මෙන් ම සරසවියෙන් නික්ම ගොස් ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන සිදුවීම් මාලාවක ජීවිත විවරණයක් මේ නවකතාවෙන් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරිය උත්සාහ ගන්නී ය. මාධවන් සූරියකුමාර් හා නෙත්මිණි සන්ධ්‍යානා අතර හටගන්නා, ප්‍රේමය, සරසවි ප්‍රේමයකින් ඔබ්බට ගොස්, ඔවුනොවුන්ගේ ජීවිත පමණක් නොව, ඔවුන‍ගේ පවුල් සංස්ථාවන්හි හමුවන ජීවිත කෙරෙහි ද බලපාන, විවිධ ගැටලු හා අර්බුද හමුවේ අපට හමුවන ජීවිත තුළට එබී බලන'යුරු අපට පෙනේ. සරසවි ප්‍රේමයේ සුකුමාර බව අපූරුවට තම රචනය මඟින් පවසන ලේඛිකාව සරසවි ජීවිතය පිළිබඳ සිත්තම් විසිතුරු භාෂා විලාසයකින් සිතුවම් කරන්නී ය.

“සන්ධ්‍යානා”

“හ්ම්”

“ඔයා කාටවත් ආදරේ කරන්නෙ නැද්ද?” මට ක්ෂණිකව ඔහු දෙස බැලුණි. ඔහුගේ දෑස් මෙලොව මා කැමැති ම විදිහේ දෑස්. සීතල පිණි බිඳු වගේ එක අරුතක් පමණක් දෙන ඒ දෑස් නොසැලී බලා සිටියේ මා දෙසයි.

“සන්ධ්‍යානා අර අහස හරියට ඔයා වගේමයි”

“ඇයි එහෙම කියන්නේ?”

“ඔයාගෙ ඔය ඇඳුම අර පේන සුදුපාට වලාකුළු වගේ. එතකොට අර රතු පාටට ඇඳිල තියෙන ඉරි ඔයාගෙ ගවුම පුරා ඉහිරිලා තියෙන මල් වගේ.”

එහෙත් මේ තරුණ ප්‍රේමයම වයසින් මුහුකුරා ගොස් විවිධ හැල හැප්පීම්වලට ගොදුරු වන අයුරු කතුවරිය විසින් නිර්මාණය කරනු ලබන්නේ ඔවුන් අයත්වන ජාතීන් අතර වන දුරස්ථභාවය පිළිබඳ විශ්වසනීය විවරණයකින් ද යුතු ව ය. නවෝදා සුගන්ධිනී සසර යාත්‍රා නවකතාව මඟින් නිරූපණය කරනු ලබන පරිසරය, චරිත හා ජීවන ප්‍රවෘත්තිය හංසිනී ප්‍රමුදිතා සැඳෑ නයනියෙහි නිරූපණය කරනු ලබන කතා ප්‍රවෘත්තියට වඩා ජීවිතයට සමීප ය. ජීවිතය දෙස මානුෂීය දයාවකින් එබී බැලීමක් වැන්න. එනිසාම සැඳෑ නයනිය ලේඛිකාව සතු නවකතා කරණය පිළිබඳ කුසලතාව අවතක්සේරු කිරීමක් නොකෙරේ. කතා රසය නොබි‍ඳෙන ලෙස කතාවක් කීමේ දක්ෂතාවය හංසිනී ප්‍රමුදිතා සතුව ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධි අපේක්ෂිකාවක් වන සුරන්දි දිල්රුක්ෂිගේ ගමන නවකතාව පෙර කී කෘති ද්වයට ම වඩා වෙනස් වූ අත්දැකීමක් මුල් කර ගත් නිර්මාණයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. සසර යාත්‍රා හි රාහුල හිමියන්ගේ චරිතය පරමාදර්ශී චරිතයක් ලෙස ‍ගොඩනඟන්නට කතුවරිය විසින් ගන්නා ලද උත්සාහයට සමානවූත්, එහෙත් ඇතැම් අවස්ථාවක ඊට වඩා සංකීර්ණ ගති ලක්ෂණවලින් පිරුණා වූත් චරිතයක් ලෙස කතා නායිකාව වූ උත්පලා ගේ චරිතය ගොඩනැඟීමෙහි ලා සුරන්දි දිල්රුක්ෂි නම් යෞවන ලේඛිකාව දක්වන ප්‍රතිභාව අපූරු ය. දෛවයේ සරදමකින් තම සැමියා එක්තැන් වූ මොහෙතෙහි පටන් තම දියණියන් රැක බලා ගනිමින්, ජීවත්වීමට ජීවිතය හා පොර බදනා ධෛර්යවත් ගැහැනියකගේ චරිතයක ශක්තිසම්පන්න බව, ජීවිතයේ කිනම් බාධකයක දී හෝ ගැටලුවක දී වුව, ඊට මුහුණ දීමේ අප්‍රතිහත දරා ගැනීමේ ගුණය උත්පලා තුළින් අපි දකිමු.

සුරන්දි දිල්රුක්ෂි මානවිකාව, ඇගේ වයසට සාපේක්ෂ ව, ගමන නවකතාව තුළින් නිරූපිත මධ්‍යම පාන්තික මවගේ චරිතය මෙතරම් සූර ලෙස විශ්වසනීයත්වයෙන් යුතු ව ප්‍රබල ව ගොඩ නඟන්නේ කෙසේ ද? ඈ තමාගේ යෞවන ජීවිතය තුළ මෙබඳු චරිතයක් ගොඩ නැඟීමට තරම් අත්දැකීමෙන් පිරුණු මානවිකාවක් ද? ගමන කතා නායිකාවගේ චරිතය ලේඛිකාවගේ පරිකල්පනයෙහි මහරු ඵලයක් සේ අපට ඒත්තු ගැන්වෙන්නේ එය අව්‍යාජ, සැබෑ ජීවිතයේ දී හමුවන ලෙයින් මසින් සැදුණු චරිතයක් ලෙස ගොඩනඟන්නට කතුවරිය සමත්වන බැවිනි. උත්පලා‍ ගේ ජීවිතය මුහුණ දුන් කම්කටොළු බාධක කෙළවර, ඈ සැනසුම් සුසුමක් හෙළන අවස්ථාව කතුවරිය නිරුපණය කරන'යුරු විමසන්න.

“වැර වෑයමෙන් දශමයෙන් දශමය ගොඩ නඟා ගන්නා මේ ජීවිතයේ ආයෙම නම් කැබලි වන්නට දිය නොහැකිය. දියණියන් දෙදෙනා ගේ සඳ මුහුණ පුරා ඇඳී ඇති තමාගේත් අජන්තගේත් මාතෘ, පීතෘ. සලකුණු නොකියා කියන්නේ ඔවුන්ව රකින්නට ‍කියා නොවේ ද? ඒ ‍ලේ බැම්ම බුරුල් කරමින් තවත් ආගන්තුකයකුගේ සුන්දර පතිනියක් වන තෙක් උන් තමා‍ගේ ය. තමාගේ පමණකි. උන් පණ සේ සුරැකීම තමාගේ වගකීම බව උත්පලා වහා අවබෝධ කර ගත්තා ය. “ස්වාමි භක්තිය, දාරක ස්නේහය උත්පලා ගේ ජීවිතයෙහි දිදුලන ආලෝක කදම්බයෝය. ඈ වැනි කතුන් ලොව විරල ය. එහෙත් විරල වූ උත්පලා ගේ චරිතය පරමාදර්ශී ය. නවකතාව පුරා ඒ ගුණය රඳවා තබා ගැනීමට කතුවරිය සමත් වන්නී ය. සසර යාත්‍රා, සැඳෑ නයනිය හා ගමන නම් වූ මේ නවකතා ත්‍රිත්වය අප ගේ නවකතා සාහිත්‍යයෙහි කිසියම් හෝ කඩඉමක් සටහන් කරන කෘතීන් නොවේදැයි විමසා බලන්න.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]