![]() ![]() |
||
ශිෂ්‍ය සංගම්වලට අලුත් සටන් පාඨ ටිකක්!රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවුරුදු හැටක් වයසය. ඈත ඉතිහාසයේ පවා රටේ විශ්වවිද්‍යාල තිබ්බාට මේ කතා කරන්නේ සුද්දා ඇවිත් ඊට උප්පැන්නේ ලියා දී ගිය දවසේ ඉඳන්ය. වංසේ කබල් ගෑමෙන් හිතට මිස ඔළුවට යමක් නොලැබෙන නිසා අතීත කෙරුවාවල් ගැන මෙතැන කතා කරනු නොලැබේ. ලෝකේ විශ්වවිද්‍යාල තියෙන්නේ රිසර්ච් ඇන්ඩ් ඩිවොලොප්මන්ට්වලට ය. මේ ලියන මොහොත දක්වාම ලංකාවේ එක ‘රිස්ච් යුනිවර්සිටියක්වත්’ නැත. අපේ රටේ විශ්වවිද්‍යාල ඔක්කොම තියෙන්නේ ‘වර්ල්ඩ් රෑන්කින්වල’ දෙදාහෙන් එහා පැත්තේය. ඒ කියන්නේ, අපේ සුපිරිම විශ්වවිද්‍යාලයටත් උඩින් ලෝකේ විශ්වවිද්‍යාල දෙදාස් ගණනක් තියෙනවාය කියන එකය. අප්‍රිකාවේ හද්ද නන්නත්තාර අසමත් රාජ්‍යවල තියෙන විශ්වවිද්‍යාල පවා අපේ විශ්වවිද්‍යාලවලට උඩින් ඉන්නවා කියන එකය. අපේ රටේ නං විශ්වවිද්‍යාල සංගම් කියන්නේ, නූතන විධිමත් අධ්‍යාපන කර්මය තුළ හෙන වැදගත් ආයතනයන්ය. කොච්චර වැදගත් ද කියනවා නම්; විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් පවා ඉන්නේ ඊට හත් ගව්වක් පිටිපස්සෙනි. දරුවන් විසින් මෙහෙයවනු ලබන්නක් නිසා එව්වා හැම තිස්සෙම හුරුවී ඉන්නේ “දියෝ දියෝ දියෝ” කියන්නය. අපි දුප්පත් නිසාත් අපේ අධ්‍යාපන ක්‍රමයට දුප්පත් සැලකිලි ලැබෙන නිසාත් ඔය බොහෝ ඉල්ලීම් හරිම සාධාරණය. අසාධාරණ වන්නේ ඔය කතා කියන ගමම්ම තියෙන සම්පත් වලින් වැඩ දාන්න උත්සාහ නොකිරීමයි. ඒක මෙන්න මේ වගේය! ඉතාම දුප්පත් පවුලක දක්ෂ ළමයි ටිකක් ඉන්නවා ඉගෙන ගන්න. උන් එක වේලක් කකා බොහොම දුක සේ තමන්ගේ අරමුණට යනවා. උන් දන්නවා තමන්ගේ ගෙදර ඇතුළේ තත්වේ. “සියලු පහසුකම් සම්පූර්ණ කරන තෙක් මම උසස පෙළට වාඩි වෙන්නේ නැහැ” කියා විරෝධය පාන එකාත් “මොනවා නැතත් තියෙන දේ පිරිමහමින් වැඩේ ගොඩ දානවාය” කියා හිතන එකාත් අතර ලොකු වෙනසක් තියෙනවා. විශ්වවිද්‍යාල ගුරු ගෝල අනුපාතය ගෙන බැලුවාම ලංකාව අමුතු තැනක නැත. අපි ඉන්නෙත් ඇමරිකාව කැනඩාව ජර්මනිය වාගේ ලෝකේ අනික් රටවල් හා සමාන තැනකය. පහසුකම් හා සම්පත්වල දැඩි විෂමතාවක් තිබුණ ද “හිත ඇත්නම් පත කුඩා වෙන්නේ නැත.” පර්යේෂණ කිරීම හා ඒවායේ ප්‍රතිඵල අන්තර්ජාතිකව පිළිගත් ප්‍රකාශකයන් හරහා එළිදැක්වීම උත්සාහවන්තයාට නං අසීරු කටයුත්තක් නොවේ. සැබෑ අසීරුතාව වන්නේ මොනයම් ආකාරයකින් හෝ අවස්ථාව උදා කර ගැනීම නොව, අවස්ථාවක් ලැබෙන තුරු ඔහේ බලා සිටීමය. පර්යේෂණ කටයුතු සඳහා ආධාර මෙන්ම අරමුදල් සපයන ආයතන බොහොමයක් ලෝකය පුරා ඇත. මෙව්වා වාර්ෂිකව අර්ධව වාර්ෂිකව හෝ කාර්තුවකට වරක් තම ව්‍යාපෘති දිග හරින්නේය. මේ තැන්වලට ඍජුවම අමතන්නට පර්යේෂණ යෝජනාවක් සකසා ඉදිරිපත් කරන්නට ඕනෑම පර්යේෂකයෙකුට පුළුවන්කමක් ඇත. විශ්වවිද්‍යාල ගුරුවරුන්ටනං ඉතිං මෙව්වා අමුතුවෙන් ලියා කියා පහදා දෙන්නට ඕනෑ නැත. ‘ඉන්ඩස්ට්‍රි ඔපර්චුනිටිස්’ ලබාගැනීම හෙවත් පෞද්ගලික අංශය විශ්වවිද්‍යාල පර්යේෂණ කටයුතු කෙරෙහි වැඩියෙන් නැඹුරු කරවා ගැනීම තවත් කාලීන අවශ්‍යතාවයකි. දැනටමත් සමහර විශ්වවිද්‍යාල මෙවැනි වැඩසටහන් එක්ක ඉදිරියට ගියද එව්වා සෑම සියලු අංශයක් කරාම විහිදවීෙම් උවමනාව පවතී. දැන් ලෝකය ඉක්මනින් කැරකෙන්නේය. අපේ ප්‍රමාදය ඔබේ දරුවන්ගේ පසුතැවිල්ලට හේතු වන්නේය. ඔබ දැන් තැනිය යුත්තේ “ඉල්ලන්නට” නොව “කරන්නට” උගන්නන සමාජයකි. දැන් ඉතිං නැගිටියව්!
නදීෂා |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |