![]() ![]() |
||
මට පරාජය උහුලන්න බෑදකුණු අප්‍රිකානු නායකමට පරාජය උහුලන්න බෑ. අපේ කොල්ලෝ පාකිස්තාන තරගය පරාජයට පත්වුණේ හරියට දෙවැනිපෙළ කණ්ඩායමක් ලෙසයි.
දැන් දකුණු අප්‍රිකානු පිලට සිදුවී ඇත්තේ එයයි. තම කණ්ඩායමේ පිතිහරඹ පෙළගැස්ම පිළිබඳ දැඩි කනස්සල්ලට පත්ව සිටින නායක ඒ.බී.ඩිවිලියර්ස් පිතිකරුවකු ලෙස ඉදිරියෙන් පසුවන තමාට කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ගෙන් කිසිදු සහයක් නොලැබෙන බවට චෝදනා නගයි. මෙවර ලෝක කුසලාන තරගමාලාවට සහභාගිවීමට ඔස්ට්‍රේලියානු මහාද්වීපයට පැමිණීමටත් පෙර සිට ලෝක ක්‍රිකට් විචාරකයන්ගේ වැඩි අවධානයට ලක්වූ දකුණු අප්‍රිකානු පිල 2015 ලෝක කුසලානය අත්කරගනු ඇති බවට පළවූ අනාවැකිවල නිමක් නැත. එහෙත් මූලික වටයේ දී ඔවුන් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි ඉන්දියාවට හා පාකිස්තානයට පරාජයවෙමින් ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්විය. ‘මට පරාජය උහුලන්න බෑ. අපේ කොල්ලෝ පාකිස්තාන තරගය පරාජයට පත්වුණේ හරියට දෙවැනිපෙළ කණ්ඩායමක් ලෙසයි.‘ පාකිස්තානය සමග පැවැති තරගයෙන් පසුව ඩිවිලියර්ස් සිය සගයන්ට එසේ දෝෂාරෝපණය කළේය.
නමුත් ඒබ්‍රහම් බෙන්ජමින් ඩි විලියර්ස් ගේ
නිහතමානී ගතිය ඔහු පිත්තෙන් දක්වන පුදුමාකාර කුසලතාව මෙන්ම සිත් ඇදගන්නා
සුලු එකකි.
ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය, වේගවත්ම ශතකය මෙන්ම ලොව වේගවත්ම ලකුණු 150ට හිමිකම් කියන ඩිවිලියර්ස්ට සිය කණ්ඩායමේ වැඩි බර කරට ගැනීමට සිදුවී තිබීම එක් අතකින් කනගාටුදායක කරුණකි. අනිත් අතට ලකුණු අතරේ සිටින ඩිවිලියර්ස්ට අතිරේක පීඩනයක් ඇතිකරවන්නකි. ඩිවිලියර්ස් මෙන්ම විස්මිත දස්කම්වලින් පිරුණු ක්‍රීඩකයන් ලෙස හෂීම් අම්ලා, ෆෆ් ඩුප්ලෙසිස්, කුවින්ටන් ඩි කොක්, ඩේවිඩ් මිලර්, ඩේල් ස්ටේන් සහ මෝනි මෝකල් මෙවර ලෝක කුසලාන තරගමාලාවට එක්වී සිටියත් බලාපොරොත්තු වූ තරමේ දස්කම් ඔවුන් වෙතින් තවමත් දකින්නට නොමැත. තරමක් හෝ ලකුණු අතරට පැමිණීමට සමත්වූයේ අම්ලා පමණි. එහෙත් ඔහුගේ ආරම්භක සගයා වන ක්වින්ටන් ඩි කොක් ලෝක කුසලාන තරගමාලාවේ මෙතෙක් පැවැති තරගවල දී සාර්ථක වූයේ නැත. බොහෝ අවස්ථාවලදී නායකයාට වේලාසනින්ම පිටියට පැමිණීමට සිදුවීය.
එහෙත් ඩිවිලිර්යස් විජ්ජාසහගත පිතිහරඹයක් ඉදිරි වටවලදී පෙන්නුම් කරන්නේ නම් දකුණු අප්‍රිකාවට සිය පළමු ලෝක කුසලානය අත්කරගැනිමට ප්‍රබල සාධකයක් වනු ඇතැයි පොලොක් විශ්වාස කරයි. ‘ඔහු තමයි කණ්ඩායම ඉදිරියට අරගෙන යන සුපිරිතරුව. තව මොනවද ඕනා..? ඔහුට ඉදිරිටත් මෙවැනි ඉනිම් ක්‍රීඩා කළ හැකියි. ඔහු එවැනි ඉනිමක් ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකාවට අවශ්‍ය කරන ඉලක්කය වෙත ගෙනයාවි කියා මම බලාපොරොත්තු වෙනවා.‘ පොලොක් කියයි. එහෙත් ඔහුගේ තර්කය බිඳ දමන ඩිවිලියර්ස් කියන්නේ තනි ක්‍රීඩකයකුට කණ්ඩායම දිනවිය නොහැකි බවය. එය සැබෑවකි. ලබන 18 වැනිදා ඇරැඹෙන අර්ධ අවසන් පූර්ව වටයේ දී දකුණු අප්‍රිකානු පිලේ ඉදිරි ගමන තීරණය කෙරෙනු ඇත. ඩිවිලියර්ස් එදාට කුමක් කියාවිදැයි දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාව බලා සිටිති.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |