![]() ![]() |
||
මගේ මුනුපුරා දකින්න මට ඉඩ දෙන්නේ නෑ චාල්ස් කුමරුගෙන් පැමිණිල්ලක්
එංගලන්ත රජ පවුල පිළිබඳ තොරතුරක් හෝ රජ පවුලේ සාමාජිකයකුගේ සේයාරුවක් හෝ කොතැනක වේද ඒ ගැන කවුරුත් දක්වන්නේ නොමඳ උනන්දුවකි. එංගලන්ත කිරීටයට උරුමකම් කියන රජ පවුලේ ළාබාලයා වන ජෝර්ජ් කුමරු උපත ලැබුවේ 2013 වසරේදී ය. ජෝර්ජ් කුමරුගේ උපතත් සමඟ කුමරුගේ මුත්තණුවන් හෙවත් ‘රජ සීයා’ වන චාල්ස් කුමරු ප්‍රීතියෙන් පිනා ගිය බව මාධ්‍ය වාර්තා කළේ ය. ජෝර්ජ් කුමරුගේ උපත පිළිබඳව එකල චාල්ස් කුමරු සඳහන් කර තිබුණේ පළමුවරට මුත්තණුවකුවීම කෙනෙකුගේ ජීවිතයේ ලද හැකි ඉතාම විශේෂිත වූ අවස්ථාවක් බව ය. චාල්ස් කුමරුගේ මුනුපුරු රජ කුමරා දැන් දෙහැවිරිදි ය. කුමරු උපන් දා උදම් ඇනූ චාල්ස් කුමරු දැන් සිටින්නේ තමාට ජෝර්ජ් කුමරු වෙත ළංවීමට ඇති ඉඩකඩ ඇහිරී ඇතැයි යන සන්තාපයෙනි. තම පුත්‍රයා වන විලියම් කුමරුගේ දෛනික ජීවිතය ‘මිඩිල්ටන්කරණය’ වී ඇතැයි චාල්ස් කුමරු චෝදනා කරයි. විලියම් කුමරු සිය කාලයෙන් වැඩි හරියක් නැන්දම්මා සහ මාමණ්ඩිය සමඟ ගත කිරීම හේතුවෙන් චාල්ස් කුමරුට සිය මුනුපුරු ජෝර්ජ් කුමරු හා කල්ගත කිරීමට ඇති ඉඩකඩ ඇහිරී ඇතැයි වාර්තාවේ. මේ නිසා වේදනාවට පත්ව සිටින චාල්ස් කුමරු ‘ඔවුන් මට මගේ මුනුපුරාට කිට්ටුවීමට ඉඩ දෙන්නේ නැතැ'යි යනුවෙන් සිය ලේලිය කේට් මිඩිල්ටන්ගේ මවුපියන් වෙත චෝදනා එල්ල කරයි. චාල්ස් කුමරු පසුගියදා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය මිතුරු හමුවකදී ය. කේට් කුමරිය ගේ මව කැරොල් සහ පියා මයිකල් පමණ ඉක්මවා සිය පුත්‍රයා වන විලියම් කුමරු සහ මුනුපුරා වන ජෝර්ජ් කුමරුගේ ජීවිතවලට බලපෑම් එල්ල කරන බවට ද චාල්ස් කුමාරයා චෝදනා කරයි. “ජෝර්ජ් නින්දට යා යුත්තේ කොයි වෙලේ ද? කන්නේ මොනවාද? කරන්නේ මොනවාද? යනාදී දේවල් සොයමින් කැරොල් පමණ ඉක්මවා කටයුතු කරනවා. ඇය හැසිරෙන්නේ හරියට ඇය කැරොල් මහ රැජන වගේ හිතාගෙනයි” යනුවෙන් චාල්ස් කුමරු පවසා ඇතැයි වාර්තාවේ.
විලියම් කුමරු සිය දරු පවුල හා පදිංචිව සිටිනුයේ එලිසබත් මහ රැජනගේ
සැන්ඩ්‍රිංග්හැම් වතුයායේ පිහිටි නෝෆෝර්ක් හි ඇන්මර් මන්දිරයේ ය.
ඔහු සිය දරු පවුල චාල්ස් කුමරුගේ මන්දිරයෙන් රැගෙන ගියේ නිදහසේ ජීවත්වීමට බව ද ඇතැම් දෙනා පවසති. කේට් කුමරියගේ මව වන කැරොල් පැවත එනුයේ සාමාන්‍ය පවුලකිනි. ඇය චාල්ස් කුමරුගේ බිරිය කැමිලා පාකර් සමඟ වැඩි පයුරු පාසානයක් පැවැත්වීමට අකැමැති බව ද කියති. විලියම් කුමරු සහ කේට් කුමරිය සිය කාලයෙන් වැඩි හරියක් ගත කරන්නේ ඔවුන්ගේ ඇන්මර් මන්දිරයේ ය. මිඩිල්ටන් යුවළ මේ නිවෙසට නිතර යන එන අතර ගෙදර දොර වැඩ කටයුතුවලට ද මැදිහත් වෙති. පසුගිය නත්තලේදී විලියම් කුමරු ඔවුන් සඳහා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ සම්ප්‍රදායිකව නත්තල් දා මහ රැජන සමඟ ආහාර ගැනීම ද මඟ හරිමිනි. මෑතකදී ඇන්මර් මන්දිරයේ නිවාස පාලක හා උද්‍යාන භාරකරු ලෙස කටයුතු කළ දෙදෙනා සේවයෙන් ඉවත් වූහ. “ඒ නිවෙසේ වැඩකටයුතු සිදුවන්නේ රාජකීයයන් වෙසෙන මන්දිරයක ලෙස නොවෙයි. එහි වැඩ කෙරෙන්නේ සාමාන්‍ය නිවෙසක පරිද්දෙනුයි” යනුවෙන් ඔවුන් පවසා ඇතැයි වාර්තා විය. මේ සියල්ලගෙන් පැහැදිලි වන්නේ විලියම් කුමරු සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කරන බව ය. එහෙත්,මරුගේ හිතට එතරම් ප්‍රියක් ගෙන නොදෙන බව පැවැසේ. චාල්ස් කුමරු මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳ රජ ගෙදරින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඉන් කියැවුණේ රජ පවුලේ සබඳතා ඉතා දැඩිව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |