කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඡන්දෙන් පස්සේ අපි පිහිටුවන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්

ඡන්දෙන් පස්සේ අපි පිහිටුවන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති
ගයන්ත කරුණාතිලක

දින සියයේ වැඩපිළිවෙළ අඩු පාඩුවක් නැතිව ක්‍රියාත්මක කරන්න රජය කැපවී සිටින බවත් එම වැඩපිළිවෙළ සම්පූර්ණ කිරීමෙන් පසු එහි සඳහන් පිළිවෙළටම මහ මැතිවරණයකට ජනතාව ඉදිරියට යන බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි. ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේ ‘සිළුමිණ’ සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ය. එහිදී ඇසූ ප්‍රශ්න කීපයක් හා ඒවාට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේ ය.

දින සියයේ කාලයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ගෙවී ගොස් තිබෙනවා. ඔබ මේ ආණ්ඩුවේ මාධ්‍ය ඇමැතිවරයා ලෙස දින සියයෙන් ඉටු කෙරුණ වැඩකොටස ගැන තෘප්තිමත් ද?

ඇත්තෙන් ම තෘප්තිමත්්‍. දින සියයෙන් දුන් පොරොන්දු දැනටමත් හොඳින් ඉටු කර ඇති නිසා ඉතිරි වැඩ කොටසත් ඉතිරි කාලය තුළ ඉටු කර අප්‍රේල් 23 පොරොන්දු වූ පරිදි මැතිවරණයකට යාමට අප අධිෂ්ඨාන කරගෙන තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්වී‍මත් සමඟ ලබාදුන් ඉන්ධන සහනය ඉතිහාසයේ කිසිදිනක ලබානොදුන් එකක් වුණා. පැට්‍රල් රුපියල් 33 කින් අඩු කළා. ඩීසල් හා භූමි තෙල් මිල ප්‍රමාණවත් ලෙස අඩුකර පොඩි මිනිහට දැනෙන බස් ගාස්තුවත් අඩු කරන්න කටයුතු කළා.

අද පොදු ජනතාවගේ පවුලේ වාහන වන මෝටර් සයිකලය හා ත්‍රීවීලරයට තෙල් ගහන කොට පළමු ලීටරයට රු. 33 කුත් දෙවන ලීටරයට රුපියල් හැටහයකුත් තෙවන ලීටරයට රුපියල් සියයකුත් ඉතිරිවෙනවා.

අපි අත්‍යවශ්‍ය භාණ්ඩ 13 ක මිල කිරිපිටි මිල පාන් පිටිමිල ඇතුළුව අඩු කළා. මේ සහන ඇත්තටම ජනතාවට ලබාදීම සඳහා එම සහනය ලබා නොදුන් වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන්නත් රජය කටයුතු කරමින් සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය තිබුණා නම් අදත් පෙට්‍රල් ලීටරය රුපියල් 150 යි. ඩීසල් ලීටරය රුපියල් 121 යි.

එසේ වූවා නම් රජයේ සේවකයාගේ පොකට්ටුවට පෙබරවාරියේ සිට රුපියල් පන්දහසක වැටුප් වැඩිවීමක් ලැබෙන්නේ නැහැ. මේ ඉතිහාසයේ කළ වැඩිම වැටුප් වැඩිවීම ලෙස සඳහන් වෙනවා.

රජයේ සේවකයාට තවත් රුපියල් පන් දහසක් ජූලි මාසයේ සිට ලැබෙනවා.

හැබැයි රජයේ විවේචකයන් නම් දින සියයෙන් ලැබුණ සහන සොච්චමක් බව පවසන්න උත්සාහ කරනවා?

එතෙක් පැවැති පවුල් පාලනයෙන් වාසි ලබාගත් කීප දෙනෙකු දොස් කියන්න උත්සාහ කළත් අද පොදු ජනතාව මේ දින සියයේ වැඩපිළිවෙළින් ලැබුණ සහන ගැන තෘප්තිමත්ව සිටිනවා. ඉතාම කෙටි කාලයක් තුළ මෙතරම් සහන දුන් ආණ්ඩුවක් ඉතිහාසයේ නැහැ.

බලන්න ඖෂධ පනත 1970 සිට සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැරුව හිටියා. මීට කලින් පසුගිය රජය අවදියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි අවදියේ මේ සම්බන්ධ පනත් කෙටුම්පතත් ‍‍‍ඖෂධ ජාවාරම් කාරයන් පැහැර ගත්තත් ඒ පනත සම්මත කර ඖෂධ මිල අඩු කරන්න මේ රජයට ශක්තිය ලැබී තිබෙනවා. ඉදිරියේ මේ පනත නිසා ‍ඖෂධ මිල එකට එකක් අඩු වෙනවා. දැනට රුපියල් හාරසියයට පමණ රටින් ගෙනෙන ඇතැම් ඖෂධ මෙරට වෙළෙඳ පොළේ රුපියල් දෙදහසට වික්කත් ඉදිරියේ ඒ මිල මේ පනත නිසා රුපියල් 200 දක්වා අඩුවෙනවා.

පැවැති රජයට දූෂණ වංචා චෝදනා බලවත් ලෙස නැගුණත් කෝ හොරු ඇල්ලුවද කියල අහන අයට ඔබ දෙන පිළිතුර මොකක්ද?

අල්ලස් හා දූෂණ මර්දන කොමිසම ශක්තිමත් කරමින් පොලිසියේ විමර්ශන දැඩි කරමින් දැන් හොරු මිනීමරුවො කුඩුකාරයෝ එතනෝල් කාරයෝ එකිනෙකා කොටුවෙමින් සිටින්නේ.

එදා 2010 විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරල් ෆොන්සේකා මහතා චෝදනා නැතුව හිර කූඩුවේ දැමුව ලෙස නීතියක් නැතිව මේ රජය කටයුතු කරන්නේ නැතත් නීතියට අනුව හොරුන්ටත් වංචා කාරයන්ට‍ත් කප්පම් කරුවන්ටත් මිනීමරුවන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා.

අමු තේ දලු කිලෝවට රුපියල් අසූවකුත් රබර් කිලෝවට රුපියල් තුන් සිය පනහක් වී කිලෝව රුපියල් පනහට මිලදී ගැනීමත් සහතික මිල ක්‍රියාත්මක කරනවා. අපේ රජයේ වැඩපිළිවෙළ අනුව අප්‍රේල් මාසය වෙනකොට පොරොන්දු ඉටු කර අනිවාර්යයෙන් ම මැතිවරණයකට ගොස් මහජන වරමක් ලබාගන්න රජය තීරණය කර තිබෙනවා.

පො‍රොන්දු ඉටුනොකර ඡන්දයකට යනවාට වඩා පොරොන්දු ඉටුකර ඡන්දයකට යන ලෙස අද කෙරෙන බලපෑම ගැන කියන්නේ කුමක්ද?

ඇත්ත වශයෙන් ම දින සියයේ වැඩපිළිවෙළින් පොරොන්දු වැඩපිළිවෙළ අකුරටම ඉටු කර දින වකවානු අනුව ඉටු කරල තමයි මේ ආණ්ඩුව ඡන්දයකට යන්නේ. මොනම හේතුවක් නිසා පොරොන්දු ඉටු නොකර ඉන්නෙත් නැහැ. පොරොන්දු වූ ආකාරයට ඡන්දයට නොගිහින් ඉන්නෙත් නැහැ.

හොරු දූෂකයන් ඇල්ලීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න රජය නිරතුරු කැපවී සිටිනවා. චෝදනා පිළිබඳ පරීක්ෂණ කර සාක්ෂි ඇති අය අත්අඩංගුවට ගනිමින් ඒ වැඩපිළිවෙළ ඉදිරියට යනවා. චෝදනා ඇති තෝරු මෝරු ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරනවා.

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී බරපතළ වංචාවක් වී ඇති බවට මේ පාලනයටත් චෝදනා නැ‍ඟෙනවා?

ඒ පිළිබඳව එහෙම වංචාවක් වෙලා තියෙනවද නැද්ද යන්න සොයා ගන්න දැනටමත් කමිටුවක් පත් කර තිබෙනවා. එදා උන් හො‍රුන්ට වගේ ම අදත් හොරකම් කරන අය ඉන්නව නම් ඒ අයටත් මේ යහපාලනය යටතේ එක විදියටම නීතිය ක්‍රියාත්මක කරනවා.

අපිට හොරු රකින්න කිසිම වුවමනාවක් නැහැ. හොරු වංචාකාරයෝ කොහේ හිටියත් කොතන හිටියත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. පසුගිය රජය ක්‍රියාත්මක කළ ආකාරයට දූෂණයක් වෙලා නැහැ කියා එය යටපත් වන ක්‍රියා නොකර මේ ආණ්ඩුව කමිටුවක් පත් කර චෝදනාව ගැන අවශ්‍ය පරීක්ෂණ කරනවා. ඒක තමයි පැවැති ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් වෙනස.

එදා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පරදවන්න පැවැති ඒකාධිපති පාලනය දිනවන්න උත්සාහ කළ පිරිස් අද මේ දින සීයේ වැඩපිළිවෙළ අඩාල කරන්න නොයෙක් විදියේ චෝදනා නඟමින් සිටියත් අප ජනතාවට දුන් පොරොන්දු එකක්වත් කඩ කරන්න මේ ආණ්ඩුව සූදානම් නැහැ.

ප්‍රබලම චෝදනාව නැ‍ඟෙන්නේ විධායකයේ බලතල අඩු කිරීම සමඟ මනාප ඡන්ද ක්‍රමය වෙනස්කර අලුත් මැතිවරණ ක්‍රමයක් ගෙනා යුතු බවටයි.

ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලු පක්ෂවල එකඟත්වය ඇතිව විපක්ෂයේත් එකඟත්වය ඇතිව විධායක ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති බලතල කප්පාදු කරන නීති ප්‍රතිසංස්කරණත් ඡන්ද ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය ගෙනෙන නීතිත් රජය ගෙනෙනවා. ඒ පොරොන්දු ඉටු කරල තමයි මේ ආණ්ඩුව ඡන්දයකට යන්නේ. කවුරුවත් පොරොන්දු ඉටු කරන්න මේ රජයට බල කරන්න ඕන කියල මා හිතන්නේ නැහැ. මොකද සෑම පොරොන්දුවක් ම ඉටු කරන වගකීම ඇතිව තමයි මේ රජය කාල සටහනකට තමන්ගේ වගකීම ඉටු කරගෙන යන්නේ.

විපක්ෂ නායකවරයා කියන්නේ විධායකයේ බලතල අඩු කරන යෝජනා සමඟම මැතිවරණ ක්‍රමය වෙනස් කරන යෝජනාත් ගෙන ආයුතු බවයි.

මේ එකක්වත් ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයටත් පසුගිය ජනාධිපතිවරණයේදී එයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාටත් කිව් දේවල් නෙවෙයි. මේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ඒකාධිපති විධායක බලතල සමඟ මහින්ද රාජපක්ෂ දිනවන්නයි ශ්‍රීලනිපය කටයුතු කළේ. නමුත් ඒ ක්‍රමය රැකගන්න ඡන්දය කළ මහින්ද රාජපක්ෂ මහතා වගේ ම ශ්‍රීලනිපයත් ඡන්දයෙන් මහජනතාව විසින් පරදවනු ලැබුවා.

අපි දින සීයෙ වැඩපිළිවෙළින් මහජනතාවට ලියල පො‍ෙරාන්දු වුණ විදියට අත්තනෝමතික විධායක ජනාධිපතික්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලි‍ෙම්න්තුවට සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපය අහෝසි කළ ස්වාධීන කොමිසන් සභා සියල්ල ශක්තිමත් කර නැවත පිහිටුවන්නත් මනාප ඡන්ද ක්‍රමය සහමුලින් අහෝසි කොට ආසනයකට මන්ත්‍රීවරයෙක් හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගන්නවා.

සියලු පක්ෂ සමඟ මේ යෝජනා සම්බන්ධ එකඟත්වයක් ඇති කරගන්නත් දැන් කටයුතු කරගෙන‍ යනවා. ප්‍රධාන පක්ෂ දෙක වගේ ම සුළු පක්ෂත් මේ සංශෝධනවලට එකඟ කරවා ගත යුතුයි.‍

අද මේ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවන්න ජනාධිපති කරවන්න ක්‍රියාත්මක වූ බලවේගය ලෙස සුළුතර ආණ්ඩුවක් ලෙස සිටිමිනුයි රටට වැදගත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ජනාධිපතිවරණයේ පරාජය වූ ශ්‍රීලනිපයට අද ජනතාව අනුමත කළ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න තමන්ගේ ඡන්දය ලබාදෙන්න අද සිදු වෙලා තියනවා. ඒ වගේ ම ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද රාජපක්ෂ මහත්තයට ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත්වෙලා ඒ තනතුර අපි ජනාධිපති ධූරයට පත්කර ගන්න සහය දුන් එම ආණ්ඩුවෙන් එළියට ඇවිත් තරඟ කළ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ලබාදෙන්නත් සිදුවෙලා තියෙනවා.

අපි කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කරමින් දින සීයේ වැඩපිළිවෙළ ඉටු කරමින් අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යාම වෙනස් කරන්න කුමන හෝ හේතුවක් දක්වමින් කටයුතු නොකරන බවයි.

ඡන්දයකට තව අවුරුද්දක පමණ කාලයක් ඇති නිසා ජාතික ආණ්ඩු පිහිටුවන්නත් ශ්‍රීලනිපයෙන් යෝජනා තියෙනවා.

අපි කියන්නේ දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉන් පසුව පත්වන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයකින් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු විය යුතු බවයි.

ඒකත් දින 100 වැඩපිළිවෙළ කොටසක් වෙනවා.

එක්සත් ජාතික පක්ෂය අලුත් ඡන්ද ක්‍රමයට ඡන්දයකට යන්න තියන බය නිසා පැරණි ඡන්ද ක්‍රමයටම ඡන්දයට යන්න හදනවා කියන චෝදනාව ගැන කියන්නේ කුමක්ද?

අපි ඡන්දයට බය නැති නිසා තමයි ප්‍රමාද නොකර පොරොන්දු වුණ විදියට ඡන්දය තියමු කියන්නේ‍. ඡන්දය ප්‍රමාද කරන්න කතා කරන්නේ ඡන්දයට බය අය තමයි.

‍‍‍අපි මොන විදියට ඡන්දය තිබ්බත් අලුත් ජනාධිපතිවරයෙක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරන්න උර දුන් පක්ෂය ලෙස මේ රටේ මීළඟ ආණ්ඩුව පිහිටුවන්න කටයුතු කරනවා. පැරැණි හෝ අලුත් ක්‍රමයට ඡන්දයට මුහුණ දෙන්න අපි සූදානම්.

එහිදී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුවක් පිහිටුවනවා වගේ ම ඊළඟට ආසන ප්‍රමාණයක් ලබාගන්න පක්ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයක් පිරිනැමෙනවා.

අපි කියන්නේ කුමන ක්‍රමය ක්‍රියාත්මක කළත් ඡන්දය කල් නොදැමිය යුතුය කියලයි.

ප්‍රධාන පක්ෂ දෙක වගේ ම සියලු ම පක්ෂවල සහාය ලබාගෙනයි අපි මේ සංශෝධන දින සියයේ වැඩපිළිවෙළට අනුව ඉදිරිපත් කරන්නේ. මෙතැනදී එක එක හේතු දක්වල ඡන්ද කල් දාන්න අපට කිසිසේත් ඕන කමක් නැහැ.

නව ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කරන්න නම් සීමා නිර්ණය කාලය ගතවන බව කියනවා. හැබැයි පවතින ඡන්ද ක්‍රමය හැමදාම විවේචනයට ලක්වුණු එකක්...?

අපි මූලික එකඟත්වයක් මිශ්‍ර ඡන්ද ක්‍රමය ගැන තියෙනවා. අපි මොන හේතුවක් නිසා හෝ ඡන්ද කල්දැම්මොත් ඒක ජනතාවට කරන අසාධාරණයක්. ඒ නිසා පාර්ලිමේන්තුව අප්‍රේල් 23 වැනිදා විසුරුවා හැරීමෙන් පසු ඡන්දය පැවැත්විය හැකි ක්‍රමයට ඡන්දය තියනවා.

පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩ නතරවෙලා ති‍ෙයනව කියන චෝදනාව ගැන කුමක්ද කියන්නේ?

පසුගිය ආණ්ඩුව සමහර වැඩපිළිවෙළට බෝඩ් ගහල තිබුණත් සල්ලි සතයක් වෙන් කරල නැහැ. තවත් සමහර ව්‍යාපෘති පිළිබඳව නැවත සොයා බැලීමක් කරන්න වෙනවා.

පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ සමහර අධිවේග ඉදිකිරීම් ලෝකයේ කොහේවත් නොකරපු තරම් අධික මුදල් වැය කරල කරපු ඉදිකිරීම් බව හෙළිවී තියෙනවා.

කොළඹ වරාය නගරය පිළිබඳව එල්ල වෙලා තියන චෝදනා කවුරුත් දන්නවා‍. මේ පිළිබඳවත් නැවත සලකා බැලීමක් කරන්න වෙලා තියෙනවා.

අපි කිසිම විදියකින් සංවර්ධන ගමන අඩාල කරන්නේ නැහැ.‍ අපට අවශ්‍ය වේගවත් සංවර්ධන ගමනකට මුල පුරමින් මේ ර‍ෙට් ජනතාවගේ ජීවිත නංවන නිෂ්පාදනය ඉහළ නංවන වැඩපිළිවෙළකට ඉක්මනින් මේ රට අවතීර්ණය කරවන්න‍.

අපි දැන් මේ රටේ නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ලෝක බලවතුන්ගේ යුද පිටියක් වෙන්න ගිය මේ රට සෑම රටකම සහයෝගය දිනාගනිමින් සියලු අසල්වැසි රටවල් සමඟ සමීප සබඳතා ඇති කරන්න මේ දින සීය තුළම මුල පුරා තියෙනවා.

පසුගිය කාලය තුළ ජිනීවා හිදී ලංකාවට විරුද්ධ වුණ ඉන්දියාව නව ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු එතුමාට එරටට ආරාධනය කරල ඉහළින් ම පිළිඅරන් ඉන්දියානු නායකයවත් දසක දෙකකට පස්සේ මේ රටට ගෙන්වල. රටවල් දෙක අතර සබඳතා තවත් තර කර ගන්න අපට හැකිවීම මේ රජය හා ජනාධිපතිතුමා ලත් ජයග්‍රහණයක්.

ඒ විතරක් නෙවෙයි පසුගිය ආණ්ඩුවේ වරදින් මේ රටට විරුද්ධව ජිනීවා හිදී ආරම්භ වුණ යුද අපරාධ චෝදනා පරීක්ෂණ වාර්තා එළි දැක්වීම කල් දාල දේශීය පරීක්ෂණයකට ඉඩකඩ ලබා ගැනීමටත් හැකි වුණා.

පසුගිය ආණ්ඩුවේ වරදින් ලෝකයෙන් කොන් වෙමින් තිබුණ අපේ රට ලෝකයේ සියලු රටවල හොඳ හිත දිනාගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන් වාතාවරණයක් දැන් අපි ඇති කරල තියෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලන කරළියට ගෙන එන්න දරන උත්සාහය ඔබ දකින්නේ කොහොමද?

අපි යහපාලනය ක්‍රියාත්මක කරන්නේ. මහින්ද මහත්තය ක්‍රියාත්මක කළ පරාද වුණ අපේක්ෂකයව හිරේදාන ප්‍රතිපත්තිය මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළේ නැහැ.

අද ශ්‍රීලනිප නුගේගොඩ කල්ලිය, අර කල්ලිය, මේ කල්ලිය කියල කල්ලි කීපයකට කැඩිල තියෙනවා. අනෙක් පැත්තෙන් දේශපාලන අනාථයන් වුණ කිහිප දෙනෙකුට තමන්ගේ පැවැත්ම සඳහා හිටපු ජනාධිපතිවරයාව නැවත ගේන්න ඕන වෙලා තියෙනවා.

හිටපු ජනාධිපති සකල බලය යොදවල කෝටි ප්‍රකෝටි ගණන් ඡන්දෙට වියදම් කරල තම බලය රැකගන්න උත්සාහ කළත් ඔහුව ඡන්දයෙන් පරාජය කර ගෙදර යවන්න එජාපය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ‍බලවේගයට පුළුවන් වුණා.

කවුරුත් දන්නවා රාජ්‍ය මාධ්‍ය පෞද්ගලික මාධ්‍ය වලටත් එකසේ බලපෑම් කරමින් හිටපු ජනාධිපතිවරයා බඩු බෙදමින් කරගෙන ගිය ඡන්ද ව්‍යාපාරය ගැන.

එහෙම බලය යොදවලත් ඔහු ඡන්දයෙන් පැරදුණා. අද රාජ්‍ය මාධ්‍ය සිර කරලා නැහැ. ඔවුන්ට නිදහස ලබාදීල තියනවා.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට හිටපු ජනාධිපතිවරයාගේ ඒම හෝ නොඒම ප්‍රශ්නයක් නොවෙයි.

අපි ඊළඟ ඡන්දයෙන් බහුතරය දිනල ස්ථිර වශයෙන් ම ආණ්ඩුව පිහිටුවනවා. එතැනදී අපි පිහිටුවන්නේ සියලුම පක්ෂ එකතු කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක්.

සමෘද්ධිලාභීන් සම්බන්ධයෙන් ගන්න යන්නේ කුමන පියවරක් ද?

දේශපාලන බලපෑම් අනුව සමෘද්ධිය ලැබිය යුතු අය එම දීමනාව නොලැබෙන බවත් නුසුදුසු අයටත් එම දීමනාව ලැබෙන බවත් නැ‍ෙඟන චෝදනා ගැන මා අවධානය යොමු කිරීමෙන් පසු අගමැතිතුමා ඒ සම්බන්ධ සොයා බැලීමට ඇමැති කමිටුවක් පත් කළා. එම කමිටුව මේ තත්ත්වය නිවැරැදි කරන්න පියවර ගනීවි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]