කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දොස් නිදොස්

නවදැල්ල

1960 වර්ෂයේ ඔක්තෝබර් මස ඕස්ට්‍රියාවේ බාඩන් නුවර පවත්වන ලද මාධ්‍යවේදීන්ගේ දෙවැනි ලෝක සම්මේලනයට ගිය අපේ නියෝජිත පිරිස වූ සිවුදෙනාට නවතින්නට ලැබුණේ බාඩන් නුවරට කිට්ටු පිටිසරක් බඳු පෙදෙසක කුඩා ස්ථානයෙක් විය.

එහි දොරකඩ වූ ඇපල් ගසෙන් ගෙඩි කඩා ගෙන කෑමට ද අපට හැකි විය. ඒ ඇපල් අනෙක් ඒවාට වඩා රසවත් විය. එසේ වීමට ‍හේතුව විස්තර කළේ එහි සිටි වැඩිහිටියෙකි. ඔහු ඉංගිරිසිය දැන සිටියේ ස්වල්පයෙකි.

ඒ ඇපල් රසවත් වීමට හේතුව නවදැල්ලේ වැටුණු ඒව වීම යැයි පැහැදිලි කිරීමට ඔහු දන්නා වචන මදිවිය. එවිට ඔහු අපෙන් මෙසේ ඇසීය. නොකැළැල් චරිතයක් ඇති තරුණියකට ඉංගිරිසියෙන් කියන නම මොකක්ද?”

ඔහු මේ අසන්නේ කුමක්දැයි අප සිතන විට එතැන වූ ඉන්දියානු මාධ්‍යවේදියෙක් මෙසේ කීවේ ය. ‘වර්ජින්’ ‘වර්ජින්’ (Virgin)

“අන්න හරි! අන්න හරි! වර්ජින්! වර්ජින්! මේ ඇපල් වවා තියෙන්නේ වර්ජින් ලෑන්ඩ් එකක. ඒ නිසා තමා මෙතරම් රසවත්”

“වර්ජින් ලෑන්ඩ්” කීවේ කැලෑ කපා අලුතෙන් ම වගාවට ගත් ඉඩම ය. එම අලුත් ඉඩමකට යෙදෙන නමක් සිංහල භාෂාවෙන් වෙන ම තිබේ. ඒ නවදැල්ල ය.

නවදැල්ල යනුවෙන් බෙහෙමින් යෙදෙන්නේ අලුත පිලිස්සූ හේනට ය. නවදැල්ල හේන් ගොවීන් අතර ප්‍රකට නාමයෙකි.

මිරිස්, මයියොක්කා වැනි කොයි දේටත් නවදැල්ල ඉතා සුදුසු ය.

උතුරු, උතුරු මැද, වයඹ යන ආදි පළාත්වල නවදැල්ලේ ගොවිතැන් කරන ‍‍ෙබාහෝ දෙනෙකු මිරිස්වලින් ලබන්නේ මහ ආදායමකි. ඔවුන් මිරිස් නෙළන්නේ ගෝණි කණක්තුවේ ය.

කණක්තුව

කණක්තුව යනු ගණනට යෙදෙන නමකි. හණ නූලෙන් හැදෙන ගෝණිය අද මිම්මක් බවට ද පත්ව තිබේ.

මෙයින් පනස් වසකට පමණ පෙර මම ද තුන්වැනි පන්තියේ ආදායම් ලාභියකු වශයෙන් වනාතවිල පළාතෙන් රජයෙන් නොමිලේ ලැබුණු කැලෑ කොටසක් කප්පවා සුද්ද කරවා මිරිස් වැවූ පළ පුරුද්දක් ඇත්තෙමි.

එහි මිරිස් හැදුණේ හොණ්ඩර කණක්තුවේ ය. කණක්කුව යනු ගණනය. එසේ යහමින් පලදාව ලැබුණ ද එදා මිරිස් විකුණන්නට ලැබුණේ රාත්තල තුට්ටු දෙකට ය. (සත තුනකට ය) අමු මිරිස් ගෝණියකට සාමාන්‍යයෙන් ලැබුණේ රුපියල් පහකි.

අද හීන් මිරිස්වලට ඉහළ මිලක් ගෙවන විට මට සිහිපත් වන්නේ එදා මිරිස් මිල ගණන් ය. (රාත්තල සත තුනකි. සත තුනය කීවේ තුට්ටු දෙකට ය)

පදිංචිය

ඉස්සර යමකුගේ ජීවන තොරතුරු එළිදරව් කිරීමේ දී කියවුණේ ‘නම ගම’ කියා ය.

නම ගම යැයි කීව ද නම හා ගම පමණක්

නොව නම හා ගම හා පදිංචි ස්ථානය ඇතුළත් සම්ප‍ූර්ණ විස්තරය මේ නම - ගම යන්නට ඇතුළු විය.

පසු කලෙක මේ නම - ගම ‘ලියුම් ලැබෙන පිළිවෙළ’ නම් වූයේ ය. එය ඇති වූයේ ඉංගිරිසි NAME AND ADDRESS යන්නෙනි. සමහරු ‘නම සහ ඇඩ්‍රසය යැ'යි සිංහල අකුරෙන් ම ලියන්නට වූහ. තව සමහරු නම හා ලිපිනය යනුවෙන් ලියූහ.

ලිපිනය යන්න බෙහෙවින් පැතිර ගිය එකක් විය. එහෙත් ලිපිනය යන වදනම එතැනට වැරැදි ය. ලිපිනය විය යුත්තේ ලිපි ලැබෙන පිළිවෙළ ය. එහෙත් මහජනයාට කුමට ද ලිපි. ලිපි යැයි කියන්නේ පත්තරවල පළවන නිබන්ධන වැනි දේ ය.

ලිපිනය යැයි කිය යුත්තේ ලිපි ලැබෙන තැනකට ය. ඒ අතින් බැලූවිට

ADRESS’ යන්නට ‘ලිපිනය’ යැයි කීම වැරැදි ය.

සමහරුන් ලිපිනය යන්න වෙනුවට ලීවේ ලිපි යොමුව කියා ය. ලිපි යොමු කැරෙන්නේ ලිපිනයට ය. එහෙව් ලිපිනයන් ඇත්තේ පත්තර කන්තෝරුවල ය. සාමාන්‍ය මහජනයාට අවශ්‍ය වන්නේ හසුන් මිස ලිපි නොවේ. එහෙයින් පුද්ගලයකු පදිංචිව ඉන්නා තැනට ‘ලිපිනය යැයි’ කීම වැරැදි ය.

නම ගම යන්නෙන් ගම නැතිව ‘නම හා පදිංචිය’ යනුවෙන් ලියන්නෝ ද වෙති. එය වඩා සුදුසු ය.

වැල්වටාරම්

යමක් පැවැසිය යුතු තැන එයට අනවශ්‍ය තව තවත් බොහෝ දේ පැවසීම වැල් වටාරම් නම් වේ.

මේ වැල් වටාරම් කථනයෙහි දී මෙන් ම රචනයෙහි ද ඇතිවන්නට හැකි ය.

මේවා වැල් වටාරම් වූයේ දිගට ඇදෙන නිසා ය. (වැලක් ඇදෙන්නා මෙනි)

ගුණසේන ශබ්දකෝෂයෙහි වැල්වටාරම් දැක්වෙන්නේ පිළිවෙළක් නැතිව දිගින් දිගට කරන කතා බහ” යනුවෙනි.

ප්‍රතිරූප

1. ප්‍රතිරූප - සමාන)

2. ජීවත්වීමට ගැළපෙන - සුදුසු

3‍. හාත්පසින් ම සමාන - පිළිරුව

ගෝණි

1. හණ නූලෙන් වියූ රෙද්ද. 2. හණ නූලෙන් වියන ලද විශේෂ මලු විශේෂයක්. කොහු ලණු වැනි දේකින් වියූ රෙද්දෙන් සැදුණු මල්ල.

3. ධාන්‍ය හෝ ද්‍රව මනින පැරැණි මිම්මක නම 4. රාශි හෝ දෝණ හතරක ප්‍රමාණය - පලම් 1024 ප්‍රමාණය 5. ඌරා 6. ගෝණි ගස - හණ ගස ජූ‍ට්

ගෝණි ලණු හා කටු

ගෝණි ‍ මූට්ටු කිරීම සඳහා හෝ මැසීම සඳහා ගෝණි නූල් නැත්නම් ගෝණි ලණු යොදන්නට වෙනම කටු වර්ගයක් ඇත. ඒවා හැඳින්වෙන්නේ ගෝණි කටු වශයෙනි.

ගෝණි කඹ නම් වන්නේ ගෝණි රෙද්ද ය.

අද ගෝණි මල්ල පිළිගත් මිම්මක් ද වී තිබේ. ගෝණි කඩ යනු ගෝණි රෙද්දය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]