කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සිළුමිණ: විශේෂාංග - සුදුර්ලභ පඬිවරයකුගේ නික්ම යෑම...

සුදුර්ලභ පඬිවරයකුගේ නික්ම යෑම...

සමාජයකට යහගුණ ඉගැන්වීම එහි පැවැත්ම සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය ක්‍රියාවකි. සමාජයකට යහපත් දේ උගන්වන්නෝ නම් එක්කෝ දෙමවුපියෝය; නැත්නම් ගුරුවරුය. මේ දෙකොටසටම ඔබ්බෙන් සිටින්නෝ ශාස්තෘවරුය. දෙමවුපියන් පුබ්බාචරිය හෙවත් පූර්ව ආචාර්යවරුන් වන මුත් පුද්ගල චරිතයකට ඔවුන්ගේ බලපෑම කිසියම් වයස් මට්ටමක් දක්වා සීමා වේ. මේ අතරින් තෙවන වර්ගය ඉතා විරලය. එවැන්නන් පහළ වන්නේ යුගාන්තර ගණනාවකිනි.

මෙහි දෙවන වර්ගය එනම් ගුරුවරු බැලූ බැල්මට අතිශයින් බහුලය. පුද්ගලයකුගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක් ඔහුට හෝ ඇයගේ අධ්‍යාත්මයට මහත් බලපෑමක් ඇති කරන්නෝ ඔවුහුය. ජීවිතය රැකගැනීමට අන් පිටුවහලක් නොමැති වූ කල අවසානයේ ගුරු පත්වීමක් හෝ ලබාගෙන රූපාන්තරණය වන ගුරුවරු අප අතර සුලභය.

වෘත්තියක් ලෙස ගුරුකම තෝරාගෙන එහි නියැළීමත් තමා වසන සමාජයට යහගුණ කියා දීමට ගුරුකමේ නියැළීමත් අතර අහස පොළොව අතර තිබෙන පරතරය මෙන් දුරස්ථ බවක් පවතී.

මෙලෙස ගුරුවරුන් ගැන මතකය අවදි කිරීමට නිමිත්ත වූයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම විශිෂ්ට ගුරුවරයකු පසුගිය දිනෙක සිය දිවි මෙහෙවර අවසන් කොට අප අතරින් සදා සමු ගැනීමයි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක නම් වූ ඒ දිසාපාමොක් ඇදුරු තෙම පසුගිය දෙවැනි දා එනම් සඳු දින හිමිදිරි යාමයේ සුවහසක් වූ සිය ප්‍රේමනීය සගයන්ගේ සිත් තුළ කිසිදු දිනෙක යළි සමනය කළ නොහැකි කාංසාවක් ඇති කරමින් කීර්තිශේෂභාවෝපගත විය.

සේනක විලයම් ඩයස් බණ්ඩාරනායකගේ උපත සිදු වූවේ 1938 අප්‍රේල් මස 22 දිනදීය. උපතින්ම මෙරට ප්‍රභූ පැළැන්තියකට අයත් වූ ඔහු සිය මූලික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙනි. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ හෙතෙම එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් 1961 වසරේදී සිය මූලික උපාධිය දිනාගත්තේය. පශ්චාත් උපාධි පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු කරගෙන යෑමට ඔහු තෝරාගත්තේ ලැබුවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි.

එහිදී 1962 වර්ෂයේදී මානව විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවද 1972 වසරේ ආචාර්ය උපාධියද ලබාගත්තේය. එක්සත් රාජධානියේ සම්භාව්‍ය විශ්වවිද්‍යාලයක් සිය අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස තෝරාගත් තරුණ බණ්ඩාරනායක විද්වතාගේ පර්යේෂණ මාර්ගෝපදේශකයා වූයේ එවක ලෝක සම්භාවනාවට පත්ව තිබූ නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්වවිද්‍යාලයේ වැන් ලොහිසන් ලියූ මහාචාර්යවරියයි. විසිවන සියවසේ මුල් භාගයේ පටන් ලෙයිඩන් විශ්වවිද්‍යාලය පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනය සඳහා ලොව පතළ කීර්තියක් අත් කරගෙන තිබිණි.

ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂයයන් සම්බන්ධයෙන් මෙරට විසූ අද්විතීය පඬිරුවනක් වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශ්‍රී ලංකාවේ ස්තූපය පිළිබඳ රචනා කරන ලද Stupa in Ceylon කෘතිය වෙනුවෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ද ලෙයිඩන් විශ්වවිද්‍යාලයෙනි.

සේනක බණ්ඩාරනායකයන් සිය ආචාර්ය උපාධිය සඳහා සම්පූර්ණ කළ Sinhalease Monastic Architecture නම් වූ කෘතිය ශ්‍රී ලංකාවේ පැරැණි ආරාමික වාස්තු විද්‍යාව හැදෑරීමට ඉවහල් වන ප්‍රධාන වූත් ප්‍රාමාණික වූත් ග්‍රන්ථය ලෙස දේශීය මෙන්ම විදේශීය විද්වතුන් අතර සම්භාවනාවට පත්ව තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ආචාර්ය සේනක බණ්ඩාරනායක පත්ව එන්නේ 1975 වසරේදීය. අනතුරුව 1980 වසරේදී පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත් වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ එතෙක් පැවැති ඉතිහාසය හා පුරාවිද්‍යා අංශය වෙනුවට ස්වාධීන පුරාවිද්‍යා අංශයක් නිර්මාණය කිරීමේ පුරෝගාමියා විය.

1980 දශකයේ මුල් භාගයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාපනය කිරිම සඳහා ආචාර්ය රෝලන්ඩ් සිල්වා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ විද්වතුන් කිහිපදෙනකු සමඟ සම උත්සාහයෙන් ක්‍රියා කිරීමත්, අනතුරුව ඒ යටතේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක සීගිරි - දඹුලු සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස පත් වීමත් ඔහුගේ ශාස්ත්‍රීය පර්යේෂණ ක්‍රියාවලියේ පමණක් නොව, ශිෂ්‍යයන් ලෙස ඔහු වටා සිටි අප වැනි ශිෂ්‍යයන්ගේ ද අනාගතය වෙනත් මඟකට යොමු කිරිමට සමත් විය.

එතෙත් සීගිරිය පිළිබඳ එච්. සී. පී. බෙල්, මහාචාර්ය සෙනරත් පරණවිතාන ආදි පුරෝගාමී විද්වතුන් විසින් සිදු කොට තිබුණු අතිවිශිෂ්ට සේවය ඒ නැවතුණු තැනින් නව මංපෙත් ඔස්සේ ඉදිරියට ගෙන යෑමට මහාචාර්ය බණ්ඩාරනායක සිය කාලය හා ශ්‍රමය නොමසුරුව කැප කළේය. වරක් සීගිරියේ ජල උද්‍යානයේ කැණීමක් ආරම්භ කරන අවස්ථාවේ ඊට අනුයුක්ත කරනු ලැබ සිටි නිලධාරීන් ඒ ස්ථානයේ තිබූ ගසක අත්තක් කැපීම පිළිබඳව උදහසට පත්ව එම වැඩපළ වසාදැමීමට ඔහු කටයුතු කළේය. ඒ ඔහුගේ සංවේදී භාවයයි.

1986 වර්ෂයේදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ ද මහාචාර්ය බණ්ඩාරනායකයි. දේශපාලනික වශයෙන් ඉතා බලවත් සබඳතා තමා සතුව තිබුණද එය තමාට වහල් කරගනු මිස තමා ඒවායෙහි වහලකු වීමට මහාචාර්ය බණ්ඩාරනායක කිසි දිනෙක උත්සාහ නොගත්තේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන් ප්‍රභූන් ලෙස සිතා කටයුතු කළ යුතු බව වරක් ඔහු අපට ප්‍රකාශ කළේය.

විද්වතුන් වනාහි ලෞකික පූජකවරු පිරිසකි (Academics are Mundane Priests) යන්න මගේ ආචාර්ය උපාධි උපදේශකවරයා වූ ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් සින්ක්ලෙයාර් නිරතුරුවම කරන ප්‍රකාශයකි. එසේම සිතීම නියම ශාස්ත්‍රාලීය සම්ප්‍රදායේ ස්වභාවය බව යුරෝපයේ ප්‍රධාන සම්භාව්‍ය විශ්වවිද්‍යාලයවල ගැවසීමෙන් තේරුම් ගත හැකිය. විශ්වවිද්‍යාලීය විද්වතුන් එසේ සිතිය යුත්තේ සමාජය ඔවුන්ගෙන් ඒ පැවැත්ම අපේක්ෂා කරන නිසාය. එසේ සිතීම අවශ්‍ය කරන යුගයක මෙවැනි ප්‍රතාපවත් පෞරුෂයක් ජාතියට අහිමි වීම ප්‍රතිස්ථාපනය කළ නොහැක්කකි.

විශ්වවිද්‍යාල ගුරුවරයකු වශයෙන් පමණක් නොව, රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙසද ඔහු වැදගත් සේවාවක් රටට ඉටු කළේය. 1999 වසරේදී ප්‍රංසයේ තානාපති වශයෙන් පත්ව ගිය ඔහු 2000 වසරේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය. ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ජාතික පර්යේෂණ සභාව, මූලික අධ්‍යයන ආයතනය ආදී ආයතන කිහිපයකට සිය සේවාව සැපයුවේය.

ඉතා ඉහළ සෞන්දර්ය රසවාදියකු වූ මහාචාර්ය බණ්ඩාරනායක සිය දිවියේ සැඳෑ සමයේදී කුඩා කවි එකතුවක් පළ කළේය. ඊට අමතරව සිතුවම් අරබයා ඔහුගේ උනන්දුව ශ්‍රී ලංකාවේ පැරණි චිත්‍ර කලාව සම්බන්ධයෙන් පමණක් නොව නූතන ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව සම්බන්ධයෙන් ද ප්‍රකට විය. ඔහු විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ පර්වත සහ බිතුසිතුවම්’ නම් වූ කෘතිය එම විෂය පිළිබඳ මෙරට පළ වූ ප්‍රමාණික ග්‍රන්ථයකි.

පැතිකඩ කිහිපයක් පුරා විහිදුණු සුවිශේෂ දක්ෂතා එක් පුද්ගල චරිතයක පිහිටන්නේ කලාතුරකිනි. එවැනි චරිත සමාජයක් විසින් හඳුනාගන්නේ ඒ ඒ යුග මඟින් බිහි කරන ලද මහා පුරුෂයන් වශයෙනි. සේනක බණ්ඩාරනායක යනු තවත් එවැනි මහා පුරුෂයෙකි. විෂය ඥානය, පරිචය, සෞන්දර්යකාමිත්වය, නීතිගරුක බව, නායකත්වය සහ මානව දයාව ඒ මහා පුරුෂයාගේ චරිතය ඔප් නැංවූ ලක්ෂණයි. දිවංගත මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ට අපි නිවන් සුව පතමු!


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk