කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ක්‍රීඩා විසිතුරු

ක්‍රීඩා විසිතුරු

‘ස්වීට්‘ කැරොලින් ගොල්ෆ් පිත්ත අතට ගනී

අන්තර්ජාතික කාන්තා ටෙනිස් පිටියේ සුරූපි ක්‍රීඩිකාවක වන ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි සිය පෙම්වතා වන සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක රෝරි මැක්රෝයිගේ අඩිපාරේ යමින් ගොල්ෆ් ක්‍රීඩාවට යොමුවී සිටින්නීය.

‘ඇය මා හිතුවාටත් වඩා දක්ෂයි. මම දන්නෙ නෑ එයා කොහොම ඉගෙන ගත්තද කියලා..පළමු පහරම යාර 200ක් ඈතට එල්ල කරන්න තරම් ඇය සමත්වුණා.‘ සිය පෙම්වතියගේ ගොල්ෆ් දස්කම් දුටු රෝරි පුවත්පත් වාර්තාකරුවන්ට එසේ කියා සිටියේය. කෙසේවුවත් තමාට ටෙනිස් ක්‍රීඩාව අතහැර දමා ගොල්ෆ් පිටියට එක්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නැති බව පසුව කැරොලින් පැවැසුවාය.

ෆ්ලින්ටොෆ් බිග් බෑෂ් පිටියේ

එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ක්‍රීඩාවෙන් සමුගෙන වසර කිහිපයක් ගතවෙයි. ඒ අතරතුර කාලයේ ලෝක බොක්සිං වළල්ලට පිවිස කැපී පෙනෙන දස්කම් පෑ හෙතෙම ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වෙමින් යළි ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවිය. මෙවර බිග්බෑෂ් තරගබිමේ දස්කම් දක්වමින් සිටින 37 හැවිරිදි ෆ්ලින්ටොෆ් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම නියෝජනය කරමින් මෙල්බර්න් ස්ටාර්ස් පිලට එරෙහිව එක් ලකුණක ජයක් තම පිලට හිමිකරදීමට පසුගියදා සමත්විය. එම තරගයේ දී ඔහු පිට පිට ඕවර දෙකකදී කඩුලු දෙකක් දවාලමින් දස්කම් දැක්වීය.

අසාරුදීන්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට

ලෝක ක්‍රිකට් පිටියේ ආන්දෝලනාත්මක ක්‍රීඩකයකු ලෙස ඉතිහාස ගතවී සිටින ඉන්දියාවේ හිටපු නායක මොහොමඩ් අසාරුදීන්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට නැගීමට ප්‍රකට සිනමාවේදියකු වන අන්තෝනී ඩි සූසා සූදානමින් සිටී. මේ චිත්‍රපටයේ අසාරුදින්ගේ චරිතය සඳහා දැනටමත් ප්‍රකට නළු එම්රාන් හෂ්මි තෝරාගෙන ඇති බව වාර්තාවේ.

අසාරුදින්ගේ දෙවැනි බිරිය වන සිනමා නිළි සංගීතා බිජ්ලානීගේ චරිතය සඳහා නොම්මර එකේ බොලිවුඩ් නිළි කරීමා කපූර් ඛාන් තෝරාගෙන ඇති බවත්, ඔහුගේ හිටපු බිරිය වන නව්රීන්ගේ චරිතය ප්‍රචී දේසායි තෝරාගත් බවත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පවසයි.

කෝලි - ජොන්සන් ගැටෙති

ක්‍රිකට් පිටියේ කුකුල් කේන්තිකාරයකු වන ඉන්දීය පිලේ උපනායක විරාත් කෝලි දිනෙන් දින මාධ්‍ය අතර පුවත් මවන ක්‍රීඩකයෙකි. පසුගියදා ඔස්ට්‍රේලියා සමග මෙල්බර්න් නුවර පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ඔහු අගනා ශතකයක් වාර්තා කිරීමට සමත්විය. එහි දී ඔහු ලකුණක් කරා දුවමින් සිටින අතරතුර පන්දු යැවූ මිචෙල් ජොන්සන් කඩුල්ලට වේගයෙන් එල්ල කළ පන්දුව කෝලිගේ පිට හරහා වැදී ඔහු බිම ඇද වැටිණි.

ඉන් අනතුරුව කෝලි හා ජොන්සන් අතර ඇතිවූයේ උණුසුම් කතාබහකි.

‘ඊළඟ වතාවේ මට නෙවෙයි කඩුල්ලට ගහපං‘ කෝලි එසේ ජොන්සන්ට බැණ වැදුණු අතර ජොන්සන් ද පෙරළා ඔහුට බැණ වදිමින් කෝලි ඉතා ‘නරක කොල්ලෙක්‘ බව පවසා තිබේ.

‘ඒ මගේ හැටි...‘ කෝලි එසේ කීවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]