කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
 ඖෂධ අලෙවි ක්ෂේත්‍රයේ රැකියාවලට බලපෑමක් නෑ

 ආර්ථික සංවර්ධන

ඖෂධ අලෙවි ක්ෂේත්‍රයේ රැකියාවලට බලපෑමක් නෑ

ඖෂධ වෙළෙඳ ක්ෂේත්‍රය පිළිබඳව අප රටේ ජනතාව තුළ ඇත්තේ ඉතා අප්‍රසන්න හැඟීමකැයි කීම නිවැරදිය. ඒ සඳහා විශේෂයෙන් ම බලපා ඇත්තේ මෙම ක්ෂේත්‍රය තුළ ඖෂධ මාෆියාවක් ඇතැයි නිතර නිතර මාධ්‍ය මඟින් හඳුන්වාදීමය; නැතහොත් මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සමාන වෙළෙඳාමක් ලෙස ඖෂධ වෙළෙඳ ක්ෂේත්‍රයට හැඳින්වීම පුරුදු වී තිබීමය. එය කොතරම් සාධාරණ ද යන්න මැනැවින් විමසා බැලිය යුතු කරුණකි.

නව ඖෂධ සොයා ගැනීම පිළිබඳව පර්යේෂණ බහුතරයක් සිදු කැරෙන්නේ ඇමෙරිකාව, එංගලන්තය, ස්වීඩනය වැනි දියුණු බටහිර රටවලය. ඒ සඳහා එම රටවල ඖෂධ සමාගම් ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරයි. මේවා ඇතැම් විට වසර 9 - 12 අතර කාලයේ ගත විය හැකි පර්යේෂණයි.

Innovator drugs ලෙස හඳුන්වනු ලබන්නේ එලෙස සොයාගනු ලබන ඖෂධය. මෙලෙස යම් ඖෂධයක් සොයා ගන්නා සමාගමකට එම ඖෂධයේ පේටන්ට් අයිතිය ලැබෙන්නේ වසර 15 ක් වැනි කාලයකටය. මෙම වසර 15 ගණන් ගැනෙන්නේ ඖෂධය සොයාගත් දිනයේ පටන්ය. කිසියම් නව ඖෂධයක් සොයා ගෙන එය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා අවම වශයෙන් වසර 9 ක කාලයක්වත් ගත වේ. ඒ අනුව කිසියම් නව ඖෂධයක අයිතිය එය සොයාගත් සමාගමට ප්‍රායෝගිකව ලැබෙන්නේ වසර 5 ක් 6 ක් වැනි කෙටි කාලයකි. එම කෙටි කාලය තුළ ඖෂධය සොයා ගැනීමට වසර 9 - 12 අතර කාලයක් ගත කරමින් වැය කළ ඩොලර් මිලියන ගණනක මුදල උපයා ගැනීමට එම සමාගමට සිදුවේ. මූලික ඖෂධ සමාගම් විසින් නිපදවනු ලබන ඖෂධවල මිල ඉහළ අගයක පවතින්නේ ඒ නිසාය.

ඖෂධයක පේටන්ට් කාලය ඉකුත් වූ පසු එම ඖෂධය වෙනත් ඕනෑම ආයතනයකට නිපදවී‍ෙම් හැකියාව අත්වේ. මූලික ඖෂධයේ රසායනික දත්තයන් අනුගමනය කර නිපදවනු ලබන එම ඖෂධ Genaric drugs ලෙස හඳුන්වනු ලැබේ. මූලික පර්යේෂණ පිරිවැයක් නොදරන නිසා එම ඖෂධ අඩු මිලකට ලබා දිය හැකිය. මෙම ඖෂධ සමාගම්වලින් ඖෂධ ලබාගත් විට අප රටේ ජනතාවට පහසු මිලට ඖෂධ ලබා දිය හැකිය. මෙම සමාගම්වලින් ඖෂධ මිලදී ගැනී‍ෙම්දී එම සමාගම් තම ඖෂධ නියම ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන්නේ ද යන්න අධීක්ෂණය වැදගත්ය.

එහෙයින් අප රටට ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවලින් ඖෂධ ගෙන ඒමේදී එම ඖෂධ නිපදවන සමාගම් නියම ප්‍රමිතීන්ට අනුව ඖෂධ නිපදවන්නේ ද යන්න ද සොයා බැලීම ඉතා අවශ්‍යය. එසේ නොවුණහොත් අප රටේ අසරණ රෝගීන්ට සිදුවන්නේ පහසුමිලට වස ගිලීමටයි.

ආරක්ෂාව (Safety), ක්‍රියාකාරිත්වය (efficiancy) සහ තත්ත්වය (quality) යන ප්‍රධාන අවශ්‍යතා ත්‍රිත්වය සම්පූර්ණ කැරෙන්නේ නම් අප රට තුළ ඖෂධයක් ලියාපදිංචි කිරීමේ හැකියාව ඇත. එහි ප්‍රතිඵලය වන්නේ එකම ඖෂධය වෙළෙඳ නාම ගණනාවකින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට පැමිණීමය. ඒ සමගම එම එක ම ඖෂධයට වෙළෙඳ පොළෙහි තරගයක් ඇතිවේ.

එකම ඖෂධයකින් වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි ඖෂධ වෙළෙඳ නාම ගණන සීමා කළ යුතු බව නව ඖෂධ පනතෙන් නිර්දේශ කර තිබේ. එහෙත් මෙහිදී ක්‍රමවේදයක් සකස් නොකළහොත් ගැටලු මතුවීම වැළැක්විය නොහැකිය. එකම රසායන ද්‍රව්‍ය අඩංගු ඖෂධය වෙළෙඳනාම 20 ක් 25 ක් වෙළෙඳපොළෙහි ඇති විට ඒ අතරින් යෝග්‍ය ඖෂධය තෝරා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සැකසීම අත්‍යවශ්‍යය. මෙහිදී එක් අතකින් මිල ගණන් අනුව ඖෂධ තෝරාගත හැකිය. නැතහොත් හොඳම සමාගම්වලින් නිපදවන ඖෂධ පමණක් ‍තෝරාගත හැකිය. එසේත් නැති නම් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ අනුපිළිවෙළ අනුව ඖෂධ තෝරාගත හැකිය. කෙසේ හෝ එම තෝරා ගැනීම විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතුය.

ලංකාව තුළ ලියාපදිංචිය සඳහා ඖෂධ තෝරා ගැනීමේදී “අවශ්‍යතාව” (need) අනුව ඖෂධ තෝරා ගත යුතු බව නව ඖෂධ පනතේ දැක්වේ. මෙම “අවශ්‍යතාව” යන්න යමකුගේ පුද්ගලික කැමැත්ත, පක්ෂග්‍රාහිත්වය මත තීරණය වීමට ඉඩ ඇත. එබැවින් (need) යන්න නිර්වචනය කර පනතේ අන්තර්ගත විය යුතුය. එම නිර්වචනය අනුව අවශ්‍ය ඖෂධ තෝරා ගැනීම සඳහා පිළිගත හැකි කණ්ඩායමක් සිටිය යුතුය. එය නිවැරදිව සිදු වුවහොත් අපේ රටට අත්‍යවශ්‍ය නොවන ඖෂධ පැමිණීම වැළැක්විය හැකිය. දැනටමත් ක්‍රියාත්මක වන අප රටේ ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය නොවන ඖෂධ ලියාපදිංචි වෙනවා අඩුය.

ඖෂධ අලෙවිසලකින් ඖෂධ නිකුත් කිරීම පිළිබඳව නව පනතින් ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය කිසියම් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරන බව පෙනී යයි. දැනට පවතින ක්‍රමයට අනුව ඖෂධ බෙදා හරින්නන් විසින් ෆාමසි වලට ඖෂධ ලබා දෙන්නේ ඖෂධ විකිණීමෙන් 5% - 10% ලාභයක් අලෙවිහලට ලැබෙන පරිද්දෙනි. එය නිත්‍යානුකූල ක්‍රියාවකි. මෙහිදී වැඩි ලාභයක් අලෙවිහලකට උපයා ගත හැකි වන්නේ වැඩියෙන් ඖෂධ විකිණීමෙනි. එහිදී ඖෂධ වට්ටෝරු නැතිව ඖෂධ නිකුත් කිරීමට ද ෆාමසි හිමියෝ පෙලඹෙති.

නව පනතට අනුව රෝගියකු විසින් රැගෙන එන ඖෂධ වට්ටෝරුවකට ෆාමසියක සිටින ඖෂධවේදියා විසින් ඖෂධයක් නිකුත් කළ විට ඒ සඳහා කිසියම් ගෙවීමක් එම ඖෂධ නිකුත් කිරීම වෙනුවෙන් ඖෂධවේදියාට ලැබිය යුතුය. මෙය දියුණු රටවල ද අනුගමනය වන ක්‍රමයකි. වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වට්ටෝරුවක් නැතිව ෆාමසිවලින් ඖෂධ ලබාගැනීමේ ක්‍රමය මේ මගින් අහෝසි වී යනු ඇත. එසේ වුවද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සුවිශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතුය. එසේ නොවුණහොත් මතු වන්නේ ගැටලු සහගත තත්ත්වයකි.

නව ඖෂධ පනත නිසා ඖෂධ අලෙවි ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටින ඇතැමුන්ගේ රැකියා අහිමිවේද යන සැකය මතුවී ඇත. මෙය විමසිල්ලට ලක් කළ යුතු කරුණකි.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ ප්‍රමාණයෙන් 60% ක්ම ගෙන්වන්නේ රජය මඟිනි. පෞද්ගලික අංශය මඟින් ආනයනය කරනු ලබන ඖෂධ ප්‍රමාණය අඩු වුවද ඔවුන් ගෙන්වන්නේ වෙළෙඳ නාම යටතේ ලියාපදිංචි වී ඇති ඖෂධය. මෙම ඖෂධ රෝගීන් හට නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන් වෙත ගොස් ඒ සඳහා වෛද්‍යවරුන් උනන්දු කළ යුතුය. එය ඉතා වැරදි සහගත දෙයක් ලෙස ඇතැමෙකුට පෙනී ගියද ඖෂධ ව්‍යාපාරයේ ස්වභාවය එයය.

එකම රසායනික ද්‍රව්‍ය ඇති ඖෂධයක් කීප දෙනෙක් නිෂ්පාදනය කරන විට ඖෂධයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වෙළෙඳ නාම භාවිතා කිරීම සිදුවේ. එසේ වුවද ඖෂධ පිළිබඳ වෙළෙඳ දැන්වීම් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට අවසර නැති නිසා එම ඖෂධය පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කළ යුතු වන්නේ වෙළෙඳ නියෝජිතයකු වෛද්‍යවරයා වෙත ගොස් ඒ පිළිබඳව පහදා දීමෙනි. එබැවින් නව ඖෂධ පනත නිසා ඖෂධ අලෙවි නියෝජිතයින්ගේ හෝ ඖෂධ ව්‍යාපාරයට සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නිරතව සිටින අයකුගේ හෝ රැකියාව අහිමි වීමේ අවදානමක් ඇතැයි සිතිය නොහැකිය.

ඖෂධයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර නිෂ්පාදන කාර්යයේදී සුවිශේෂී අධීක්ෂණයන් යටතේ එය සිදු වේ. එසේ වුවද ඖෂධයක් වෙළෙඳපොළට පැමිණියාට පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සක්‍රීය යාන්ත්‍රණයක් ඇති බව නොපෙනේ. නව පනතින් මේ පිළිබඳව වඩා අවධානයක් යොමු වන්නේ නම් ඉතා යෝග්‍යය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]