![]() ![]() |
||
ජීවිතය දැකීමට වෑයම් කරන කලාවක්!හොඳ නිර්මාණයක් සත්‍යතාවයත් රම්‍යතාවයත් යන ගුණාංග සහිත විය යුතු යි
පැරැණි සාහිත්‍යකරුවන් තම කෘතිවලින් ආගමික භක්තිය නැංවීම (බුත්සරණ අමාවතුර) අරමුණු කර ගත්තත් අද සාහිත්‍ය ඊට වඩා එහාට ගිහින් වඩාත් පුළුල් අරමුණු කෙරෙහි යොමුවෙලා තියෙනව. ඔවුන් සාහිත්‍ය තුළින් ජීවිතය විනිවිද දකින්න වෑයම් කරනව. මිනිස් සිත්සතන් තුළට කිඳා බැස ඒවායේ පවතින කුහක අසද දහම් පිසදා වඩාත් යහපත් ලෝකයක් ගොඩනඟා ගැනීම සඳහා ජීවිතයේ යථාර්ථය වෙත මිනිස් ඇස යොමු කිරීමේ කාර්යභාරය දක්වා ඒ අරමුණු පුළුල් පරාසයක විහිදී යනවා.
සාහිත්‍ය නිර්මාණවලදී නවකතා හා කෙටිකතා ඒ නිමවුම්කරුවන් බෙහෙවින් වස්තු විෂය කොට ගන්නේ ජීවිතය හා එහි ඇති විවිධ සංකීර්ණතා ය. ඇත්තෙන් ම හොඳ සාහිත්‍ය නිර්මාණයක ප්‍රධාන අරමුණු විය යුත්තේ සහෘදයා වෙත ඉහළ මට්ටමේ රස වින්දනයක් හා ඒ හරහා ජීවිතාබෝධයක් ලබා දීමයි. ඇමෙරිකානු කවියකු වූ රොබට් ෆොස්ට් කියන විදියට ආනන්දයෙන් ප්‍රඥාව වෙත සහෘදයා කැඳවා ගෙන යාමයි. ඒ සඳහා කර්තෘවරුන් තෝරා ගන්නේ අප කලින් සඳහන් කළාක් මෙන් දුක් කන්දරාවන් ගෙන් හා සංකීර්ණ ගති ස්වභාවයෙන් පිරි ගිය ජීවිතයයි. ඔවුන් වෑයම් කරන්නේ පුහුදුන් මිනිසා තුළ පවත්නා නිම නොවන ආශාව. සටකපට බව, දුරාචාරය, ආදරය, වෛරය, පළිගැනීමේ ආශාව, ප්‍රචණ්ඩත්වය, ඉවසීම, දරා ගැනීම, අපේක්ෂා භංගත්වය, ආදි මෙකී නොකී දහසකුත් ධර්මතා දෙස උපෙක්ෂා මනසකින් බලමින් ඒවා විශ්ලේෂණය කොට දැක්වීමටයි. වෙනත් වචනවලින් කිවහොත් ඔවුන් ජීවිතය දැකීමට වෑයම් කරනව. එහෙත් මෙහිදී කතුවරයා තමා මවන චරිත හෝ සිදුවීම් පිළිබඳව විනිශ්චය නොකිරීමට පරෙස්සම් වෙනවා. කලාකරුවා අපක්ෂපාත නිරීක්ෂයකු මිස විනිසුරුවකු නොවන්නේ යැයි ඊ. ඇම්. ෆෝස්ටර් කියන්නේ ඒ නිසයි. එයින් සහෘදයාට ලැබෙන ජීවිතය පිළිබඳ අව්‍යාජ ස්වභාවය අවබෝධ වීමෙන් ඔහුට මෙතෙක් කොටු වී සිටි නිසරු ලෝකයෙන් සරු ලොවක් වෙත මාරු වීමට ඉඩකඩ ලැබෙනවා. හොඳ සාහිත්‍ය කෘතියක් කියවන සහෘදයා එහි ඇති චරිත ක්‍රියා කරන ආකාරය විමසිල්ලෙන් දකිනවා. ඒ චරිත තමා අභිමුවට එන ගැටලුවලට මුහුණ දෙන ආකාරය සහෘදයාගේ ආකල්පවල වෙනසක් ඇති කිරිමට බලවත් සේ බලපානවා. එයින් සාහිත්‍යකරුවාගේ අරමුණ ඉටු වීමට මඟ පෑදෙනවා. පාඨකයා තුළ ද ආකල්පමය වෙනසක් ඇති වෙනවා. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ ඒ නිර්මාණ පටු හා තාවකාලික ලාභ ප්‍රයෝජන නොතකා උතුම් මිනිස් ධර්මතා හා බැඳි සර්වකාලීන හා සර්ව භෞමික අගයක් ගන්නේ ද යන්නයි. එසේ වී නම් එම නිර්මාණ අද්‍යතන සමාජයට වගේ ම ගණ කැලෑවෙන් වැසුණු අප්‍රිකාවටත්, සීතල හිමෙන් පිරිණු යුරෝපයටත්, දීප්තිමත් හිරු එළියෙන් බබළන ආසියාවටත් එකසේ පොදු අනුභූතින් බවට පත්වී කාලය හා දේශය ඉක්මවා යනවා. එහෙත් අද බිහිවන නවකතා හා කෙටිකතා අතුරින් කීයක් මේ ගණයට ඇතුළු වෙනවාදැයි යන්නත් සිතිය යුතු කාරණයක්. එවැනි ඇතැම් නවකතා ඕලාරික ප්‍රේමය විදහා දක්වන භාවාතිෂය ප්‍රේම යාදිනි. ඇතැම් විට පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට ලියන ලද වාර්තා ය. ඇතැම් ඒවා ව්‍යාජ සිදුවීම්වලින් ගහණයි. සිදුවීම්වල හේතුඵල සම්බන්ධයක් ඇත්තේ ම නැත. භාෂාවෙ කිසිම රම්‍යතාවයක් නැත. කතාවට අනවශ්‍ය දේවලින් පිරී පවතී. පාඨකයා තුළ කිසිදු කම්පනයක් ඇති කිරීමට අපොහොසත් වෙයි. නිර්මාණයක තිබිය යුතු විශේෂ ගුණාංග දෙකක් ගැන විචාරකයන් අවධාරණය කරනවා. පළමුවැන්න රම්‍යතාවය යි. දෙවැන්න සත්‍යතාවය යි. කතා වස්තුව පිළිගත හැකි සිදුවීම් සමඟ රම්‍ය වූ පසුබිමක පිහිටුවීමක් මෙයින් අදහස් කෙරෙනවා. තමාට අතට පත් වූ ආධුනික ලේඛකයකුගේ නවකතා පිටපතක් කියවූ ප්‍රවීණ ලේඛකයකු වූ සැමුවෙල් ජොන්සන් ඒ ලේඛකයාට පවසා ඇත්තේ ඔහුගේ කෘතිය අගනා හා නිර්මාණාත්මක එකක් වුවත් එහි අගනා කොටස් නිර්මාණාත්මක නොවීමත් නිර්මාණාත්මක කොටස් අගනා නොවන බවත් ය. එහෙත් මෙවැනි ගුණාංග සහිත නවකතා ලොවෙහි ලියවී තිබෙනවා. මැඩම් බොවරි එවැනි නවකතාවක්. එය 1856 දී ප්‍රංශ ලේඛක ගුස්ටායා ෆ්ලෝබෙයාර් විසින් ලියන ලද්දක්.
අවුරුදු පහකට ආසන්න කාලයක් වෙහෙසී ලියන ලද මේ නවකතාවේ මධ්‍යකාලීන පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ජීවිත හෙතෙම විවරණය කරන්නේ වසර සිය ගණනක් ජීවත් වී අත්දැකීම් ලැබුවකු ලෙසින්. එමාගේ ගවුමේ වාටිය පෑගුණ විටක පණ ඇති සතකු පෑගුණ කලක මෙන් පය ඉවතට ගන්නා ලියොන් (ඇගේ රහස් පෙම්වතා) දිගින් දිගිට ම එමා රවටමින් ඈ හා රමණයේ යෙදෙයි. බොරු කියා තම සැමියා රවටමින් මුදල් වියදම් කරමින් තම නිවස වෙන්දේසියේ විකිණෙන තෙක් සොර සැමියන් පසුපස යන එමා නරක ගෑනියකැයි හඳුන්වා දීමෙන් කර්තෘ වැලකෙයි. ඇය පාඨකයාගේ අනුකම්පාවට අසු කරයි. ෆ්ලෝබයාර් මේ චරිත, ජීවිතයේ සංකීර්ණ අහුමුළු විනිවිද දකියි. පාඨකයාගේ ඇස ද ඒ දෙසට යොමු කරයි. මේ චරිත එදාට මෙන්ම අදට ද වලංගු වෙමින් සමස්ත නවකතාව කාලය හා දේශය ඉක්මවා යයි. පාඨකයා සිතන්නේ එමාගේ වරද නිසා චාල්ස්ට ද දිවි අහිමි වූ බව ය. එහෙත් එයට ඉඩ නොතබමින් එමාගේ මුවට කර්තෘ නංවන මේ වදන් බලන්න. “ඔහු විනාශ කිරීමෙන් පසුවත් ඔහු මට සමාව දෙනවා ඇති. ලක්ෂයක් දුන්නත් මම නම් කිසිම දේකට කිසිම දාක ඔය මිනිහාට සමාව දෙන්නේ නැහැ. ප්‍රංශයේ මධ්‍යම පාන්තික අතෘප්තිමත් බිරියකගේ අභ්‍යන්තරය විනිවිද යමින් ෆ්ලෝබයාර් කොතරම් දක්ෂ ලෙස තම කාර්ය ඉටු කර ඇත්ද යත් එකල ප්‍රංශකාරයන් එමා සොයමින් වෙහෙසුණු බව ඔහු කියන්නේ මුවඟට නඟාගත් සිනාවක් ඇතිවයි. මෙවැනිම තවත් ඉහළ ගණයේ නවකතාවක් වන්නේ රුසියාන් ලේඛක පියඩෝර් ඩොස්ටෙව්ස්කි විසින් 1821 දී ලියන ලද ‘අපරාධය සහ දඬුවම’ ය. ඔහුගේ ඒ නවකතාව මිනිසුන්ගේ හද අභ්‍යන්තරය එළියට ඇද දැක්වීමට එලන ලද සියුම් දැලක් වගේ. ණය බරින් මිරිකෙමින් සිටි රැස්කොල්නිකොව් නම් සරසවි සිසුවා ඇලීනා නමැති පොලීකාර මැහැල්ලත් ඇගේ සොහොයුරිය එළිසැබෙත් ද පොරොවෙන් ගසා මරා දමයි. එම වදරකට ඔහු නීතියට අසු කරගැනීමට අසීරු වුවද මුළු ජීවිත කාලය තුළ ම දුක් විඳිමින් ඒ සඳහා වන්දි ගෙවයි. අපරාධ හා එයට පෙලඹෙන්නන් පිළිබඳ ව ගැඹුරින් විග්‍රහයකට කැඳවන මේ නවකතාව පාඨකයාගේ උපේක්ෂාවට යටත් ව අදාළ හේතු විග්‍රහ කරන අයුරු මනරම් ය. රහස් පරීක්ෂකයන්ට අපරාධකරුගේ සුලමුල සොයා ගැනීමට නොහැකි ව සිටිද්දී රැස්කොල්නිකොව් තම අපරාධය හෙළි කරන්නේ තමා මෙන්ම අඳුරු පැත්තේ සිටින සෝනියා නම් ගණිකාවකට ය. සෝනියා තම සිරුර අලෙවි කරන්නේ තම දිළිඳු දෙමාපියන් රැකබලා ගැනීමට ය. ඩොස්ටොව්ස්කි රැස්කොල්නිකොව් ලවා ඇයට වන්දවා මෙසේ කියවයි. “මා නමස්කාර කරන්නේ ඔබට නොව ඔබ තුළ දුක් විඳින මනුෂ්‍යාත්ම භාවයටය. 1910 දී රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත ‘ගෝරා’ නවකතාව ද මනුෂ්‍යත්වය බේද භින්න කිරීමට ලොව ගොඩනැඟී ඇති තහංචි හා සීමා කඩා බිඳ හෙළමින් මිනිස්කමේ අගය කියාපාන නිර්මාණයක්. ගෝරා නවකතාවේ කතා නායකයා උග්‍ර හින්දුවාදියෙක්. හින්දු නොවන අය පහත් කොට සලකන්නෙක්. අන්තවාදී හින්දු මත හා චාරිත්‍රවලින් හිස පුරවා ගෙන උද්ධච්ච ලෙස හැසිරෙන ගෝරාගේ අවසානය ඉතා දුක්මුසු ය. ඔහු හින්දුවෙක් නොව හින්දු පවුලකටවත් අයත් නොවන අවජාතක දරුවකු බව අවසානයේදී හෙළි වෙයි. ඔහුගේ පියා යුද සෙබළකු වන අතර මව අයිරිෂ් ජාතික කාන්තාවක්. ඉන්දියාවේ පවතින අන්ත කුලවාදයට පා පහරක් දෙමින් තාගෝර් ගෝරා ගැන කියන දේ බලන්න. “තම ජිවිතය පියුම් පතකට වැටී ලිස්සා යන දිය බිඳකැයි ගෝරාට සිතිණ. දැන් ඔහුට මවකු නැත. පියකු නැත. ඔහුට රටක් නැත. ඔහුට ජාතියක් නැත. දැන් ඔහුට නමක් නැත. ඔහුට දෙවියකු ද නැත. දැන් ඔහු නැත නැත යන එකම වචනයෙන් වට කරගෙන ය.” ටොල්ස්ටෝයි 1820 - 1910 ලියන ලද ‘ඇනා කැරනිනා’ නවකතාවෙන් ද නවකතා නිර්මාණ ගැන යමක් දැන ගත හැකියි. අනියම් පෙමක පැටලුණ විවාහක ළඳක් වන ඇනා තම පෞද්ගලික ජිවිතයේ මුහුණ දෙන ගැටලු තුළින් ඔහු එකල සෝවියට් රුසියාවේ මධ්‍යම පාන්තික ගති ලක්ෂණ මතු කරයි. තම සතුට හා අවංකකම සඳහා කැපවීමට අසමත් වන ඇනා අවසානයේ දිවිනසා ගනියි. ඇය දිවිනසා ගන්නේ දුම්රියට පැනීමෙන්. 19 වැනි ශත වර්ෂයේ රුසියානු සමාජ ක්‍රමය හා පොදු මිනිස් සබඳතා ගැන ඇනා කැරනිනා වෙතින් ඔහු මවන චිත්‍රය විශාල කැන්වසයක ඇති සිතුවමක් වගෙයි. එමෙන්ම මැක්සිම් ගොර්කි (අම්මා), නිකොලොයි ගොගොල් (මළ මිනිස්සු) ඇන්ටන් චෙකොව් (ගුසෙෆ්), ගී ද මොපසාන්ට් (මාලය), ඇලෙක්සැන්ඩර් ඩූමා (මෙන්ට්‍රික්‍රිස්ටෝහි සිටුවරයා), එමලි බ්‍රොන්ටේ (වෙදරින් හයිට්ස්), හෝල් කේන් (නාසිකාර පුත්‍රයා), චීනුවා අචිබේ ආර්. කේ. නාරායන් (උපාධිධාරියා) අරුන්දතී රොයි කමලා දාස් තස්ලිමා නස්රින් (ලජ්ජා) ඉසබෙල් අයින්දේ (පොලා) චිමන්දා නගොෂි අඩිචි (හිරුගෙන් අඩක්) යන ලේඛක ලේඛිකාවන් කාලය දේශය ඉක්මවා යන පුළුල් වස්තු විෂය හා තේමාවන් තම නිර්මාණ සඳහා භාවිත කළා. සුලබ වස්තුන් හා අනුභූතින් භාවිතය, අඩු අත්දැකීම්, දිළිඳු ප්‍රතිභාව, කෘත්‍රිම දෙබස්, හේතුඵල සම්බන්ධය ගිලිහීම, අනවශ්‍ය විස්තර යෙදීම, සංස්කරණයෙහි පසුබටවීම (ටොල්ස්ටෝයි තම ඇනා කැරනිනා සඳහා වසර දෙකක් ද යුද්ධය හා සාමය සඳහා වසර හතක් ද ගත කළා) ලිංගිකත්වය බලෙන් යෙදීම, නිර්මාණය ප්‍රහේලිකාවක් කිරීම, නිර්මාණයේදී අනවශ්‍ය හදිසි බවක් දැක්වීම හා සම්මාන සඳහා තදියමින් ලිවීම, නිර්මාණයක් දුර්වල තත්ත්වයට ඇද දැමීමට ප්‍රබල ලෙස හේතු වන බව පැහැදිලිව පෙනෙන කරුණු ය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |