කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නව ඖෂධ ප්‍රතිපත්තියේ වාසිය රෝගියාට

ආර්ථික සංවර්ධන

නව ඖෂධ ප්‍රතිපත්තියේ වාසිය රෝගියාට

ඖෂධ පනත සම්මත වූ පසුව ඒ පිළිබඳව සමාජයේ බොහෝ තැන්වලින් විවිධ අදහස් පළ වන්නට පටන් ගත්තේය. කෙනෙක් එහි ගුණ වැනූහ. තවත් අයෙක් නුගුණම සෙවූහ. මේ දෙපැත්තට මැදි වූ රෝගීහු ඒ පැත්තත් මේ පැත්තත් බලමින් තෝන්තුවාවට පත්ව සිටිති. ඖෂධ පනතේ ගුණ අගුණ ගැන අපට අසන්නට ලැබුණු කතා කිහිපයක් මෙසේ ය.

මහාචාර්ය සේනක බිබිලේ හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්තිය අනුව නම් රජයේ වෛද්‍යවරයකු රෝගියකුට බෙහෙත් නිර්දේශ කළ යුතු වන්නේ ඖෂධීය නාමයෙන්ම පමණි. සෞඛ්‍ය ක්‍රියාකාරීන් අතර එය ප්‍රචලිතව ඇත්තේ ජෙනරික් නේම් (Generic Name) යනුවෙනි.

ඒ අනුව සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මත පිහිටන ඇතැමුන් චෝදනා කරන්නේ පෙර කී “ජෙනරික් නේම්” හෙවත් ඖෂධීය නාමයෙන් පමණක් නොව, වෙළෙඳ නාමයෙන් ද ඖෂධ නිර්දේශ කිරීමට අලුත් ඖෂධ පනතින් නෛතික අවසරයක් සැලසී ඇති බවයි. එවිට ඖෂධ සමාගම්වලට නැවත ‘කල්ලමරේ’ තත්ත්වයක් උදා වන්නේ යැයි ඔවුහු චෝදනා කරති.

ඒ චෝදනාව සම්බන්ධයෙන් සිළුමිණ කළ කරුණු විමසීමේදී වත්මන් ඖෂධ පනත සකස් කළ විද්වත් කමිටුවේ සභාපති දොස්තර පාලිත අබේකෝන් මහතා දුන් පිළිතුරු මෙ‍බඳුය.

“මේ චෝදනා නඟන්නේ හරිහැටි කරුණු නොදන්නා පිරිසක්...”

වෛද්‍ය අබේකෝන් මහතා මුළුමනින්ම එම චෝදනා බැහැර කරමින් මෙලෙස තම ස්ථාවරය පැහැදිලි කළේය.

“ඖෂධීය නාමය හෙවත් ජෙනරික් නේම් (Generic Name) යන්න පිළිබඳ අදහස පටලවාගෙනයි ඔවුන් කතා කරන්නේ. ‘Generic’ යන වචනයේ තේරුම ‘කිසියම් වර්ගයකට අයත්’ යන්නයි. ‘Generic Name’ යන්නෙහි අරුත එකී ඖෂධ වර්ගයට අයත් යන්නයි. කිසියම් ඖෂධයක් එහි ජෙනරික් නේම් හෙවත් ඖෂධීය නමින් ම අලෙවි කරන්නට අවසර ලැබෙන්නේ ඒ ඖෂධය මුල් වරට නිෂ්පාදනය කළ සමාගමට පමණයි.

නව ඖෂධයක් සොයාගෙන එය අලෙවි කිරීමට පේටන්ට් බලපත්‍රයක් ලබාගත් විට එය අලෙවි කිරීමට වසර විස්සක අවසරයක් එම සමාගමට ලැබෙනවා. ඒ අනුව ඔවුන් (Innovator Generics) ඉනොවේටර් ජෙනරික්ස් ලෙස එම ඖෂධය අලෙවි කරනවා. මේ ඖෂධ මිලෙන් අධිකයි. ඊට හේතුව ඒවා හඳුනාගෙන නිෂ්පාදනය කිරීම දක්වා වැය වන පර්යේෂණ ගාස්තු, නිෂ්පාදන හා ප්‍රචාරණ ගාස්තු අනුව එහි මිල නියම වීමයි.

වර්තමානය වන විට ලොව පුරා අලෙවි කරන ඖෂධවලින් 95% ක් මුල් පේටන්ට් කාලසීමාව ඉකුත් වූ, අවුරුදු 20 කට පෙර නිපදවූ ඖෂධ. අලුතින්ම හඳුන්වා දුන් බෙහෙත් වර්ග ඇත්තේ 5%කටත් අඩු සංඛ්‍යාවක්. ඉනොවේටිව් ඖෂධවල පේටන්ට් කාල සීමාව ඉකුත් වූ විට වෙනත් ඕනෑම ‍ඖෂධ නිෂ්පාදන සමාගමට එම ඖෂධය වෙනත් වෙළෙඳ නමකින් නිපදවා අලෙවි කිරීමට පුළුවන්. ඒ බෙහෙත් හඳුන්වන්නේ ‘බ්‍රෑන්ඩඩ් ජෙනරික්ස්’ Branded Generics නමින්. වර්තමාන වෙළෙඳපොළේ අලෙවි කරන්නේ මේ බ්‍රෑන්ඩඩ් ජෙනරික් ඖෂධයි. ජනතාව ජෙනරික් නේම් යනුවෙන් ඉල්ලුවත් ලැබෙන්නේ එලෙස දෙවනුව නිෂ්පාදනය කළ බ්‍රෑන්ඩඩ් ජෙනරික් ඖෂධමයි.

මේ නිසා වෛද්‍යවරයා ජෙනරික් නේම් එක පමණක් ලීවත් සැබැවින්ම මිල දී ගන්නට සිදු වන්නේ බ්රෑන්ඩඩ් ජෙනරික් ඖෂධයි. බ්‍රෑන්ඩඩ් ජෙනරික් ඖෂධත් විවිධ සමාගම් මඟින් විවිධ වෙළෙඳනාම යටතේ නිෂ්පාදනය කර අලෙවි කරනවා. හැම විටම ඖෂධීය නාමය සඳහන් කිරීමටත් රෝගියාගේ සුවය සඳහා අත්‍යවශ්‍ය බව වෛද්‍යවරයා නිගමනය කරනවානම් ඖෂධීය නමට අමතරව ඔහුට වෙළෙඳ නාමයකින් බෙහෙත් නියම කරන්නටත් පුළුවන්.”

මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියෙහි නැති වෙළෙඳ නාමයක් ලිවීමට නව පනතින් යෝජනා කරන්නේ ඇයි?

“වර්තමානයේ වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන සෑම බෙහෙතක්ම එක සමාන ගුණයෙන් උසස් තත්ත්වයේ සහ නිසි ප්‍රමිතීන්ට අනුකූල වන බවට නිශ්චිත සහතිකයක් නැති නිසයි. ඇතැම් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ යැයි සැලකෙන ගුණයෙන ඉහළ ඖෂධයක් ඇතැයි වෛද්‍යවරයා තීරණය කරනවා නම්, එය ලබාගන්නට රෝගියාත් කැමැතිනම් ඒ අවස්ථාව ලබා දීමටයි. කෙටියෙන් කිව හොත් බාල බෙහෙත් වර්ග ගැනීමෙන් රෝගීන් වළක්වාගැනීමයි එහි ප්‍රධාන අරමුණ.”

මේ ඖෂධවල මිල ගණන් විවිධාකාරයි. නියම ගුණයෙන් යුතු හොඳම ඖෂධය කුමක්දැයි ජනතාව තෝරා බේරාගන්නේ කොහොම ද?

“ඒ සඳහා තමයි අපි ඖෂධීය නාමයෙන් සහ අවශ්‍ය නම් පමණක් වෙළෙඳ නාමයකින් වෛද්‍යවරයා සුදුසු යැයි සිතන ඖෂධයක් නියම කිරීමට අවසර දී තිබෙන්නේ. එවිට මිලෙන් අඩුම බෙහෙත වුවත් ගුණයෙන් එක සමානනම්, තමාගේ අතේ ඇති මිලට බෙහෙත් ගැනීමට රෝගීන්ට අවස්ථාව සැලසෙනවා. ඖෂධීය නාමය පමණක් සඳහන් කළ විට ඒ බෙහෙත නැත්නම් ඒ වර්ගයේ එකම ගුණය ඇති විකල්ප බෙහෙතක් ගැනීමට රෝගීන් මැළි වෙනවා. යම් වෛද්‍යවරයකු තම රෝගියාගේ සුවය සඳහා අවශ්‍යම යැයි සිතා ඖෂධීය නාමය ද සහිතව වෙළෙඳ නාමයකින් ද බෙහෙතක් නියම කළ විට ඒ බෙහෙත නැත්නම් ඒ වර්ගයේ සමාන ගුණය ඇති බෙහෙතක් ලබාගන්නට රෝගියාට පුළුවන්.

මෙය ඖෂධ සමාගම් සහ අලෙවිකරුවන්ට වාසිදායක යෝජනාවක් නොවේ ද?

නෑ. එය රෝගීන්ට වාසිදායක යෝජනාවක්. මෙතෙක් කල් වෛද්‍යවරුන් ලීවේ තමන්ට අවශ්‍ය බෙහෙත. මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තියේ සඳහන් වුණු පරිදි ඖෂධීය නාමයෙන් පමණක්ම බෙහෙත් නියම කරන්නේ මෙරට වෛද්‍යවරුන් ගෙන් කීයෙන් කී දෙනා ද? මෙතෙක් අපේ රටේ බිබිලේ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා ද? අප උත්සාහ කරන්නේ අදට ගැළපෙන ආකාරයෙන් බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටයි.”

1971 - 1975 දක්වා බිබිලේ ප්‍රතිපත්තිය එලෙසින්ම ක්‍රියාත්මක වුණා නම් එය දැන් ක්‍රියාවට නැංවිය නොහැක්කේ ඇයි දැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා?

1971 - 75 සිට මේ දක්වා ගත වූ කාලය කොයිතරම් ද? එදා පැවැති ඖෂධ අවශ්‍යතාවම ද දසක හතරකට පමණ පසු වෙලාත් අද රටේ පවතින්නෙ? එදා මහාචාර්ය බිබිලේ ප්‍රතිපත්තියෙහි සඳහන් වුණේ සියලුම ඖෂධ ආනයනය කළ යුත්තේ සමාජවාදී රටවලින් පමණයි කියායි. අද ඒ රටවලින් සමාජවාදයත් ගිලිහිලා, ඖෂධ නිෂ්පාදන ක්‍රමවේදයත් ගිලිහිලා! අද අපේ රටට අවශ්‍ය සියලුම ඖෂධ සමාජවාදී රටවලින් පමණක් ගෙන්වන්නට පුළුවන් ද? බිබිලේ ප්‍රතිපත්තිය වෙනස් කළා යැයි චෝදනා කරන්නේ කරුණු හරිහැටි නොදන්නා සුළුතරයක්. ඉහත කී යෝජනාව වැනි අදට නොගැළපෙන කරුණු හැරුණු විට බිබිලේ ප්‍රතිපත්තියෙහි අන්තර්ගත සෑම සාධනීය ප්‍රතිපත්තියක්ම අදට ගැළපෙන ආකාරයෙන් සකස් කරන ලද සංශෝධන සහිතව වඩාත් සාර්ථක ලෙස ක්‍රියාවට නංවන්නට අපි මේ පනතින් උත්සාහ දරනවා.”

දැන් පනත සම්මත වී තිබෙනවා. එහි අඩංගු යෝජනා ක්‍රියාත්මක වී ජනතාවට දැනෙන ප්‍රතිඵලයක් ලැබෙන්නට කොපමණ කලක් ගත වේවි ද?

අවුරුදු හතළිහක් පුරා ඇදුණු පනතක් සම්මත වී සතියෙන් දෙකෙන් එහි සියලු යෝජනා ක්‍රියාවට නැංවෙතැයි අපේක්ෂා කරන්නට බෑ. අප යෝජනා කර ඇත්තේ තිබෙන ඖෂධ ප්‍රතිපත්ති වඩාත් සක්‍රීය කිරීමටයි. ඒ අතරින් ජනතාවට සෘජුවම දැනෙන ප්‍රතිලාභය නම් තත්ත්වයෙන් උසස් ගුණාත්මක ඖෂධ අඩු මුදලට ලබාගැනීමට හැකි වීමයි. යෝජිත ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමෙන් පසුව අපි පළමුව ක්‍රියාවට නංවන්නේ වර්තමාන තත්ත්ව පරීක්ෂණ ක්‍රමවේදය වඩාත් නිවැරැදි කර එංගලන්තය ඇමෙරිකාව වැනි ලොව පළමු පෙළේ රටවල පිළිගත් ඖෂධ තත්ත්ව පාලන හා ප්‍රමිති ක්‍රමවේදවලට සමානව යමින් අපේ තත්ත්ව පාලන ක්‍රමවේදය වඩාත් ශක්තිමත් කිරීමටයි. ඒ අනුව වඩාත් උසස් තත්ත්වයේ ගුණාත්මක ඖෂධවලට පමණක් ඖෂධ අධිකාරියේ ලියාපදිංචිය ලැබෙන නිසා ඉදිරි මාස හය ඇතුළත ජනතාවට ගුණයෙන් උසස් බෙහෙත් සැකයකින් තොරව සාධාරණ මිලට ලබා ගන්නට හැකි වෙනවා ඇති. දැනට පවතින ඖෂධ පර්යේෂණාගාරයේ අඩුපාඩු සකස් කර නවීන පර්යේෂණ උපකරණ හා මානව සම්පත් සංවර්ධනය කිරීම තුළින් දැනට පවතින සියලුම ඖෂධ හා අලුත් ඖෂධවල තත්ත්වය පරීක්ෂා කර සහතික ලබා දීමටත් යෝජිතයි. ඒ සඳහා තව වසරක් පමණ ගත වේ යැයි සිතනවා.

ඉන් පසුව හොඳම බේත් පමණක් ජනතාවට ලැබේවි ද?

ඔව්.

ඒ වන විට ඖෂධීය නාමය පමණක් සඳහන් කිරීමට වෛද්‍යවරුන්ට යෝජනා කරනවා ද?

ඒ සඳහා නිශ්චිත කාලයක් දැන්ම කියන්න බෑ. යෝජිත පරිදි ලංකාවේ ලියාපදිංචිය ලැබෙන්නේ හොඳම බෙහෙත්වලට පමණක් නම් ඖෂධීය නා‍මයෙන්ම බෙහෙත් නියම කරන්නට වෛද්‍යවරුන්ට යෝජනා කරන්නට පුළුවන්.

මේ පිළිබඳව මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති අදහස් දක්වන්නේ මෙසේ ය.

නව පනතින් වඩා සේවය සැලසෙන්නේ කාට ද?

“රෝගීන්ට. මෙතෙක් රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබුණේ නෑ. මෙම පනතින් අවම මිලට හොඳම බෙහෙත ලබා ගැනීමට රෝගියා සතු වන අයිතිය තහවුරු කැරෙනවා. ඒ සඳහායි වෛද්‍යවරුන් ඖෂධ නියම කරන විට ඖෂධීය නාමය සමඟ වෙළෙඳ නාමයක් අවශ්‍යතාව මත සඳහන් කළ හැකි ය යන අවසරය යෝජනා කළේ. ඖෂධීය නාමයෙන් පමණක් බෙහෙත් නියම කළ විට වැඩි වාසිය හිමි වන්නේ ඖෂධ අලෙවිකරුවාටයි. ඖෂධීය නාමය පමණක් දන්නේ වෛද්‍යවරයාත් ඖෂධවේදියාත් පමණයි. ඖෂධීය නාමය සමඟ වෛද්‍යවරයා කිසියම් වෙළෙඳ නාමයකුත් සඳහන් කළ හොත් ඖෂධවේදියාට අවශ්‍ය පරිදි මිලෙන් ඉහළම බෙහෙත රෝගියාට ලබා දෙන්න බෑ. මේ පනතින් රෝගියාගේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ඖෂධවේදීන් විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීති මාලාවකුත් අප ඉදිරිපත් කර තිබෙනවා.”

ඒ මොනවා ද?

“ඖෂධවේදියා වෛද්‍යවරයා විසින් නියම කරන ලද ඖෂධීය නාමය සහිත ඖෂධ සියල්ල සහ එහි මිල ගණන් පාරිභෝගිකයාට දැන්විය යුතුයි. එවිට ඒවායේ ගුණාත්මක භාවය එකම නම් මිලෙන් අඩු හොඳම බෙහෙත මිල දී ගැනීමේ රෝගියා සතු අයිතිය තහවුරු වෙනවා. එහෙම නැත්නම් රෝගීන්ට ඒ පිළිබඳව නෛතික පියවර ගන්නට පුළුවන්.

සෑම ඔසුසලකටම සියලු ඖෂධවල මිල සඳහන් පත්‍රිකාවක් තිබිය යුතුයි. ඒ මිල දර්ශකයෙහි ඖෂධීය නාමය සහ ඒ ගණයේ සියලුම බෙහෙත් වර්ග හා ඒවායෙහි මිල සඳහන් විය යුතුයි. පාරිභෝගිකයන් විසින් ඉල්ලන ලද හැම විටම ඒ මිල දර්ශකය ඔවුන්ට පෙන්වා, තමන්ට අවශ්‍ය ඖෂධය තෝරා ගැනීමට ඉඩ සලසා දිය යුතුයි.

වෙළෙඳ නාම සඳහන් කිරීමෙන් අදාළ ඖෂධ සමාගමට මෙන්ම ඇතැම් වෛද්‍යවරුන්ට ද වාසිදායක වෙන බවට චෝදනා නැ‍ඟෙනවා.?

තම වෛද්‍ය දැනුම හා අත්දැකීම මත කිසියම් ඖෂධයක විශේෂිත වෙළෙඳ නාමයකින් යුතු ඖෂධයක් තම රෝගියාගේ රෝග තත්ත්වයට වඩාත් සාර්ථකව හා ඉක්මන් සුවය ගෙන දෙනවා යැයි යම් වෛද්‍යවරයකු තීරණය කරනවානම් එම වෙළෙඳ නාමය සහිත ඖෂධය නියම කිරීමට වෛද්‍යවරයාට අයිතිය තිබෙනවා. එය ලෝකයේම පිළිගත් නීතියක්.

නව ඖෂධ පනත මහාචාර්ය බිබිලේගේ ප්‍රතිපත්තියම නොවේ ය යන මතය දරන පිරිස අතර ජාතික ඖෂධ සංස්ථාවේ පළමුවැනි සේවකයා සහ ඖෂධ සංස්ථා සේවක උපදේශක කමිටුවේ හිටපු සභාපති උපසේන ජයරත්න මහතා ද වෙයි. නව ඖෂධ පනත පිළිබඳව ඒ මහතා දක්වන අදහස් සැකෙවින් මෙසේ ය.

“මෙතුවක් කලක් ක්‍රියාවට නංවා ගන්නට බැරි වූ ඖෂධ පනත නව රජය යටතේ ක්‍රියාත්මක කරගැනීමට ලැබීම සතුටක්. නව ඖෂධ නියාමන අධිකාරි පනත කෙටුම්පත් කළ විද්වත් මණ්ඩලය පවසන්නේ එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධන සහිතව ඉදිරිපත් කළ බවයි. එය කාලෝචිතයි. එහෙත් මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ඇමෙරිකාව එංගලන්තය වැනි රටවල පිළිගත් ඖෂධ අධිකාරීවලත් පිළිගත් ප්‍රතිපත්තියක් නම් එය අපේ රටේ ක්‍රියාවට නැංවිය නොහැකි ඇයි? එය වෙනස් කළ යුතු නෑ. ඒ කීම හරියට ‘බෞද්ධ දර්ශනය වර්තමානයට ගැළපෙන හැටියට සකස් කළා’ යැයි කියන්නා වැනි ප්‍රකාශයක්.

නව පනතින් වෙළෙඳ නාමයක් සඳහන් කිරිමට වෛද්‍යවරුන්ට ලබා දී ඇති අවසරයෙන් දැනට තිබෙන අසාධාරණ අලෙවියට නෛතික අවසරයක් ලැබෙනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතා සමඟ සමීපව ඇසුරු කළ හා එතුමාගේ සංකල්පය රැකගැනීමට ජීවිතය කැප කරමින් කටයුතු කළ මගේ අදහස නම් මේ පනත හරියට ක්‍රියාවට නංවන්නට නම් පළමුවෙන්ම වර්තමානයේ පවතින ඖෂධ සංස්ථාවේ මුල් පුටුවට ජනතා සේවයට අවංකව කැප වුණු සුදුසුකම් ලත් ලාභය පමණක් නොසලකන දක්ෂයකු පත් කළ යුතු බවයි.”

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නිපදවන සියලු ඖෂධ යාබද ඉඩමේ පිහිටි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රධාන ගබඩාවට බාර දී බෙදාහැරීමෙන් දැනට සිදු වන අනවශ්‍ය වියදම් කපා හැර පවතින ඖෂධ මිලෙන් අඩකටත් අඩු මුදලකට බෙහෙත් ජනතාවට සපයන්නට පුළුවන්.

මහාචාර්ය සේනක බිබිලේ සමයෙහි ඖෂධ සංස්ථාව සතුව පැවැති 100% වෙළෙඳපොළ කොටස් අයිතිය මේ වන විට 10% ටත් අඩුයි. පෙර තත්ත්වයට කොටස් වෙළෙඳපොළ අයිතිය වර්ධනය කර ගන්නට වහා ක්‍රියා කළ යුතුයි.

ඉහත අදහස් අප විද්වත් කමිටු සාමාජික මහාචාර්ය ගලප්පත්ති මහත්මිය වෙත ඉදිරිපත් කළ විට ඇය කීවේ එම යෝජනා රැසක් ක්‍රියාවට නැංවීමට නව පනතින් යෝජනා කර ඇති බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]