![]() ![]() |
||
පරාජිතයන් රටට පවරා ගිය වරාය නගරයේ බර
ඊට පළමුව දෙරට අතර පැවැති සම්බන්ධතා පිළිබඳව සැකෙවින් විමසා සිටිමු. හැත්තෑව දශකයේ චීනයටත් හාල් දුන් රටක් වන අපට කළගුණ සැලකීමක් ලෙස චීනය බොහෝ විට ලබා දුන්නේ මූල්‍ය ආධාරය. ලෝක ආර්ථිකයට මුහුණ දීමේ ගැටලු හමුවේ තවදුරටත් ආධාරම දිය යුතුයැයි අප බලාපොරොත්තු නොවිය යුතු වුවත්, මේ වන විට අපට ලැබෙන්නේ පොලී සහිත ණයම පමණි. මෙයින් පෙනී යන්නේ දැන් පවතින්නේ වෙළෙඳ ගනුදෙනුවක ස්වරූපය මිස හිතවත්කම් මත කරන ගනුදෙනු නොවන බවයි. ඒ බව වඩාත් තහවුරු වන්නේ වරාය නගරය පිළිබඳ චීන තානාපති යී සියැංලියැං පළමුවැනි වරට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ ව්‍යාපෘතිය දේශපාලනික වශයෙන් නොව ව්‍යාපාරික මට්ටමින් සලකන බව පැවසීම නිසාය. එක් අතකින් එයද හොඳය. දේශපාලන මට්ටමින් සැලකුවා නම් ප්‍රශ්නය දුරදිග යන්නට ඇති ඉඩකඩද වැඩි බැවිනි. එහෙත් වරාය නගරය නිසා මෙරටට ලැබෙන දේ ගැන සිතුවා මිස අපේ රටේ ආර්ථිකයට ඉන් ඇති වන ඍජු හා වක්‍ර බලපෑම පිළිීබඳ ඇගැයීමක් මේ ව්‍යාපෘතිය ට එකඟ වන්නට පෙර සිදු කර ඇත්ද? වරාය නගරය තාවකාලිකව අත්හිටුවීම විදේශ ආයෝජකයන් පිළිබඳ රජයේ මානය දක්වන දර්ශකයක් බඳුයැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව සදහන් කිරීමෙන් ඔවුන් මේ කටයුත්තට උනන්දු වන්නේ අත ලෙවකන්නට නොවන බව පැහැදිලිය. ඔවුන් පෙන්වා දෙන්නේ චීන ආයතනයට දිනකට අමෙරිකානු ඩොලර් 380000ක් බැගින් වන පාඩුව පමණි. මෙරට සේවකයන් 1000 කට ඍජුවමත් 4000 කට වක්‍රවත් රැකියා අහිමි වන බව ඔවුහු පවසති. එසේම මීටර 200ක් තනා ඇති දියකඩනයේ වැඩ අතරමග නතරවීම නිසා සිදුවන හානිය ගැනද ඔවුන් පවසන්නේ ව්‍යාපෘතිය නතර කිරීමෙන් අපට සිදුවන පාඩුව පෙන්වා දෙන්නටය. එහෙත් ව්‍යාපෘතිය සිදු කිරීමෙන් වන්නේ කුමක්ද යන්න ගැන වගකිවයුත්තන් කලින් සිතුවා නම් මේ කිසිදු පාඩුවක් වන්නේද නැත. වරාය නගරය නිසා මෙරටට සිදු වන පාරිසරික හානිය ගැන බොහෝ වර සාකච්ඡා කැරුණු අයුරු අපි දුටුවෙමු. කළු ගල් කියුබ් මිලියන 16ක් පමණ අවශ්‍ය වන මේ ඉදිකිරීමට රට තුළින් සැපයිය හැකි ප්‍රමාණය වන්නේ මිලියන දෙකක් පමණි. ඉතිරිය සපයා ගන්නට යන්නේ පෞද්ගලික මට්ටමින් කරන විකිණීම් ඔස්සේ බැවින් ඒවා ලබා ගන්නා ආකාරය පිළිබඳ ව්‍යාපෘතියට වගකීමක් නැත. මුහුදෙන් වැලි ලබා ගැනීමට පමණක් ලබාගත් පරිසර වාර්තාවක පිහිටා විශාල මුහුදු සීමාවක් ගොඩ කිරීමට යෑමෙන් උල්ලංඝනය වන්නේ ජාතික පාරිසරික පනත පමණක් නොවේ. අප රටේ පවතින නීතිය යටතේ මුහද ගොඩ කිරීමකට ද අවසර නැති බව විද්වතුන්ගේ මතයයි. කළුගල් ප්‍රශ්නය නිසා මෙන්ම මුහුද ගොඩ කිරීම නිසා ද රට අභ්‍යන්තරයේ ඇති වන්නට නියමිත ජල හිඟය, භූමියේ අස්ථාවරත්වය ආදී දහසකුත් එකක් පාරිසරික ප්‍රශ්න පිළිබඳ කිසිදු අවධානයක් යොමු වී නැත. මෙයට වගකිව යුත්තේ අපේ රට මිස චීන රජය නොවන බව ඔවුන් සඳහන් කරන අයුරින්ම සත්‍යයය. අපේ මුහුදු සීමාවේ මුහුදු ජීවීන්, සාගර දියරැලි, වරාය නගරයේ දිය කඩනය කෙසේ වන්නේද යන්න ගැන විමසා බැලිය යුත්තේ අපය. චීන සමාගමට ඇත්තේ අප කැමැත්තෙන් ඉදිරිපත් කරන සීමාවලට එකඟව වැඩ කිරීම පමණි. වරාය නගරය යම් හෙයකින් ඉදි වුව හොත් එහි ඇතිවන හෝටල් ආදියේත්, පදිංචිකරුවන්ගේත් කැලිකසළ ඉවත් කරන පිළිවෙළක් ගැන කතාවක් නැත. එහි දුවන රථවාහනවලින් ඇති වන වායු දූෂණය, එනිසා කොළඹ හා තදාසන්න පෙදෙස්වල ජනතාවට ඇතිවන ශ්වසන රෝග ආදිය ගැන නිසි ඇගැයීමක් කර නැත. මේවා චීන රජයේ වගකීම නොවේ. තමන්ගේ දරුවන් වැනි ජනතාවට සිදු වන බලපෑම ගැන විමසිලිමත් විය යුත්තේ එරටේ පියා බඳු රජයයි. ඊළග ප්‍රශ්නය චීන සබ්මැරීන කුමන අවශ්‍යතාවකට හෝ මෙරට වරායට පැමිණීමය. සේවා සපයා ගැනීමට වේවා වෙනත් අවශ්‍යතාවකට වේවා එසේ පැමිණීමෙන් පෙනී යන්නේ චීනයට නව මාවතක් හෙළි වී ඇති බවය. එය සේද මාවත යළි පණ ගැන්වීම ලෙසය ඔවුන් හදුන්වන්නේ. ඒ මාවතට පාවඩ දමන්නෝ අපිය. මේ නිසා චීන රජය අප සමඟ වැඩි බැඳීමක් ඇති කර ගනු ඇත. එහෙත් ඒ නිසා අනෙකුත් අන්තර්ජාතික සබඳතාවලට කුමක් සිදුවේද යන්න පිළිබඳ ඉදිරි දැක්මක් හෝ වගකීමක් මේ ව්‍යාපෘතියට අස්සන් කිරීමට පෙර අපට තිබුණාද? කලාපීය ආරක්ෂාව පිළිබඳ උනන්දුවන අනෙක් රටවල් මෙය දකින්නේ වෙනත් කෝණයකිනි. එය ශ්‍රී ලංකාව පිළිබඳ වැරැදි රාමුවක් ඇති කරගැනීමට ද ඉවහල් වනු නිසැකය. මේ සියල්ලටම වඩා වැදගත් කරුණ වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් යොදවන්නට නියමිත මේ ව්‍යාපෘතියට අනුව චීනයට හෙක්ටයාර 20ක් සින්නක්කර ලියා දී තවත් හෙක්ටයාර 88ක් 99 අවුරුදු බද්දට ලියා දීමයි. මේ එකඟතාව මත චීන රජය අපට දෙන ණය කොන්දේසිවල සහනයක් ලබා දීමට සලකා බලන්නට හැකි බව ද වාර්තා වන්නකි. ඒ සලකා බැලීම කෙසේ වුවත් ඉතිහාසයේ කවරදාවත් දූපතකට හිමිකමක් නොකී චීනයට අපි කැමැත්තෙන්ම දූපතක් ලියා දෙන්නෙමු. ඒ හෙක්ටයාර විස්සේ ලෙළ දෙන්නේ චීන ධජයයි. ඒ අනුව අපේ මුහුදු සීමාවෙන් කොපමණ කොටසක් ඔවුන්ට අයත් වේදැයි අවබෝධයක් නැත. සාගර සම්පත්වලින් කොපමණ කොටසක් ඔවුන් භුක්ති විඳිනු ඇත්ද? යන්නට නියමිත පිළිතුරක් සොයා බලා නැත. සාමාන්‍යයෙන් තානාපති කාර්යාලයක් පිහිටි බිම්කඩ පවා එරටට හිමි බිමක් ලෙස සලකන අතර අපේ රටේ හමුදා පොලිස් බලයවත් ඒ සීමාව තුළට අදාළ නැත. එසේ තිබියදී අපේ රට ඇතුළේ ඇති වෙනත් රටක සින්නක්කර ඉඩමක් ගැන කුමන කතාද? මේ අප කතා කරන්නේ අපට පෙනෙන සීමාවේ කෙටි කාලීන ගැටලු පිළීබඳ පමණි. ඒ අපේ පුරුද්දය. 'එන එන විදිහට ගහ උළුවස්සා' ක්‍රමයට පාරවලට තාර පැච් දාන්නා සේ මවු බිමේ භෞමික අඛණ්ඩත්වය පිළිබඳ තීරණ ගත නොහැකිය. චීනයට වේවා වෙනත් රටකට වේවා අපේ ස්වෛරීත්වයට අත ගසන්නට හොඳ ඉඩක් මෙවැනි ව්‍යාපෘති නිසා ලැබෙන බව දරුවකුට වුව වැටහේ. මාධ්‍ය සාකච්ඡාවේදී චීන තානාපතිවරයා කරුණු ඉදිරිපත් කළ ස්වභාවය සහ එවන් අවස්ථාවකට අපට මුහුණ දීමට සිදු වීමේ නිමිත්ත සපයන්නේ චීනය නොව අපමය. දෙරට අතර බැඳීම මෙන්ම අපේ රටේ අභිමානය අපට තිබීමද වැදගත්ය. හුදෙක් පටු අරමණු උදෙසා තවත් රටකින් ඇතිකරන බලපෑමේ තරම ගැන නොසිතා කටයුතු කිරීම රටවල් අතර සබඳතාව වර්ධනයට ක්‍රමෝපායයක් නොවේ. වසර තිහක් අප යුද්ධ කළේ මේ රටේ ඒකීයභාවයට, භෞමික අඛණ්ඩත්වයට තර්ජනයක් වූ දෙමළ ඊළම පරදන්නටය. එහි උණුසුම යන්නටත් පෙර ස්වකැමැත්තෙන් රටේ කොටසක් තවත් රටකට සින්නක්කර ලියා දීමේ ව්‍යාපෘතියකට අස්සන් කිරීම කෙබඳු දේශපාලන පිළිවෙතක්ද? |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |