![]() ![]() |
||
ගීත පොතක් නිසා වැනසුණු ජෝතිගේ “ටජ්මහල”
දෙවැනි අන්තරා කොටසේ ‘මිහිරිය දෙසවන’ යන වැරැදි කොටස පළ කර ඇත්තේ ‘මහාබිමානය’ වෙනුවටය. මෙහි අප විසින් වැරදි කොටස කපා නිවැරදි යෙදුම ලියා ඇත. එහෙත් කැසට් පටිගත කිරීමේදී ජෝති අතට පත් කර තිබුණේ වැරදි යෙදුම මුද්‍රණය වී තිබූ මේ පිටුවයි. නැසීගිය ඇලෝයි ගුණවර්ධන ගීත නිබන්ධකයාණන්ගේ ගීත පදමාලා බව දක්වමින් පළ කර ඇති ‘මධුර භාෂිණී’ ගී පොතේ ඇතුළත් ඇතැම් ගී ඔහුගේ පදමාලා නොවන බවට චෝදනා නැගී තිබේ. ඒ පිළිබඳ ලිපි කියවද්දී මෙවන් ‘සිංදු පොතක්’ නිසා අගනා ගීතයක් දෙවන වර පටිගත කිරීමට සිදු වූ පුවතක් මට යළි සිහිපත් විය. කරුණාරත්න අබේසේකර සූරීන් ලියා සරත් දසනායකයන් සංගීතවත් කර එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ ‘ටජ්මහලක් තනවන්න’ එම ගීතයයි. ආනන්දයේ පාසල් සිසුවකු ව සිටි මා නොරිස් කැනල් පාරේ එවකට ජෝති ජීවත්වූ නිවෙසේ දී ඔහු මුල් වරට හමු වූයේ මගේ ප්‍රියතම ගායකයා වූ ඔහුගේ හඬින් මා ලියූ මුල්ම ගීතය ගායනා කරවා ගැනීමේ දොළදුකිනි. ඉන් පසුව නිතර ඔහු හමු වූ මම ජෝති මාලිගාවත්ත මහල් නිවාසවල පදිංචියට ගිය පසුව ද ඔහුගේ සමීපතමයන් පිරිසේ සාමාජිකයෙකු වූයෙමි. නිරතුරුව ඔහුගේ නිවෙසේ රැඳී සිටීම මගේ සිරිත විය. එසේ රැඳී සිටින විට තමන් අලුතෙන්ම ගී ගැයූ කැසට්පට ආදිය ශ්‍රවණය කරන ලෙස ජෝති අපට කියයි.
සරත් දසනායකයන් සංගීතවත් කළ, එම ගීත කීපය මම අසමින් සිටියෙමි. ‘සංගීතා’ චිත්‍රපටයට ඇන්ජලින් ගුණතිලක සමඟ ගැයූ ‘ඉරසඳ වැඳලා’ ගීය ජෝති මේ ගී එකතුවට යළි ඇය සමඟ ගයා තිබුණි. එහි ඇන්ජි ගයන කොටසේ ඇති ‘මගෙ සිත සැනසී...’ යන පදය ‘මගෙ සිත වැනසී...’ යනුවෙන් ඇය වැරදි ලෙස ගායනා කර ඇති බව පෙනී ගියේය. ටික වේලාවකට පසුව වාදනය වූයේ ‘ටජ්මහලක්’ ගීතයයි. කෝරස් කොටස හැර අන්තරා කොටස් තුනක් එහි තිබේ. ‘සිහි කර ඔබ ගැන...’ ලෙසින් ඇරඹෙන මුල් අන්තරා කොටසට පසුව ගැයෙන ‘මගේ උදානය...’ නම් දෙවන අන්තරා කොටස ගයා තිබුණේ මේ ලෙසිනි.
මගේ උදානය - අමිල නිධානය ‘මිහිරිය දෙසවන...’ නමින් පදයක් එම කොටසට මුල් ගායනයේදී ඇතුළත් නොවේ. කරුණාරත්න අබේසේකර ශූරීන් ‘ටජ්මහලක්’ ගීය මුලින්ම ලියද්දී ‘ඔබමය ජීවය - මහාබිමානය’ ලෙස ලියා තිබූ අතර මුල් පටිගත කිරීමේදී ජෝති එය එසේම ගයා තිබිණි. නිවැරැදි ද එයයි. එම කොටස මේ වතාවේ ගයද්දී වැරදුණේ කෙසේදැයි මා සිතමින් සිටින අතර ජෝති නාන කාමරයෙන් පිටතට පැමිණියේය. “මල්ලී. සිංදු ටික ඇහුව ද? කොහොම ද වැඩේ...” ඔහු විමසීය. “ජෝති අයියා, වැෙඩ් නම් හොඳයි. ඒත් වැරදුණු තැන් දෙකක් තියෙනවා” කියූ මම ‘ඉරසඳ වැඳලා’ ගීතයේ ඇන්ජලින් වැරදියට ගැයූ තැනත්, ‘ටජ්මහලක්’ ගීතයේ ‘මහාබිමානය’ වෙනුවට ‘මිහිරිය දෙසවන’ යනුවෙන් ගැයීමෙන් ජෝති අතින් සිදු වී ඇති වරදත් පෙන්වා දුන්නෙමි. ඇන්ජලින්ගේ වරද පිළිබඳ කතාව පැත්තකින් තැබූ ජෝති තමා අතින් වූ වරද ගැන කම්පා වෙමින් එය සිදු වූ අන්දම පැවසුවේය. “මම දන්නෙ නෑ මල්ලි. මට රෙකෝඩින් වෙලාවෙ ‘මල්පියලි’ සිංදු පොතක් ගෙනත් දුන්නා. ඒකෙ තිබුණ සිංදුව තමයි කිව්වෙ.” ඔහු කීවේ පසුතැවෙමිනි. කාරණාව මට පැහැදිලි වූයේ එවිටයි. කැසට්පටය නිපදවූ සරත් දසනායකයන් ජෝති අතට පත් කළ සිංදු පොත් ‘ටජ්මහලක්’ ගීතය දෝෂ සහිතව මුද්‍රණය වී තිබීම මේ අවුලට මුල බව මට වැටහිණි. දස දහස ඉක්මවා ගීත ගැයූ ජෝති කිසි විටෙකත් ඒ කිසිම ගීතයක පදමාලා සහිත කඩදාසියක් ළඟ තබාගත්තේ නැත. යම් ගීතයක් ජෝති ගායනා කළ යුතු වූ විට එම පදමාලාව නිෂ්පාදකයා විසින් ලබා දිය යුතු විය. සිංදු පොත්වලින් සොයා ගත් විට බොහෝ පදමාලා වරදින්නේය. මෙතැනදීත් එයම සිදු විය. කරු අයියා ගීතයෙන් අමතන පෙම්වතිය තමාගේ ‘මහාබිමානය’ බව පවසන පදය ‘මල්පියලි’ සිංදු පොතේ මුද්‍රණ දෝෂය නිසා ‘ටජ්මහලක්’ කැසට් ගීතයෙන් එසේ ඉවත් වී ගියේය. එහෙත් ජෝති නිවැරැදිවම ගැයූ මුල් ගීත තැටිය මේ වන විටත් ගුවන් විදුලියේ ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් පුදුමයට කරුණ වන්නේ ‘මගේ උදානය’ අන්තරාවේ අවසන් පදය වූ ‘මහාබිමානය’ වෙනුවට ‘මිහිරිය දෙසවන’ ලෙසින් ගායනා කළත් එය කිසිදු චෝදනාවකට ලක් නොවී රසිකයන් අතරට යෑමයි. ඒ වැරදුණු කොටසෙන් ගීතයේ සමස්ත අරුතට එල්ල වන ප්‍රහාරය පවා ජෝතිගේ සුමියුරු ගායනය නිසා යටපත් වූවා නොවේදැයි සිතේ. එහෙත් පුංචි සිංදු පොතක සිදු වී තිබූ මුද්‍රණ දෝෂයක් (Printing Mistake) නිසා ජෝතිගේ සොඳුරු ටජ්මහලේ මහාබිමානයට මෙවන් විශාල හානියක් සිදුවිය. මේ සිදුවීමෙන් පසුව වසර කීපයක් ජෝති ජීවත් වුවත් එම කාලය තුළ වෙනත් කැසට් පටයකට ‘ටජ්මහලක්’ නිවැරැදිවම පටිගත කිරීමේ අවස්ථාව ද ඔහුට ලැබුණේ නැත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |