කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දිස්ත්‍රික්ක හතරකට සෙත සදන මල්වතුඔය වාරි ව්‍යාපෘතිය ඇරැඹීමට සූදානම්

දිස්ත්‍රික්ක හතරකට සෙත සදන මල්වතුඔය වාරි ව්‍යාපෘතිය ඇරැඹීමට සූදානම්

අනුරාධපුරය නගරයේ හා අවට වරින් වර ඇතිවන ගංවතුර ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලෙස මෙන් ම දිස්ත්‍රික්ක 4 ක පානීය ජල ගැටලුව විසඳීමේ අරමුණින් අනුරපුර මල්වතු ඔය නව වාරි ව්‍යාපෘතිය මාර්තු මස අගදී ඇරඹෙයි.

‍කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු දැනටමත් සැලසුම් කරමින් පවතී. ඒ අනුව මුලින් ම මල්වතු ඔයේ ජලය වේගයෙන් ගලාගෙන යෑමට හැකි පරිදි එහි වැවී ඇති ගස් හා පඳුරු ඉවත් කර ඔය ගැඹුරු කරන බව වාරි හා කෘෂි ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. පසුව දැනට ඔය මත ඇති සපත්තු පාලම් වෙනුවට ඔය ඉහතින් පාලම් ඉදිකරනු ලැබේ.

මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මල්වතු ඔය හරහා කප්පච්චි යන ප්‍රදේශයේ විශාල වේල්ලක් බැඳ නාච්චදූව වැව මෙන් හතර ගුණයක් විශාල වේල්ලක් ඉදිකරනු ලැබේ.‍ ඉන් තන්තිරිමලේ හා අවට ප්‍රදේශවල පානීය ජලය හා වාරි ජල හිඟයට තිරසාර විසඳුම් ලැබෙන බවත් ඇමැතිවරයා කියයි.‍

ඊට අමතරව නව පහළ මල්වතු ඔය ජලාශය මගින් දිස්ත්‍රික්ක හතරක ජනතාවට පානීය හා වාරි ජලය ලැබීමට නියමිත ය. අනුරාධපුරය, මන්නාරම, පුත්තලම, වවුනියාව ඒ දිස්ත්‍රික්ක හතරයි.

ඊට‍ අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අබලන් වැව් වාරි යෝජනා ක්‍රම හා වේලි පිළිසකර කිරීමට ද දැනටමත් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මේ සඳහා ගොවි ජනතාවගේ පූර්ණ ශ්‍රමදායකත්වය ද අදහස් හා නව යෝජනා ද අමාත්‍යාංශ‍ය අපේක්ෂා කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]