![]() ![]() |
||
හොඳ චරිතයක් ලැබුණොත් මුදල ගැන හිතන්නේ නෑජනක් ප්රේමලාල්ඔහු ප්‍රවීණ රංගධරයෙකි. “බෝගල සවුන්දිරිස්”, “කළුවර ගෙදර”, “ස්වයංජාත”
වැනි ටෙලිනාට්‍යවල ඔහු නිරූපණය කළ චරිත සැමදා අපගේ
වේදිකා නාට්‍ය මඟින් අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍ර වූවෙකි. ඔහු ජනක් ප්‍රේමලාල්. ඔහුගේ වත්මන් කලා කටයුතු පිළිබඳවත් වත්මන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳවත් තොරතුරු විමසීමට පසුගිය දිනෙක අපි ඔහු හමුවීමු. * ඔබ මොනවගේ වැඩ කටයුතුත් එක්කද මේ දිනවල කාලය ගෙවන්නේ? දැනට විකාශය වන ටෙලිනාට්‍ය කීපයකම රූපගත කිරීම්වලට මේ දිනවල සහභාගි වෙනවා. ඒ “සුජාතා”, “අකඩවාරිය” වැනි ටෙලිනාට්‍යවල. ඊට අමතරව අලුත්ම ටෙලිනාට්‍ය කීපයකමත් රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ; සමන් ලියනගේ අධ්‍යක්ෂණය කරන “දේවි”, ගයාන් වික්‍රමතිලක අධ්‍යක්ෂණය කරන “රන්මිහිතැන්න”, නලින් මාපියගේ “ඉඩදෙන්න” වැනි ටෙලිනාට්‍යවල. * කලින් කලට ඔබ නිරූපණය කරන චරිතවල ඒකාකාරී බවක් තිබෙනවා කිව්වොත්...? මම රංගනයට ආව මුල්ම කාලයේ මට නිරූපණය කරන්න ලැබුණේ සමාජයේ එක්තරා පැලැන්තියක් නිරූපණය කරන චරිත; විශේෂයෙන්ම නීතිඥවරුන්ගේ, කථිකාචාර්යවරුන්ගේ, ගුරුවරුන්ගේ, පොලිස් නිලධාරීන්ගේ, ඉංජිනේරුවන්ගේ චරිත. ඉන්පසු කාලෙකදි දිගටම මට නිරූපණය කරන්න ලැබුණේ දුෂ්ට චරිත. ඊටත් කලකට පසුව ටෙලිනාට්‍යවල ගැමිචරිත නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. ගැමිචරිත නිරූපණය ආරම්භ වුණේ “බෝගල සවුන්දිරිස්” ටෙලිනාට්‍යයෙන් පසුව. “කටු ඉඹුල”, “කරුවල ගෙදර” වැනි ටෙලිනාට්‍යවලත් මට නිරූපණය කරන්න ලැබුණේ ගැමි චරිත. ඉන්පසු කාලෙකදි දිගටම නිරූපණය කරන්න ලැබුණේ කිසියම් ආධිපත්‍යයක් දරන චරිත. උදාහරණයක් හැටියට සුදත් රෝහණගේ “ස්වයංජාත” ටෙලිනාට්‍යයේ දියෝනිස් ආරච්චි වැනි චරිත. කිසියම් රංගන ශිල්පියෙක් කිසියම් චරිතයක් හොඳින් නිරූපණය කළොත් එම නාට්‍ය නරඹන වෙනත් අධ්‍යක්ෂවරු ඔවුන්ගේ නිර්මාණයක එවැනි චරිතයක් තිබුණොත් අර රංගන ශිල්පියාව ගන්නවා. ඒකයි ස්වභාවය. ඒ නිසා කලින් කල මම රඟපෑ චරිතවල ඒකාකාරී ස්වභාවයක් තියෙන්න ඇති. නමුත් මගේ රංගන ජීවිතය පුරා මට විවිධ ආකාරයේ චරිත නිරූපණය කිරීමේ අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒක ලොකු වාසනාවක්. * ඔබ රංගනයෙන් දායක වුණු බෝගල සවුන්දිරිස් වැනි ටෙලිනාට්‍ය අද නිර්මාණය වෙන්නේ නැතිතරම්. ඒකට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය මහා බිස්නස් එකක් බවට පත්වෙලා. අඩුවෙන් වියදම් කරලා වැඩි ලාභයක් ගන්න තමයි නිෂ්පාදකවරු උත්සාහ ගන්නේ. ඒ වගේම ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේ ක්‍රමයත් අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මීට කලකට පෙර ජාතික රූපවාහිනියේ වැනි ආයතනවලින් ටෙලිනාට්‍ය විකාශය කළ ක්‍රමවේදයට වඩා අද ක්‍රමවේදය වෙනස්. එදා නිර්මාණකරුවා ටෙලිනාට්‍යයක් හදලා එය විකාශය කිරීමට දුන්නේ අනුග්‍රාහක ආයතනයකට. අනුග්‍රාහක ආයතනයක් එදා ටෙලිනාට්‍යයක් මිලදීල ගන්නේ තමන්ගේ කීර්තිනාමය වැඩිදියුණු කරගැනීමේ අදහසින්. ඒ ටෙලිනාට්‍ය විකාශය කරනවිට දැන්වීම් දැම්මේ ඒ අනුග්‍රාහක ආයතනයේ දැන්වීම් පමණයි. ඒත් නාට්‍යයේ ආරම්භයේදී මැද සහ නාට්‍ය අගදී පමණයි එම දැන්වීම් විකාශය කළේ. අශෝක හඳගම වැනි නිර්මාණකරුවන් එදා තමන්ගේ ටෙලිනාට්‍ය මැදදී දැන්වීම් දමන්නත් අවසරය දුන්නේ නෑ. ඒ හැකියාව එදා අධ්‍යක්ෂවරුන්ට තිබුණා. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අද නිර්මාණකරුවන්ගෙන් ටෙලිනාට්‍ය මිලදීල ගන්නේ කෙළින්ම නාලිකා මඟින්. ඒ වගේම සෑම රූපවාහිනී නාළිකාවක් වගේ අද ටෙලිනාට්‍ය නිර්මාණය කරනවා.
මේවාට දර්ශන තල අවශ්‍ය වන්නේ නෑ. ඒ වගේම අද බොහොමයක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂවරු නෙමෙයි සහාය අධ්‍යක්ෂවරයා විසින්. මීට වසර ගණනාවකට පෙර නිර්මාණය වුණු හොඳ ටෙලිනාට්‍ය බිහි නොවන්නේ මෙන්න මේ හේතු නිසයි. ඒ වගේම මෙතන තවත් කතාවක් තියෙනවා. ඒ තමයි මේ සෑම රූපවාහිනී නාළිකාවක්ම අවුරුද්දකට සැරයක් හොඳ ටෙලිනාට්‍ය එකක් හෝ දෙකක් නිර්මාණය කරනවා. ඒ; මේ රටේ අවුරුද්දකට සැරයක් පැවැත්වෙන සම්මාන උලෙළවලට ඉදිරිපත් කරන්න. ඒ මොකද ඒවායින් සම්මානයක් දෙකක් නොලැබුණොත් ඒක ඒ රූපවාහිනී ආයතනයට ලැබෙන දැන්වීම්වලට ඍජුවම බලපාන නිසා. * ඔබ වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ටත් වර්තමානයේදී රඟපාන්න වෙලා තියෙන්නේ සරල බොළඳ කතා ඇතුළත් ටෙලිනාට්‍යවල නේද? මම කලාවට යොමුවුණේ භද්‍ර යෞවනයේදී. එදා ඉඳල අද දක්වාම මගේ ජීවිතය කැප කළේ කලාවට. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මම ලබාගත්තේ දේපළ පරිපාලනය සහ විද්‍යා විශේෂ උපාධිය. එදා මාත් එක්ක එකට ඉගෙනගන්න කෙනෙක් තමයි අද රජයේ ප්‍රධාන තක්සේරුකරු. මමත් විශ්වවිද්‍යාලයෙන් ඉවත්වුණු ගමන් තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු පරීක්ෂකවරයෙක් හැටියට අවුරුද්දක් සේවය කළා. ඉන්පසුව මම හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ගුරුවරයකු ලෙස සේවයට එක් වුණේ ගුරු වෘත්තියේ යෙදෙන ගමන් කලා කටයුතුවල යෙදීමට පහසුවක් වන නිසා. ප්‍රවීණ කලාකරුවන් කලාවේ යෙදන්නේ රැකියාවක් හැටියට. ඔවුන්ට වෙනදෙයක් කරන්න කාලයක් නෑ. ඒ නිසා අපේ ආර්ථිකය පවත්වාගෙන යන්න, ජීවත්වෙන්න ජනප්‍රිය ගණයේ නාට්‍යවලත් රඟපාන්න සිදුවෙනවා. නිර්මාණාත්මක ටෙලිනාට්‍ය ලැබෙන්නේ අවුරුද්දකට එකක් හෝ දෙකක් පමණයි. ඒවාට කතාකරන තෙක් අපට ගෙදරවෙලා බලාගෙන ඉන්න බැහැනේ. මේක තමයි අද වෘත්තීය වශයෙන් කලාවේ යෙදිල ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට වෙලා තියෙන්නේ. හැබැයි හොඳ ටෙලිනාට්‍යයකට ආරාධනයක් ලැබුණාම එයින් ලැබෙන මුදල ගැන හිතන්නේ නෑ. * ටෙලිනාට්‍යවල තත්ත්වය කිසියම් උසස් මට්ටමකට ගෙන එන්න ඔබ යෝජනා කරන්නේ මොන වගේ වැඩපිළිවෙළක්ද? ටෙලිනාට්‍යයක ප්‍රමිතිය ගැන සොයා බලන්න අද කවුරුවත් නෑ. ඒ වගකීම අද අරගෙන තියෙන්නේ රූපවාහිනී නාළිකා. එක් නාලිකාවකින් ප්‍රතික්ෂේප වුණු ටෙලිනාට්‍යයක් අද වෙනත් නාළිකාවක හොඳම ගුවන් කාලයේ විකාශය වෙනවා. ඉතින් කොහොමද ටෙලිනාට්‍යයක ප්‍රමිතිය ගැන හිතාගන්නේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |