![]() ![]() |
||
සංක්‍රමණිකයා ඔසවා තබන වංසකතා කතුවරු
ස්වදේශිකයන් පිළිබඳ වර්ණනා කරනු වෙනුවට සංක්‍රමණිකයා ඔසවා තබන්නට වංසකථා කතුවරුන් වෑයම් කර තිබෙන්නේ කුමක් නිසාදැයි යන කාරණය දෙස වඩාත් විසංයෝජනීයව බැලීම තුලනාත්මක ඉතිහාසයක් ගැන අපේක්ෂාවක් තිබෙන කවරකු හෝ විසින් උත්සාහ කිරීම අවශ්‍ය බව හැඟෙන්නේ එවිටයි. පරාජිත යක්ෂයන්ගේ සංකේතය වන කුවේණීය සරණ පාවා ගන්නා විජය අවසානයේ රටේ පාලන බලය ඇයගේ උපකාරයෙන් තමන් සතු කොට ගෙන අනතුරු ව දරුවන් දෙදෙනකු සමඟ ඇය අනාථ කර දැමීමත් අවසානයේ කුවේණිය සිය සගයන් විසින් මරා දැමීමත් විජයගේ ලෙයින් තැනුණු දරුවන් දෙදෙනා අපිළිසරණ ව කැළෑ වැදීමත් මහාවංස කතුවරයා විසින් විස්තර කර තිබෙන්නේ විජයගේ නාගතය වෙනුවෙන් එවැනි දේ විය යුතු ව තිබිණි ය යන ස්ථාවරය පෙරදැරි කොට ගෙන බවයි පෙනෙන්නේ. මෙවැනි දේ ඇත්තෙන් ම සිද්ධ වූයේ දැයි යන්න මෙහි දී එතරම් වැදගත් නොවෙතත් එවැනි සිද්ධි සංකලනය කොට සංරචනයක් ගොඩනැඟීමට වංසකථා රචනා කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සතුව තිබූ පෙලඹවීම පිටුපස වැදගත් සමාජ දේශපාලනික අරුතක් තිබෙන බව වැටහෙනවා. මෙය වඩාත් හොඳින් කැපී පෙනෙන්නේ කිසියම් පාලකයකු බෞද්ධ ආරාම වෙත මහත් සේ සිය අනුග්‍රහය දක්වා අවසානයේ යම් සුළු අඩුපාඩුවක් සිදු කළ අවස්ථාවල දී පවා ඒ රජු මහත් පින් කොට අවසානයේ සුළු අකුසලයකින් කර්ම විපාක ලැබ දුගතිගාමී වී යැයි පවසන වංසකථා රචනා කළ කතුවරු කුවේණියගේ සහ ඇගේ දරුවන්ගේ දුක්ඛාන්තය ගැන කිසිදු දෝෂාරෝපණයක් විජය වෙත එල්ල නොකිරීම යි. යක්ෂ යන නාමය මඟින් ධ්වනිත වන රෞද්‍ර බව සහ අශිෂ්ට බව මෙරට ස්වදේශිකයන් වෙත පවරා සමස්ත ඉතිහාසය තුළ ඔවුන් කෙරෙහි මහත් අපුලතාවක් ජනනය කිරීමේ වගකීම නිතැතින්ම වංසකථා කතුවරුන් විසින් බාර ගත යුතු ය යන අදහස කෙනකු තුළ පහළ වන්නට පුළුවන්. සංක්‍රමණිකයා මෙහි පැමිණෙන අවධියේ විසූ මෙරට ස්වදේශික වැසියන් එවැනි නොදියුණු ජන කණ්ඩායමක් නොවූ බව ඉඟි කෙරෙන සාක්ෂි මුළුමනින් ම වසන් කිරීමට ඒ රචකයන් අසමත් වූ ආකාරය කුවේණියගේ කපු කැටිම, ඇයගේ නෑදැයන් වාසය කරන ලද්දේ සිරීසවත්ථු නමින් හැඳින් වූ නගරයක බව පැවැසීම සහ ඒ නගයේ වැසියකුට ලංකාපුරය නම් තවත් නගරයකින් කුමාරිකාවක් සරණ පාවා දීමට පැවැති විවාහ මංගල උත්සවයක් ගැන සඳහන් කර තිබීම යන සිද්ධිවලින් පිළිබිඹු වෙනවා. එමඟින් මහාවංස කතුවරයාගේ සංරචනයේ අන්තර්ගත කරුණුවල තිබෙන ස්වයං විසංවාදී මුහුණුවර කදිමට පෙන්නුම් කරන බව පැහැදිලියි. ඉතිහාසකරුවන් යකුන් ලෙස හඳුන්වා තිබෙන කණ්ඩායම ගැන මෙතෙක් අපේ සිත් තුළ පැවැති ඓතිහාසික සංවේදනය ගැන ඔබ සුළු මොහොතකට හෝ සිතා බැලීම වැදගත්. එවිට නිතැතින් ම ඔබට වැටහෙනු ඇත්තේ සත්‍ය වශයෙන් ඔවුන් ගැන අප තුළ පවතින හැඟීම මිථ්‍යාවත් සත්‍යයත් අතර වූ හිඩැසකට ඇද වැටී තිබෙන බව යි. ඒ යක්ෂ පිරිස් නිසා සංක්‍රමණිකයන්ගේ ශිෂ්ටත්වය පිළිබඳ විශ්වාසයක් ජනිත වනු හැරෙන්නට ඒ යකුන් කවුදැයි යන්න දැන ගැනීමට යම් වුවමනාවක් අප තුළ හට නොගන්නේ ඒ ගැන අප තුළ තිබෙන උදාසීන හැඟීම නිසායැයි මම සිතනවා. යක්ෂයන් යැයි කී පමණින්ම අපේ සිතට නැඟෙන්නේ අම්බලන්ගොඩ ශිල්පීන් විසින් නිපදවන ගරා යකුන්ගේ වෙස් මුහුණුවල ප්‍රතිබිම්බයකට සමාන හැඟීමක්. යක්ෂයන්ට අදාළ මිථ්‍යාව පිළිබඳ සංජානනය අපගේ සිත් තුළට ඇතුළු වන්නේ එකී ප්‍රතිබිම්බය නම් වූ ඒදණ්ඩ හරහා යි. දීපවංසය සහ මහාවංසය රචනා වන අවදිය වන විට දකුණු ආසියාව මහත් සංකීර්ණ වූ අන්තර් කලාපීය ප්‍රතික්‍රියා මාලාවකට මුහුණ දෙමින් තිබූ අවදියක්. මෙහි දී විශේෂයෙන් කැපී පෙනෙන්නේ ඉන්දීය සාගරය හරහා ක්‍රියාත්මක වූ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු යි. මධ්‍යධරණී ප්‍රදේශයේ රටවලින් මෙන්ම ඊසානදිග අප්‍රිකානු රටවලින් ද වෙළෙන්දෝ ද එකල මේ තරගකාරි වෙළෙඳාමට අවතීර්ණ ව සිටියා. මේ සියලු දෙනාගේ අවධානය යොමු වූයේ පෙරදිග රටවලින් ලබා ගත හැකි විවිධාකාරයේ වෙළෙඳ භාණ්ඩ වෙත යි. පෙරදිගින් ලබා ගත් ඇතැම් භාණ්ඩ එවක ජාත්‍යන්තර වෙළෙඳාමේ ප්‍රමුඛතාවට පැමිණ තිබුණා. මේ අතර ශ්‍රී ලංකාව වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබුණේ රතු පැහැති මැණික්, ඇතුන් සහ ඇත්දළ පිළිබඳව යි. මෙරට අලි ඇතුන්ගේ බුද්ධිමත්භාවය ගැන කර තිබෙන වර්ණණා විදේශකයන් විසින් ලියා ඇති වාර්තාවල සඳහන් ව තිබෙනවා. අතිශයින් මිල අධික නොවූවත් ශ්‍රී ලංකාවේ රතු මැණික් ආකර්ෂණීය බවත් නක්ෂත්‍රය අවශ්‍යතා සඳහා පැලඳීමට ඒවාට වැඩි ජාත්‍යන්තර ඉල්ලුමක් තිබෙන බවත් එවැනි වාර්තාවල කියා තිබෙනවා. ශ්‍රී ලංකාව හැඳින්වීමට රත්නද්වීප යන නාමය පටබැඳෙන්නේ ද රතු මැණික් සම්බන්ධයෙන් වූ මේ ආකර්ෂණීයත්වය නිසා යි. මෙරටින් අපනයනය කළ කුළුබඩු අතරින් දැනට පුරාවිද්‍යාත්මකව සාක්ෂි ලැබී තිබෙන්නේ ගම්මිරිස් ගැන පමණයි. මැදපෙරදිග සහ ඊසානදිග අප්‍රිකානු රටවල එනම් විශේෂයෙන් ම කඳුකරවාසී අක්සුම් ශිෂ්ටාචාරයට අයත් වෙළෙඳුන් මෙරටට යාත්‍රා නොකළ නමුත් ඔව්හු ඉන්දියාවේ එකල ප්‍රසිද්ධ වරායක් වූ භාරුකච්ඡ (වර්තමාන ගුජරාටයට අයත් බ්‍රෝච්) තෙක් පැමිණියා. එකල ජාත්‍යන්තර වෙළෙඳුන් ශ්‍රී ලංකාව තෙක් නොපැමිණීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ භාරුකච්ඡ, භෝජකටක ආදී ඉන්දීය වරායවලින් වුවමනා තරමින් ලබා ගැනීමට හැකි ව තිබීමයි දකුණු ඉන්දීය වෙළෙඳුන් විසින් මේ අතරමැදි වෙළෙඳාම යහමින් කර ගෙන ගිය බව පෙනෙනවා. දෙවන කාරණය නම් මැදපෙරදිග රටවල සිට කෙළින් ම ශ්‍රී ලංකාවට යාත්‍රා කිරීමට බාධාවක් ව පැවැති ඉන්දීය සාගරයේ කුණාටු කලාපයයි. මේ අතරින් අපේ රටේ ඉතිහාසයට වඩාත් බලපෑමක් ඇති කරන ලද්දේ දකුණු ඉන්දීය වෙළෙඳුන්ගේ ක්‍රියාකාරකම්. මේ වෙළෙඳ අපේක්ෂා නිසා ඔවුන් නිරන්තරයෙන් ම අවධානය යොමු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළේ පිහිටි මාතොට වරාය වෙත වි. ඓතිහාසික මූලාශ්‍රයවල විටින් විට සඳහන් වන දකුණු ඉන්දීය බලපෑම්වලට පදනම් වූ ප්‍රධානතම හේතුව එයයි. මේ තරගකාරී වෙළෙඳාම දේශපාලනික සංවේදීතාවකින් ද යුක්ත වුණා. මාතොට වරායේ පාලනය හිමි කර ගැනීම දේශපාලන බලය හරහා සිදු කළ යුත්තක්. මීට මූලික වූයේ දකුණු ඉන්දීය ජාතිකයන්. එහෙයින්ම ඔවුන් චෝළයේ වුව ද, පාණ්ඩ්‍යයෝ වුව ද, කේරළයෝ වුව ද ශ්‍රී ලාංකිකයන්ගේ පොදු සතුරන් ය යන ආකල්පය පැතිරවීමට සාක්ෂරතාව හිමි ව තිබූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා කටයුතු කළා. උතුරු ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා පමණක් නොව ප්‍රධාන ඓතිහාසික සාධකය ලෙස සලකා ඒ අදහස වර්ධනය කරන්නට උන්වහන්සේලාට පෙලඹවීමක් ඇති කරන ලද්දේ මෙවැනි පසුබිමක්. කළු පැහැති සමක් ඇති ඩ්‍රැවීඩියානු පවුලට අයත් භාෂා ව්‍යවහාරයක් තිබෙන මිනිසුන් බැහැර කළ යුත්තන් සේ සැලකීම නිසා එලෙස කාලවර්ණ සමක් තිබූ ස්වදේශිකයන් ද වංසකථාකරුවන්ගේ ආකල්පමය උදහසට ලක්වීම ස්වභාවික යි. අයහපත් වර්ණය ඇත්තී යන අදහස දෙන කුවේණි යන නම නිර්මාණය කරන්නේ ද වංසකථා රචකයන් තුළ පැවැති මේ අදහස විසින් ම යි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |