![]() ![]() |
||
ජනතා බාරය ඔප්පු කරලා මිසක් මැතිවරණ එපාසාධාරණ සමාජයක් සඳහා වූ
ව්‍යාපාරයේ කැඳවුම්කරු
අද තැටිය රත්වෙලා. පුච්චාගත යුතු රොටි හතරක් ගැන ඔබ වහන්සේ කතා කරනවා. අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරුවන්නට පෙර මේ රොටි පුච්චා ගත යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවන්නට එපා යැයි හඬක් නඟනවා. මේ ගැන වඩාත් විග්‍රහ කළහොත්... මේක අති සුවිශේෂී මැතිවරණයක්. මේ සඳහා සූදානම් වෙද්දී මුලින්ම විහාරමහා දේවී උද්‍යානයේ සංවිධාන 49 ක් එකතු වුණා. ඒ ගොල්ලො ගිවිසුමක් ගැහුවා. ඒකෙ තියෙනවා අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට අපි සියලු දෙනාට ආරාධනා කළා ජාති බේද සියල්ල අමතක කරලා මේ අපේක්ෂකයා වටා ඒකරාශි වන්න කියලා. අපට තිබුණා පොදු අපේක්ෂාවන්. ඒ කියන්නේ සෑම දෙනාටම එකඟ විය හැකි රටේ යහපාලනය වෙනුවෙන්. සැකැසුණු පොදු ප්‍රතිපත්තියක්. එතැනින් ප්‍රධාන වෙනවා පොදු කාරණා 3 ක්. එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. දෙක 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම බලාත්මක කිරීම. ඒක ක්‍රියාත්මක වෙනකොටම 18 වැනි සංශෝධනය අහෝසි කැර ගැනීම. ඊළඟට මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. මේවා ප්‍රධානයි. තවත් අනු මාතෘකා ගොඩාක් තියෙනවා. අපි සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය ඉදිරිපත් කළේ මේ කියන කාරණා බලයට පත්වන පොදු අපේක්ෂකයා හය මාසයක් තුළ ඉෂ්ට කළ යුතුයි කියලයි. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළු කොට ඇති රනිල් වික්‍රමසිංහ මහතා වැනි අය ඇයි? හය මාසයක් ගන්නේ. අපි මේක දවස් 100 න් කරමු කීවා. අපිත් කැමැතියිනේ සුමානයකින් හරි මේක කරනවානම්. ඒ අතර එතුමන්ට උපදෙස් දෙන නීතිඥ මහත්වරුන් කියා හිටියා අපට සුමානයක් ඇති මේ වැඩ ටික කරන්ඩ කියලා. මේක තමයි මුළු මහත් ජනතාව අවදි කරපු ගිවිසුම. ඒ ගිවිසුම ගැහුවෙ කා එක්ක ද? ජනතාවත් එක්ක. මේක ජනතාවට වෙච්ච බාරයක්. නිකම් නොවේ දින තියලා අහවල් දිනේට පෙර ඔප්පු කරනවා කිව්වා. හැබැයි! ඒකෙ කොතැනකවත් නෑ අපි දින 100 ක් තුළ මැතිවරණයක් තියනවා කියලා. ඒක ස්වභාවිකව කාලය ඉකුත් වුණාම සිද්ධ වෙන්ඩ ඕනෑ දෙයක්. ලබන අවුරුද්දෙ අප්‍රේල් වෙනකම් ඒකට කාලෙ තියෙනවා. අපට මැතිවරණ ගැන ආසාවක් නෑ. අපට තියෙන්නේ මැතිවරණ අප්පිරියාවක්. හිතනකොටත් දැඩි පිළිකුල්. මේ මූලික කාරණා තුන ඉෂ්ට කරන්න. දැන් දින 60 ක් පැන්නා. එහෙම අවශ්‍යතාවක් තිබුණානම් ඒ දිනපු ගමන්නෙ ඒකට අත ගහන්ඩ තිබුණෙ. මේ ඉල්ලීම් ජනතා බාර ඉෂ්ට කරලා ඕනෑනම් 18 අහෝසි කරලා, පක්ෂ මාරු තහනම ක්‍රියාත්මක කරලා තොරතුරු දැනගැනීමේ පනත ගෙනැල්ලා මේ ඉතිරි කාලෙන් වුණත් තවත් රොටි කීපයකුත් හදාගන්න පුළුවන්. ඔබ වහන්සේ එහෙම කීවට අප්‍රේල් 23 මැතිවරණයක් පවත්වන්න එජාප. කෘත්‍යාධිකාර මණ්ඩලය හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තීරණය කරලා තියෙනවා. ඒ අයට කොහොම ද? එහෙම පුළුවන් වෙන්නේ. මැතිවරණයක් පවත්වන එක තීරණය කරන්නේ. රටේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා තවම එහෙම කියලා නෑ නේද? වැඩ ටික මෙහෙම තියෙද්දි මොකක්ද? මේ හදිසිය. ඒ අයට පුළුවන්නම් මටත් තීරණය කරන්න පුළුවන්නේ.
අපේ නායක හාමුදුරුවනේ. දැන් දැන් දේශපාලන වේදිකාවෙ ජාතික ආණ්ඩුවක් හැදීමක් ගැනත් කතා කරනවා. මේක හොරු ටික බේරා ගැනීමේ වැඩපිළිවෙළක් කියලත් ජනතාව කියනවා. එහෙම කරන්ඩ ගියොත් හොරු ඒකෙන් ආවරණය වේවි. ඉස්සෙල්ලා හොරු ටික අල්ලන්ඩ ඕනෑ. ජනාධිපතිතුමා තරග කළේ හංසයාගෙන්. එතුමා ආරාධනාවක් කළොත් එහෙම. අපි නැවත වතාවක් හංසයා වටා එකතු වෙමු. එහෙම හංසයා වටා එකතු වෙලා අපි පිහිටවමු ජාතික ආණ්ඩුවක්. අවුරුදු 2 ක් හෝ 3 ක් ඉදිරියට ගෙනියමු. මේ මේ ප්‍රතිපත්ති ටික ජයග්‍රහණය කරන තුරු කියලා. එහෙම නැත්නම් ජනාධිපතිතුමා නිර්පාක්ෂික වෙලා පක්ෂ දෙකට ආරාධනා කරනවා මැතිවරණයකට යන්ඩ. මැතිවරණයෙන් පස්සෙ ආරාධනා කරනවා දැන් අපි පක්ෂ එකතු වෙමු කියලා.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජාතික ආණ්ඩුවට ගිය ගමන් මේකෙ හොරු ටික අනෙකෙ හොර ටිකත් එක්ක එකතු වෙලා සියල්ල වහන් වෙනවා. කුඩුකාරයො, එතනෝල්කාරයො ආයිත් පාර්ලිමේන්තු යනවා කියලනේ. ඒක තමයි මාත් කියන්නේ. මහ මැතිවරණයකට පස්සෙ තමයි ජාතික ආණ්ඩුවට යන්න ඕනෑ. ඒක තමයි හරිම ක්‍රමය.
ඒත් හාමුදුරුවනේ, දැන් හාමුදුරුවන් ඉල්ලන ඔය විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීම. මැතිවරණ ක්‍රම වෙනස් කිරීම වගේ දේවල් මහ මැතිවරණයකට පෙර කරගන්ඩ බෑ කියලත් මතයක් තියෙනව? හොඳයි. කරගන්ඩ බෑ කියන හේතු මොනවා ද? දැනට මේ කියන කාරණා තුන ඉෂ්ට කැරගැනීමට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් ඡන්ද අවශ්‍යයි. දැන් මේ පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ ඡන්ද හැදිලා තියෙනවනෙ.
සමහරුන් කියනවා ඡන්දයක් තිබ්බොත් මහින්ද මහත්මයත් ඒවි. මේ වෙලාවෙ හැටියට ශ්‍රීලනිප දෙකඩ වෙනවා කියලා. මේක පැහැදිලි දේශපාලන සමාජ යථාර්ථයක් කියලා හිතනවා ද? මා හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා. ශ්‍රීලනිපයට තනියෙන් නැඟී හිටින්නට ශක්තියක් තියෙනවා. අනෙක එහෙම වෙයි කියලා හිතුණොත් මහින්ද රාජපක්ෂ මහත්මයත් බුද්ධිමත් තීරණයක් ගනීවි. එහෙම දෙකඩ නොවන්න. ඒක තමයි මා කියන්නෙ 18 අහෝසි කරන්න. 17 බල ගන්වන්න කියලා. ඒක තියෙනකම් මහින්ද මහත්මයාටත් එන්න පුළුවන්. අපේ විපක්ෂ නායකතුමා නිමල් සිරිපාල මහත්මයාත් කියනවා අපි මුලින් කතා කරන මේ ප්‍රතිසංස්කරණවලට උපරිම සහාය දෙනවා කියලා. යූඑන්පී ඡන්ද ටිකත් එකතු කරගත්තාම තුනෙන් දෙකේ බලය තියෙනවනෙ. ඉතින්! මේ වගේ අවස්ථාවක් ආයිත් කවරදා එයි ද?
