බස් ළැදියෝ කවරහු ද?
බස් ළැදියෝ
කවරහු ද?
මවුබසට ළැදි, අප ද එ සේ බැවින් අපට ද සිතැති, මෙ තතු හෙයින් ම අපගේ ද
හරසරයට නිබඳ බඳුන් වන ඇතැම් දෙටු වියත් සුරුවකු නිතැත් වහර පිරික්සුමෙහි ලා
අප තැත දැක තරමක් මුසුප්පු ව ගොස් ඇති සෙයකි. ‘එක’ බඳු ඈඳුම් පද කෙරෙහි අපගේ
නැමිසුලු බව එයට හෙය වෙයි. ඒ පද සහිත වදන් අමිහිරි බව ය ඔවුන්ගේ අදහස.
‘බස් එකට’ වඩා ‘බසය’ මිහිරි බව අපි දු පිළිගනුමු. ඒ වුව බසය මෙහි ඇදෙන කල
තතුවත්, අද තතුවත් කෙසේ සමයන්න ද... අහසට පොළොව සේ ය!
මෙතෙක් කරුණු සිදු වෙමින් එන යුරු ඉකුත් පෙබරවාරි 22 ලිපිය මඟින් අපි පිඬු කොට
දැක්වූමු.
ඒ අවසන ‘පවත්නා සම කල් වහර ඒ හැටියෙන් ම පිළිගත යුතු ය’ බඳු සම්ප්‍රදාය විරෝධ
මතයකට අනුබල නොදෙනු පිණිස නිතැත් වහර සියුමු ව නිරික්සුම ද, එහි ලකුණු
හැඳිනගැන්ම ද, එ ලකුණු සියබස් නියර තුළ පිහිටන නොපිහිටන බව පිරික්සුම ද යන
තුන් පියවරින් ඇති තතු විමසූමු.
මේ නිරික්සුමෙහි පල අනුව ‘මෙ තෙක් කරුණු සිදු ව ඇති පිළිවෙතට නො එකඟ බවක් නව
තතුවෙහි නුදුටු’ අපි විසැඳුම ‘කාලයා’ වෙත ම ඉතිරි කළමු.
මෙය ‘වන්නක් වේ වා!’ යි අත් බැඳ දෑස පියා උකටලී ව සිටුමක් සේ වරදවා ගත යුතු නැත.
දරුවකු යන මඟ වැරැදි නම් එය නිවරද කරනු විනා, ඔහු අපට ඕනෑ අතට ම යැවීමට තැත්
දැරුම එකඟ වනුයේ කවර දහමට ද? බසට ද එ සේ ම ය.
එ ගැන එ පමණි.
කට වහරට සබල වියරණයක් පවතී. එය ගත් වහර සකසා මතු කැරැගත් ‘මා - යනවා’ අන්දමේ
එකක් නො ව, ඊට ම අනුහුරු ලකුණු දරන්නකි.
මෙ ලකුණු නොහැඳින කට වහර මත ගත් වහර පටවනුව තැත් දැරුම නිඹුල් දරුවන්
දෙදෙනකුගෙන් එකකු යන මඟ පසසා අනෙකා ද එ අතට ම යවන්නට වෑයම් කිරීමක් නො වේ ද?
නො දරුවකු ‘මා යමි’ යි ලියනු දුටු කල ළඟට ගෙන හිස අත ගා සෙනෙහසින් වරද වටහවා
දීමත්, ඒත් සිතට නොගනිතොත් සුදුසු සැටියකින් ම ඔහු හරි මඟට දැක්කීමත් එකකි.
නිසි අරුත් වැසි අරුත් දනවමින්, වක්කඩක් කැඩුවා සේ නිදහසේ බෙණෙමින් සිටින්නකු
වළක්වා ‘හා හා! ඇතෙක් බරට වස්තුව නො වේ; ඇතකු බරට වස්තුව!’ යි ඔහුගේ කියමනක්
‘නිවරද’ කරන්නට මැදිහත් වීම ඉඳුරා ම අනෙකකි.
බස් ළැදියෝ නම් මේ වහර මිහිර නිසි යුරු හඳුනන්නෝ ම වෙති.
ජයත් පියදසුන්
|