![]() ![]() |
||
ඛලීල් ජිබ්රාන් ගේ ‘ඉසිවර උපදේශ’ කෘතියත් අතැති ව ජීවිතයේ විවිධ මාන පිළිබඳ ලියැවුණු ඉසියුම් මානව චින්තාවන් කියවමින්, විඳිමින්, කල්පනා කරමින්, නැවත කියවමින් සිටියෙමි. ඒ සියුම් චින්තාව පිළිබඳ ම සිත ප්‍රශ්න කරයි. තොරතෝංචියක් නැති ව අනෙකාගේ අඩුපාඩු ම කියවන කලබලකාරී චරිතයක දර්ශන මාත්‍රයක් මා ඉදිරියේ පෙනී නොපෙනී යයි. මේ ජීවත්වෙන කෙටිකාලය ඇතුළත අප අන් අයගේ අඩුපාඩු ම කතා කරන්නට වැය කරන කාලය කෙතරම් ද? හැරී බලන්න ඔබේ ජීවිතය දෙස, ඔබේ දින චර්යාව දෙස. එවිට ඔබට පෙනේවි ඔබ ඉදිරියේ තවත් කෙනකුගේ දහසකුත් අඩුපාඩු ම දකින බොහෝ හිස් චරිත. ඔවුහු නොනවත්වා ම කතා කරති. බොහෝ කතා කිරීම නිසා බොහෝ දේ අහිමි කර ගනිති. ඔබ තවත් කෙනකු දෙස බලන්නේ කවර හැඟීමකින් ද? ඔහු හෝ ඇය පිළිබඳ පූර්ව විනිශ්චයකින් ද? ඒ විනිශ්චය ගොඩනැඟුණේ කෙසේ ද? එය තවකකු විසින් පවසන ලද්දක් ඇසුරෙන් විය හැකිය. එසේත් නැතිනම් ඔබ ම විසින් ආශ්‍රය කිරීෙමන් හෝ දැනීමෙන් උකහා ගත්තක් විය හැකි ය. කුමක් වුවත් ඔබට තව කෙනකු ගැන නිවැරදි විනිශ්චයකට එළැඹිය හැක්කේ අනෙකකුගේ මතින් නම් නොවන බැව් ම සිත කොඳුරයි. මේ ලොව පිරී ඇත්තේ ඛලීල් ජිබිරාන් පවසන පරිද්දෙන් ම අනෙකා විවේචනය කරන්නන්ගෙනි. ඒ විවේචන ගොඩනැඟෙන්නේ පුද්ගල රුචි අරුචිකම් මත පමණක් නොව තළා පෙළා දැමීම් හා නොතකා හැරීම් ද මතිනි. එක් අයකුට ඇඟිල්ල දිගුකරද්දී තමන් දිශාවට ඇඟිලි හතරක් යොමු වී ඇති බැව් නොදන්නා කමින් මේ සමාජය කෙතරම් ගිලන් වී ද? ජීවිතය යනු අනෙකා මත තීරණය වන්නත් නොවන බැව් වටහා ගන්නට ඔබට අසීරු නැතැයි සිතේ. අනෙකාට ගරු කරන තවකකු ගේ හැකියාවන්, ශක්‍යතාවන් අගය කරන පුද්ගලයෝ මේ ලොව විරල වෙත්. හොඳ දේ විරල නොවුවහොත් හොඳ දේහි අගය දැනෙන්නේ කෙලෙස ද? නරක අතරෙහි ය හොඳ වඩාත් දීප්තිමත් ව බැබළෙන්නේ. එහෙත් එය සෑම විට ම ප්‍රායෝගික ද? මට කොසොල් රජු දුටු සිහිනයක් සිහිපත් වේ. හොඳ නරක පිළිබඳ ගැටලුව මතු වූ මේ මොහොතේ එය සමහන් කිරීම යෙහෙකැයි සිතෙන්නේ යම් බඳු කාල වකවානුවක මෙය මෙසේ වන්නේ ය යනුවෙන් බුදුන් අනුදත් ධර්මයේ සඳහන් ව තිබීම යම් පමණකට හෘදය සාක්ෂ්‍යයේ නිරවද්‍යභාවයෙහි වටිනාකම පසක් කර දෙන බැවිනි. ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, හිස් වූ වියළි ලබු ජලයේ පා නොවී පිරුණු බර දෙයක් මෙන් දියේ ගිලෙනු දුටුවෙමි’ ‘මහරජ මතුයම් දවස සුදුස්සාට සුදුසු තැන නොදීම හේතුවෙන් හිස් වාචාල කතාවලින් මුළු සමාජය ම පිරී යයි. අරුත් සුන් බොහෝ දෑ හැම තැන ම සිදු වේ. එකල්හි මිනිසුන්ගේ සිත් ද හිස් බව නිසා ම අර අරුත්සුන් හිස් දෑ අරුත්බර ක්‍රියා සේ දැනෙන්නට පටන් ගනී. හිස් බව නොතේරේ. මෙකල ගොඩනැඟෙන අරුත් සුන් හිස් දෑ පිළිබඳ ව එකල පැවැසූ අන්දම අරුමයක් නොවේ ද? හිස් වාචාල නිශ්ප්‍රභ දේ නොවේ ද අද සමාජය අරක් ගෙන සිටින්නේ. එපමණක් ද? ඒ හිස් අරුත් සුන් දෑ සංයමයකින් තොර ව ප්‍රකාශ කිරීමෙන් අනෙකා ගැන කියන්නට ගොස් තමා හිස්වන පුද්ගලයන් සමාජය විසින් පිළිගන්නා තාක් කල් හිස් වියළි ලබු දිය යට යන්නා සේ සමාජය ඔබ ද අපහසුතාවට පත් නොකරාවි යැයි කිව හැක්කේ කාට ද? එහෙත් ම සිත මෙසේ පවසයි. තමන් සතු සියලු දේ අහිමි වුව ද ගරු කටයුතු පුද්ගලයා කැලඹීමට පත් නොවන බවත් මුදල් හෝ වස්තුව වූ කලී ඔහු එතරම් උනන්දුවක් නොදක්වන වැදගැම්මක් නැති සිය අවැසිතාවනට ඉතා බැහැරින් පවතින දෙයක් බවත් නොවේ ද සත්‍යය. ඛලීල් ජිබ්රාන් ගේ වදන් නැවත ම සිත පුරා දෝංකාර දෙයි. කෙනකු තව කෙනකු ව විවේචනය කරද්දී ඔබට එය නොඇසුණා සේ වෙනත් කල්පනාවක ගිලී සිටිය හැකි නම්. නිමක් නොවන මනෝභාවයෙක සිරවී සිටිය හැකි නම්, ඒ අකීකරු අසංවර දෙඩවීම් ඔබට නොඇසෙනු ඇත. සැබවින් ම මා දන්නා පමණින් කිසිවකුට තවත් කෙනකුට ඇඟිල්ල දිගු කළ නොහැකි ය. පව් නොකළ යමෙක් වෙතොත් පළමු ගල ගසන්නැයි ජේසුස් වහන්සේ ද පවසන්නේ එබැවිනි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |