![]() ![]() |
||
මවුබිම යනු තමන්වත් පවුලක්වත් නොවේවල් ඌරන් කැකුණ තළන කොට හබන් කුකුළන්ට ජය මඟුල් යැයි ජන කියමනක් පවතී. 'මවුබිම අනතුරේ’ මැයෙන් මහනුවර පැවැති ජන රැලියෙහි පැවැත්වුණු කතා ඇසීමෙන් මේ ජන කියමන මාහට නැවත සිහිපත් විය. එහි ප්‍රධාන කථිකයකු වූ හිටපු ඇමැති වාසුදේව නානායක්කාරගේ අදහස වන්නේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් බව ය. විමල්, ගම්මන්පිල හා දිනේෂ් යනාදීන් එය ම පුනරුච්චාරණය කිරීම අරුමයක් නො වන්නේ කුමන්ත්‍රණ කතාවලින් එහා ගිය දැක්මක් මෙතෙක් ඔවුන්ගෙන් ප්‍රකාශ වී නොමැති හෙයිනි. එහෙත් වාසුදේව? ඔහු එසේ මෙසේ අයකු නොව වාමාංශික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකි. ජාතික එක්සත්කම උදෙසා පිහිටුවන ලද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය බාර වී තිබුණේ ද ඔහුට ය. වාසුදේව, තිස්ස විතාරණ හා ඩිව් ගුණසේකර යනාදී වාමාංශික පක්ෂ නායකයෝ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය නොදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දීම නිසා අලි අමාරුවක වැටුණහ. මෛත්‍රිපාල සිරිසේන මහතාට උදව් කළා නම් ඔවුන් හට ද මොනවා හෝ ඇමැති ධූර ලබා ගැනීමේ ඉඩක් තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව තිස්ස විතාරණ හා ඩිව් ගුණසේකර යම් නම්‍යශීලී බවක් පෙන්නුම් කර ඇතත් වාසුගේ අභිප්‍රාය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා කෙළින් කරවා ඔහු අගමැති ධූරයට පත් කර තමන් එහි බලපංගුකාරයකු වීම ය. මේ අපේක්ෂාව ඉටුවේද? මහින්ද රාජපක්ෂ මහතා පැරැදුණේ ඇයි? එය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ද? දේශීය කුමන්ත්‍රණයක් ද? හබන් කුකුළා කවුද? ජය මඟුල් කාටද? සියලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පයින් ගසමින් ගෙන ගිය ඒකාධිපතිත්වයට බර වූ පවුල් පාලනය, මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙන ගිය මර්දනකාරී ප්‍රතිපත්තියත්, ජන අරගල මැඬලූ මිලිටරි යන්ත්‍රණයත් හා ජනමාධ්‍ය මර්දනයත් යනාදී බොහෝ කරුණු මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට බලපෑවේ ය. මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දේශීය වශයෙන් ගොඩනැඟුණු විවාදාපන්න තත්ත්වය ජාත්‍යන්තරය දක්වා ගියේ ය. අගවිනිසුරුවරිය ගෙදර යැවීමේදී ක්‍රියාත්මක වූයේ පාදඩ පිළිවෙතකි. පරාජයෙන් පසුව මේ කිසිවක් පිළිබඳ ස්වයං විවේචනයක් සඳහා අභ්‍යන්තර සූදානමක් නොමැති පරාජිත දේශපාලකයකු යළි නැගිටුවීම සඳහා වාසු, විමල්, දිනේෂ්, ගම්මන්පිල කල්ලිය ශ්‍රීලනිපයට ලණු දෙන්නේ ඔවුනට යෑම සඳහා වෙනත් මගක් නොමැති නිසා ය. හිට්ලර්ගේ පාලනයේ මුල් කාලයේ දේශප්‍රේමයෙන්, අවිචාරයෙන් හා මිථ්‍යාවෙන් උමතු කරවන ජර්මානුවන් මෙන් හැසිරෙන විශාල ජනකායක් තවමත් ධාතු වන්දනාවේ යෙදෙන්නාක් මෙන් මහින්ද වන්දනාවේ යෙදෙන බව මේ කල්ලිය දනී. මේ කල්ලිය කැකුණ තළන වල් ඌරන්ට සමාන ය. ‘මවු බිම අනතුරේ’ යනුවෙන් නගන මහා ඝෝෂාව කැකුණ තළන විට ඇසෙන හඬ මිස අන්කිසිවක් නොවේ. ‘සංවර්ධන ව්‍යාපෘති’ සියල්ල ඇණ හිට ඇති බව විමල් වීරවංශ නුවර රැස්වීමේ දී කියා සිටියේ ය. පසුගිය ආණ්ඩුව දියත් කළ මාර්ග හා නගර සංවර්ධනය යනාදී ව්‍යාපෘතිවලදී එතෙක් පැවති ටෙන්ඩර් පටිපාටිය යකාට ගියේ ය. මහා භාණ්ඩාගාර ලේකම්ගේ චක්‍ර ලේඛයක් ද වහල්කොට ගනිමින් රාජපක්ෂවාදීන්ට මහා පරිමාණ ව්‍යාපෘති ඔස්සේ හම්බ කර ගැනීමේ අවස්ථාව ලැබිණ. ප්‍රාදේශීය මන්ත්‍රී දක්වා විවිධ ස්තරවලට අඩු වැඩි වශයෙන් මේ වාසිය ලැබිණ. විමල් මේ හඬ නගන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍රියාත්මක වූ දූෂිත ව්‍යාපෘති කිහිපයක් අතර මග නතරවීම සම්බන්ධයෙන් විය හැකි ය. දින සියයේ වැඩපිළිවෙළ විවිධ අඩු පාඩු මැද්දේ ඉදිරියට යන අතරතුර ‘මවුබිම අනතුරේ’ රැස්වීම් ද රටපුරා ව්‍යාප්ත වෙමින් පවතී. යන එන මං නැතිවූ කල්ලියකගේ මෙහෙයවීමෙන් සංවිධානය වන මේ රැස්වීම්වලට ප්‍රාදේශීය වශයෙන් නායකත්වය දෙන පළාත් සභා හා ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන් දකින විට හබන් කුකුළන් රැළක් ම හඳුනාගත හැකි වේ. දින සියයේ වැඩපිළිවෙෙළහි ඇතුළත් වූයේ මොනවාද? දූෂණය හා වංචාවට වැඩ බඳින පියවර ගණනාවක් එහි ඇතුළත් ය. ජාතික විගණන පනත, ජාතික ඔෟෂධ නියාමන අධිකාරියක් පිහිටුවීමේ පනත, හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත, මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත, නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පනත හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ ඇතැම් පණත්වල අඩු පාඩු ඇත. මහජන සංවාදයට ලක් කිරීම සඳහා කාලය හා වෙනත් බාධක ද ඇති විය. එහෙත් මේවා ක්‍රියාත්මක වීමේදී සංශෝධන සඳහා ඉඩ කඩ පවතී. දින සීයට ඇතුළත් යෝජනා සියල්ල රට අනතුරේ හෙළනු වෙනුවට රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීම සඳහා යෝජිත ඒවා ය. දශක ගණනාවක් තිස්සේ යහපාලනයක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පාර්ශ්ව ගණනාවක් අපේක්ෂා මෙහි කැටිවී තිබේ. මහින්ද රාජපක්ෂට ගෙදර යන්නට සිදුවූයේ මේ අපේක්ෂා කිසිවක් ඉටු කරනු වෙනුවට අර්ධ මිලිටරි රාජ්‍යයක් කරා යෑමට ඔහු දැරූ උත්සාහයෙහි ප්‍රතිඵලයක් හැටියට ය. මේවා එකින් එක ක්‍රියාත්මක වෙමින්, නිදහසේ හා සමාජ සාධාරණත්වයේ සුළං හමන විට යළි නොනැගිටින මර නින්දට යැවෙන පරාජිත දේශපාලකයකු කෙළින් කරමින් ‘මවුබිම අනතුරේ’ මන්ත්‍රය ජප කරන විට මවුබිම කුමක් ද හා අනතුර කුමක්ද යන ගැටලුවට ද පැන නගී. ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පැරදුණු විට පවුල් පාලනය අර්බුදයට හෙවත් අනතුරට ලක්විය. පවුල් පාලනයට ආවඩමින් හරි හම්බ කරගත් කුඩු - කැසිනෝ ජාවාරම්කරුවන් ප්‍රමුඛ කළු සල්ලිකාරයෝ ද සංවර්ධනයේ නාමයෙන් හම්බු කරගත් ඊනියා දේශප්‍රේමියෝද අනතුරට ලක් වූහ. ‘මවුබිම අනතුරේ’ යනුවෙන් අදහස් වන්නේ මෙකී අය අනතුරට ලක්වීමයි. ඔවුන් තවමත් මවුබිම යැයි සිතාගෙන සිටින්නේ තමන් හෝ තම පවුල බව එයින් පෙනේ. මවුබිම අනතුරෙන් ගලවා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතු කරන වත්මන් පාලනය පෙරළා දමා පවුල හා අන්තේවාසිකයන් රැක ගැනීම ය. වාසුදේව වැනි වාමාංශික නායකයන්ට මෙහිදී දිරවා ගැනීමට බැරි තවත් ගැටලුවක් ද ඇත. එනම් එක්සත් ජාතික පක්ෂයේ අගමැති වරයකු සහ ඇමැති මණ්ඩලයක් සිටීම ය. වමේ ව්‍යාපාරය යනු අද වනවිට වම, දකුණ පටලවා ගත් වඳවේගෙන යන සත්ව කොට්ඨාසයක් වැන්න. එජාපයෙහි සහ ශ්‍රීලනිපයෙහි ඇත්තේ එකම ආර්ථික වැඩපිළිවෙළක් බව උසස් පෙළ විභාගයට පාඩම් කරන දරුවෝ ද දනිති. වම නොදනිති. ජාතික එක්සත්කම ඇති කිරීමේ ක්‍රියා මාර්ග ගැනීම අතින් වත්මනෙහි ශ්‍රීලනිපයට වඩා එජාපය ඉදිරියෙන් සිටී. මහින්ද රාජපක්ෂ මහතා උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වූයේ නොකර බැරිකමට ය. විමල් වීරවංශලා මේ ඡන්දයට විරුද්ධ වූහ. වාසුදේව එහිදී උතුෙර් පළාත් සභා ඡන්දය පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටි බව ඔහුට අමතක වුව ද අපට මතක ය. උතුරේ ජනතාව ඡන්දයෙන් තෝරාගත් මහ ඇමැති විග්නේශ්වරන් ඥාතිත්වයෙන් වාසුගේ මස්සිනා ය. එසෙවු වාසු විමල් සමඟ ‘මවුබිම අනතුරේ’ යනුවෙන් රැස්වීම්වල උගුර ලේ රහ වනතුරු කෑ ගසන විට හබන් කුකුළන්ට ජය මඟුල් ම බව, දේශපාලනයෙන් කිසිදු අයථා ඉපයීමක් කර නොමැති වාසුදේව නානායක්කාර හිටපු ඇමැතිවරයාට සිහිපත් කරමි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |