කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නිදහස් මාධ්‍ය සුළඟ හමායයි

නිදහස් මාධ්‍ය සුළඟ හමායයි

යහපාලකයන්ගේ සමීප රූප ඉන්ද්‍රචාපගේ කාචයට හසු වේ. එලෙසින්ම යහපාලකයන්ට එරෙහි, ඔවුන්ගේ දුර්ගුණම දකින, ජනතා තීන්දුවට ගරු නොකරන පරාජිතයන් රැසකගේ සමීප රූප ද පෙනේ. වසර මුල් සතිය පමණ වන තෙක්, මෙරට රූපවාහිනී නාළිකා දෙස වැරදීමකින් හෝ නරඹන්නට පිරියක් නොවූ ඉන්ද්‍රචාපට මෛත්‍රී යුගය ඇරැඹීමත් සමඟ රූපවාහිනියේ වැඩ සටහන් රැසක සමීප රූප ආවරණය කිරීමට සිත් යොමු කළේ, සාධාරණ යහපත් සමාජයක් වෙනුවෙන් ජනතාව හමුවේ තැබු පොරොන්දු ඉටුව ඇද්දැයි දකිනු රිසියෙනි.

ජනවාරි අටවැනිදාට පෙර, ජනාධිපතිවරණ සමයේ මෙරට ප්‍රධාන රාජ්‍ය රූපවාහිනී නාළිකා හැසිරුණ අසෝබන, නිර්ලජ්ජී, ජුගුප්සාජනක, හිරිකිත මාධ්‍ය හැසිරිම පිළිබඳ බොහෝ තතු අසා තිබූ බැවින්, එක්වර ඔවුනගේ හැසිරීම් විලාස කෙසේ වෙ‍නස්වේදැයි සිතාගන්නට ඉන්ද්‍රචාපට නොහැකි වූවත්, ඉන්ද්‍රචාපගේ මිතුරන් රැසක් පවසා සිටියේ, දැන් අයිටීඑන් නිව්ස් බලන්න, ජාතික රූපවාහිනී නිව්ස් බලන්න, එතකොට වෙනස බලාගන්න පුළුවන් කියායි. සැබෑවක්ම නොවේ ද?

එක්තරා හිමිදිරියක ඉන්ද්‍රචාපගේ සමීප රූපයට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ සමීප රූපය හසුවේ. ඔහුගේ හඬ පටයට ඉන්ද්‍රචාප සවන් දෙයි. ඔහු පවසන්නේ කුමක් ද? ‘මම පළමුවෙන්ම ස්වාධීන රූපවාහිනියට ස්තුති කරන්න ඕන මට මේ සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳ. මොකද, කනගාටුවෙන් වුණත් මේ වෙලාවෙ කියන්න ඕනෙ, අපේ පාලන කාලෙ, රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයක්, කිසිම අවස්ථාවක රටේ විපක්ෂ නායකවරයට මේ වගේ සජීවී සාකච්ඡාවක් දුන්නෙ නෑ කියල. මාධ්‍ය නිදහස මේ වගේ සමබරව පවත්වා ගැනීමයි අවශ්‍ය.

ජනවාරි අටවැනිදායින් පසු රාජ්‍ය රූපවාහිනී නාළිකා මතු නොව, පුද්ගලික නාළිකා පවා, තම නාළිකා තුළින් විකාශය වන දේශපාලන කතිකා වාද විවාද සම්බන්ධ වැඩසටහන් සඳහා දී ඇතැයි හැ‍ඟෙන අසීමිත නිදහස සුළඟක් ලෙසින්, ප්‍රේක්ෂක සිත් සතන් සනසමින් හමා යන බවයි ඉන්ද්‍රචාපට හැ‍ඟෙන්නේ. මුල් පිටුවේ සිට, අනෙකුත් නාළිකා ඔස්සේ විකාශය කරනු ලබන උදෑසන පුවත්පත් විමසීම්, විශ්ලේෂණ මෙන්ම පුවත්පත් පිටු අතර, පාඨකයන් දකින, කියවන ඡායාරූප කාටුන් පිළිබඳ එකිනෙකාට වෙනස් අදහස් දැක්වීම් තුළින් ප්‍රේක්ෂකයන්ට, ඔවුන්ගේම නිගමන හෝ තීරණ සඳහා එළැඹීමේ අවස්ථාව සැලසෙන බවයි ඉන්ද්‍රචාපට හැ‍ඟෙන්නේ.

නිදහස් මාධ්‍ය සුළඟ හමාගිය අවස්ථා සහිත සමීප රූපාවලින් රැසක් පිළිබඳ ඉන්ද්‍රචාපගේ මතකය අලුත් වේ. ඉතාම පැහැදිලි එක් සමීප රූපයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කරවීමට ඉන්ද්‍රචාප කැමැතිය. දිනය ජනවාරි 18 දායි. ස්ථානය නුගේගොඩ ආනන්ද සමරකෝන් සමරු රංග භූමිය හා අවට පරිශ්‍රයයි. ජනතා තීන්දුවකින් ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයකු ඔහු තරග වැදි තනතුරට පහළ තනතුරක් සඳහා ගෙන ඒමට උත්සාහ දරන සිවුදෙනකුගේ කල්ලියක් විසින් සංවිධාන කළ මහජන රැළියකි. එය එක එල්ලේම බලයෙහි සිටින රජයට විරුද්ධ දේශපාලන රැස්වීමකි. එවන් රැස්වීමක් පිළිබඳ පෙරදා පාලනය තුළ වාර්තාවක් කෙසේ වෙතත්, එවැන්නක් පැවැත්වුණු බවක්වත් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයනට දැන්වීමට තරම් ශීලාචාර මාධ්‍ය භාවිතයක් නොවූ බව, සමීප රූප එකකින් දෙකකින් නොව, සිය ගණනකින් වුව ඔප්පු කළ හැකි බව ඉන්ද්‍රචාපට පැවසිය හැකිය.

එහෙත් වර්තමාන මාධ්‍ය නිදහස සුළඟක් වී පුරවැසි ප්‍රේක්ෂකයන් අතර හමා ගිය බවට හොඳම උදාහරණය වන්නේ 18 දා සවස පැවැති ආණ්ඩු විරෝධී රැළියේ සමීප රූපාවලියක් සහිත වාර්තාවක් පමණක් නොව එහි සංවිධායක කල්ලියේ සිවුදෙනාගෙන්, එක් සාමාජිකයකු රැළිය අමතන හඬ පටයක් සහිත රූපාවලියක් ද එදිනම රාත්‍රී 9.30 ප්‍රවෘත්ති තුළින් විකාශය වීමය. එවන් නිදහස් මාධ්‍ය සුළඟක් ජනතාවට අහිමි කළ පෙරදා සිටි පරාජිතයන්ගේ සමීප රූප ද ඉන්ද්‍රචාපට පෙනේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]