මැතිවරණ ක්‍රමය වෙනස් නොකැර විධායකය වෙනස් කරන්නට පමණක් අප එකඟ නෑ කියලා විපක්ෂ නායක තුමා කියනවා. එහෙම වෙන්න බෑනෙ. එකඟ වෙන්න බෑ. තුනම කරනවා කියලා පොරොන්දු වෙලා එකක් කරන්න විතරක් ලහි ලහියේ දැඟැලුවට ඒකට කැමැති වෙන්න බෑනෙ.
හාමුදුරුවනේ, ශ්‍රීලනිපයේ නායකයා ජනාධිපතිතුමා. විපක්ෂ නායක ශ්‍රීලනිපයේ උප සභාපති. පාර්ලිමේන්තු ආසන ගණන වැඩියි. අගමැති එජාපයෙන්. එහෙම බලනකොට මේකත් සන්ධාන ආණ්ඩුවක් කියලා සමහරුන් කියනවා. මේක මහා අද්භූත ආණ්ඩුවක්. එහෙනම් ජනාධිපතිතුමා අත ලකුණෙන් එන්ඩ ඕනෙ. මොකටද හංසයෙක් අල්ලගත්තෙ. ලෝකෙ කොහේවත් බිහිවෙන්ඩ බැරි අමුතුම අද්භූත ආණ්ඩුවක් අද බිහිවෙලා. ඒකනෙ ඇත්ත.
ඔබවහන්සේ තවත් යතිවරු කීපදෙනෙකුත් ජවිපෙත් හෙළ උරුමයත් කියනවා කෝටි ගණන් ජනතා මුදල් ගසා කෑ අය ඉන්නවානම් ඒ අයත් ඉක්මනට අල්ලන්ඩ කියලා. ඒත් ඒ කෙරුවාව මන්දගාමියි? දැන් කොමිසම් පත්කරමින් යනවා. අපි කෑ ගහලා තමයි ඒ ටික කරගන්ඩ ඕනෑ. දැන් පොලීසියෙ හැම තැනම මාරු කරනවා. මාරු කළ යුත්තේ දඬුවම් ලැබිය යුතු අය. දූෂිතයො, වංචාකාරයො ඉන්නවා. ඒ අය අල්ලා ගන්නට අවශ්‍ය ශක්තිය හදාගන්ඩ කියලා තමයි මාත් කෑ ගහන්නෙ. ආණ්ඩුව මේ ගමන යන්නෙ බොහොම නිදිමතින්.
හාමුදුරුවන් ඕනෑම ජාතික කටයුත්තකදී මුල් තැනකට එනවා. ආණ්ඩු පත්කිරීමේදීත් එහෙමයි. එහෙත් මාස 6 ක් යනකොට විපක්ෂයේ. ආණ්ඩුවේ පරම ද්‍රෝහියා වෙනවා. ඒක ඇත්ත. කෙළින් කතා කරනකොට එහෙම වෙනවා. ඕනෑ ආණ්ඩුවක් පත්වෙලා උපරීම හය මාසයයි මාව සලකන්නෙ. ඊට පස්සෙ මං තමයි ආණ්ඩුවෙ පළමුවැනි ද්‍රෝහියා. ඒ මොනවා සිද්ධ වුණත් මං මේ රටේ ජනතාව සමඟයි ඉන්නෙ.
මේ දිනවල ඔබවහන්සේ ළඟට තනතුරු ඉල්ලගෙන විවිධ දේවල් ගෙවල් දොරවල් පවා ඉල්ලගෙන එන පිරිසක් ඉන්නවා කියලා ආරංචියි. කොටින්ම ඔබවහන්සේගේ පන්සලෙත් එහෙම අය ඉන්නවා. මට දවසකට ලියුම් 50 ක් 60 ක් එනවා. ඒ ඔක්කෝම තියෙන්නෙ එක්කෝ උසස්වීමක් ඉල්ලලා. නැත්නම් මාරුවීමක් හදාගන්න. ළමයා ඉස්කෝලෙට දාන්න. සජිත් මහත්මයාට කියලා ගෙයක් ඉල්ලා දෙන්න, ඉඩමක් ලබා ගැනීම රැකියාවක් ලබා ගැනීම මේ වගේ දේවල්. මිනිස්සු එන්නෙත් ඒ විදියට. ඒ අය හිතන්නෙ මේ ඔක්කොම දේවල් මට කරන්ඩ පුළුවන් කියලා. ඒ අය පුරුදු වෙලා තියෙන්නෙ මේ ක්‍රමේට. ළමයෙක් ඉස්කෝලෙ දාන්ඩ බෑ ඇමැතිතුමාගේ ලිපිය නැත්නම් කියලා. ගුරුවරයෙක්ට මාරුවීමක් හදාගන්ඩ බෑ ඇමැති සහාය නැතිව. සමහරු කියනවා ළමයා දාගන්ඩ ප්‍රින්සිපල්ට කතා කරන්න කියලා. මේ වගේ ක්‍රම නැති කරන්ඩ තමයි අපි යහපාලනය ගේන්ඩ කියන්නෙ. මේකට මාත් හවුල් කරගන්නවානම් අපරාධයක්නෙ මාත් කරන්නෙ. ඇයි? මිනිස්සු ඒ අපරාධළුලට මාව හවුල් කරගන්න බලන්නෙ.
කූඨ ලේඛන සම්බන්ධයෙන් ලොකු කතාවක් රටේ ගියා. ළමයි ස්කෝලෙ දාන්ඩ මේවා අවශ්‍යමයි කියලා. මොනවා ද? මේ ගැන කියන්නෙ. මුළු රටේම කවුරුත් කූඨ ලේඛන කරනවා. ඒක තමයි පුරුදු කරපු ක්‍රමය. ඔය ලොකු ලොකු ජනප්‍රිය ඉස්කෝල හැම එකකටම ළමයි දාලා තියෙන්නෙ කූඨ ලේඛනවලින්. බලනකොට ඒ මිනිස්සු පදිංචි ස්කෝලෙ වටේමනෙ. මේක ප්‍රසිද්ධ හොරකමක්. හාල්මැස්සෝ කූනිස්සෙක් අල්ලගෙන බොරුවට කෑ ගහනවා. හිටපු ඇමැති මර්වින් සිල්වා ටී. වී. එකේ පැය දෙකක් විතර සුදු වෑන් ගැන, මරපු හැටි, ඒ කරපු අයගෙ ගෙවල් තියෙන තැන් ගැන කියනවා. වෙලේ සුදා නම් ගම් වැලක් කියලා තියෙනවා. අඩුම තරමේ මේ ටිකවත් ප්‍රශ්න කරන්නෙ නෑනෙ. මේ ගැන සොයන්නෙ නැත්තෙ ඇයි කියලා ජනතාවටත් මටත් ප්‍රශ්නයක්. නිලධාරි ටික එකතුවෙලා අපි ඔක්කොම හොරා කාගෙන ෂේප් එකේ ඉඳිමු. එහෙම හිතනවා ද දන්නෙ නෑ.
ජනතාවට වූ බාරය මූලික කරුණු කීපය ආණ්ඩු ප්‍රතිසංස්කරණ, මැතිවරණ වෙනස වගේ දේවල් නොකැර දින සියය පසුවුණොත් ඔබවහන්සේ ඊළඟට මොකද කරන්නෙ? දින සියයක් තුළ කරනවා කියපු කිසිවක් නොකැර ජනතාව ළඟට මේ අය යන්නෙ රෙදි ඇඳගෙන ද? මූලික පොරොන්දු ඉෂ්ට නොකැර ආවට මිනිස්සු ඡන්ද දෙයි ද? මිනිස්සු හරක් බූරුවො කියලා හිතනවා ද? ඕනෑවට වඩා මිනිස්සු රැවැට්ටුවොත් ඔවුනට පීඩා කළොත් නැගිටින්නෙ වෙන දෙයක්. මේ රටේ හැම අරගලයකටම හේතු සාධක තිබුණා. මේක ගෑස් බෝම්යක් වගේ පුපුරාවි, මේක ඔබන්න එපා.
ඔබවහන්සේ ජනතාව සමඟ වීදි බසින කතාවක් කියා තිබුණා. මං බහින්ඩ ඕනැ නෑ. වීදි බසිනවා හැම කෙනෙක්ම. අහිංසාවාදයට බොරු කරනකොට නැඟිටින්නෙ ත්‍රස්තවාදය.
කොහොම වුණත් අද යම්බඳු මාධ්‍ය නිදහසක් තියෙනවා කියලා අපත් විශ්වාස කරනවා. ඒ කාලෙ ලේක්හවුස් පත්තර මිනිස්සු බැලුවෙ නෑ. ජාතික රූපවාහිනිය අයි. ටී. එන්. බැලුවේ නෑ. ගුවන් විදුලිය ඇහුවෙ නෑ. පන්සලේ වුණත් බල්ලෙක් මැරුණාම ටික කලක් යනකම් ඒ බලු ගඳ දැනෙනවා. ඒ නිසා ඒ මාධ්‍ය නිදහස් භාවිතාවකට යන එක හොඳයි. ඒක යහපාලනයේ හොඳ පෙරනිමිත්තක්. මං රාජ්‍ය මාධ්‍යවලට සාකච්ඡා නොදෙන්න තීරණය කරපු කෙනෙක්. ඒත් මේ සාකච්ඡාව එසේම පළවෙයි කියලා මට විශ්වාසයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |