![]() ![]() |
||
සේවකයන්ට ‘පරිප්පු’ කන්න වෙන්නේ කාගේ වරදින්ද?කැලණියේ පරිප්පු ගබඩාවේ ඛේදවාචකය
තවදුරටත් ගමේ කුලී වැඩ සොයා ගැනීමට නොහැකි නිසා ම ඔහු කොළඹට පැමිණිය ද අනාගතය පිළිබඳ හර්ෂට මහ මෙරක් තරම් බලාපොරොත්තු නොවී ය. ජීවත් වීමේ සටන හැර ඔවුන්ගේ සිත් තුළ සිහින මාලිගා තිබුණේ ද නැත. ගිනියම් අව්වේ තද රස්නය දරා ගත නොහැකිව කොළඹ ඔහුට නුහුරු වූවත් ගිනියම් වූ තාර පාර දිගේ පාවහන් දෙකට ඔරොත්තු නොදෙන තරම් දුරක් ඔහු දෙපයින් ඇවිද ගිෙය් ය. කැලණිය පට්ටිවිල හන්දියෙන් බැස පට්ටිවිල පල්සන් ස්පිලිටින් ආයතනයට රැකියාවකට පැමිණියේ ය. එදා සිට ඔහු වසර කිහිපයක් එහි කම්කරුවකු ලෙස සේවය කළේ ය. යන්ත්‍ර සූත්‍රවලින් පරිප්පු පිරිපහදු වී ගෝනිවලට පිරෙන ආකාරය මුල් දිනවල ඔහුට අලුත් අත්දැකීමක් විය. පසුව මේ හිත්පිත් නැති යකඩ සමඟ දහදිය මුගුරු වගුරා දැඩි වෙහෙසක් දරා නිහඬව සේවය කිරීමට හර්ෂ මෙන් ම දුර බැහැරින් පැමිණෙන තරුණයෝ හුරු පුරුදු වූහ. තම සේවයට සරිලන අතිකාල දීමනා, පාරිතෝෂිත දීමනා හෝ ප්‍රසාද දීමනා පිළිබඳව පමණක් නොව සේවයට සරිලන වැටුප පිළිබඳව ඔවුන් ප්‍රශ්න නොනැඟුවේ රැකියාව අහිමි වෙතියි බිය නිසා ය. දිනය මාර්තු 10 වැනිදා ය. ඔරලෝසුවේ වෙලාව රාත්‍රි අටයි තිහ පසු වී තිබිණි. හර්ෂ සුපුරුදු රාත්‍රි වැඩ මුරයේ සේවා අරඹා තිබිණි. යන්ත්‍ර සූත්‍ර මගින් පරිප්පු පිරිපහදු වීමෙන් පසු බැහැර වන අවශේෂ ද්‍රව්‍ය එකතු කිරීම සඳහා තබා ඇති බහලුව ඉවත් කොට අපද්‍රව්‍ය බහලුම් මල්ලක් අදාළ ස්ථානයේ තැබීම ඔහුගේ රාජකාරිය විය. නිහඬව තම සේවයෙහි යෙදී සිටි සේවකයන්ට මහා ශබ්දයත් සමඟ විශාල පිපිරුම් හඬක් ඇසිණි. සියලු සේවකයන් ඒ ශබ්දය නැගුණු දෙසට දිව යනවිට ධූලිවලා අහසට නැඟෙමින් පිරිපහදු නොකළ පරිප්පු කන්දක් මෙන් එක්තැනකට ගොඩ ගැසෙමින් තිබිණි.
ඒ අසලට සැනණන් පැමිණි සියලු දෙනාගේ මතකයට නැඟුණේ ටැංකිය අසල රාත්‍රි වැඩ මුරයෙහි නියැළී සිටි හර්ෂ උදාර නම් සේවකයා පිළිබඳ වය. ආයතනයේ මුර සේවයේ යෙදී සිටි ආරක්ෂක අංශවල ද ආයතනයේ සේවකයෝ ද අසල්වාසීන් ද හර්ෂ සෙවීමේ මෙහෙයුමක නිරතවූහ. ඇතැමෙක් තම දෑත් පමණක් භාවිතා කරමින් තම මිතුරා සොයා ගැනීමට වෙහෙසුණහ. තවත් සමහරෙක් උදලු භාවිතා කරමින් මේ පරිප්පු කන්ද පීරා තම මිතුරා සෙවීමේ මහා ප්‍රයත්නයක නියැළුණහ. ආයතනයේ තවත් සමහර නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී බැකෝ යන්ත්‍ර ගෙන ඒමට කටයුතු කළ ද මේ බැකෝ යන්ත්‍රවලට එතැනට ළඟා වීමට පහසු නොවීය. එක් පසෙකින් වෙල් යායකි, අනෙක් පසින් සුසාන භූමියකි. මේ හේතුවෙන් යුහුසුලුව ක්‍රියාත්මක වූවත් ප්‍රායෝගිකව මතු වී තිබූ ගැටලු හමුවේ හර්ෂ බේරා ගැනීමට අපහසුතා මතු විය. ආයතනයේ නිලධාරීන්ගේ දැනුවත් කිරීමෙන් අදාළ පොලිස් ස්ථානය වන කැලණිය පොලිස් ස්ථානයේ නිලධාරීහු ද ගිනි නිවීමේ රථයක් ද එහි පැමිණියහ. තම සගයා බේරා ගැනීමේ ප්‍රයත්නය සහෝදර සේවකයන් අත්හැරියේ නැත. ඔහුගේ ජීවිතය දෛවයට හෝ දෙවියන්ට භාරදී ඉවත බලා සිටීමට දුක හඳුනන සේවකයන් ඉඩ තැබුවේ නැත. හර්ෂ සෙවීමේ උදාර කර්තව්‍යයට ඔවුන්ට හැකි පමණින් දායක වීමට සේවකයෝ ද නිලධාරීහු ද යුහුසුලු වූහ. ඉන් අනතුරුව යුද හමුදා ආපදා රථ විශේෂ කාර්ය බළකාය, බියගම, කැලණිය, සහයෝගය ඇතිව පැය 28 ක් ගතවීමෙන් අනතුරුව හර්ෂ හමු විය. එහෙත් ඒ වනවිටත් මොනරාගල වැල්ලවායේ සිට ජීවත්වීම සඳහා කීයක් හෝ හරි හම්බ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණ දිවා රෑ නොබලා වෙහෙසුණු හර්ෂ අනපේක්ෂිත ලෙස පරිප්පු ටොන් දහස් ගණනකට යටවී අකාලයේ මෙලොව හැර ගොස් සිටියේ ය. දවසට රුපියල් 680 ක වැටුපක් ලබා ගැනීමට පරිප්පු ටොන් ගණන් කරමතින් රැගෙන ගිය හර්ෂ ඒ පරිප්පු ටොන් දහස් ගණනකට යට වී මෙලොව හැර ගොස් සිටියේය. පුපුරා ගිය බහාලුම් ටැංකියේ නිසි ප්‍රමිතිය පිළිබඳ ඉදිකිරීම් කළ ආයතනයේ නිර්දේශය අනුව මේ පරිප්පු පිරවූ බහාලුම් පුපුරා යාමට නොහැකි ය. වරද සිදු වූයේ කොතැනද? බහාලුම් ටැංකියේ නිසි ප්‍රමිතියක් නැතිකම ද? එසේත් නොමැති නම් බහාලුම් ටැංකියට පිරවිය යුතු ප්‍රමාණයට වඩා ගබඩා කර ඇති බව ද? එහෙත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් ඇති බව එහි ගිය අපට ද දැක ගත හැකි විය. ටැංකිය පුපුරා ගිය ස්ථානයේ ම සවිකර ඇති අනෙක් ටැංකිය ද පුපුරා ගොස් ය. එහි ද ඇති පරිප්පු ඉවතට පැමිණෙමින් ඇත. වරද කොතැනක වුව ද එය නිවැරැදි විය යුතු ය. එසේ නොමැතිනම් සිදු වන්නේ වටිනා මනුස්ස ජීවිතවලට තර්ජන එල්ල වීම ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |