කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගුවන් විදුලියේ නාඩගම්

මුදු දිය දහරක්.... 42
 

ගුවන් විදුලියේ නාඩගම්

දයානන්ද ගුණවර්ධන ඇසුර ගැන සටහන් කරමින් හිඳ සිටියාටත් මට මුහන්දිරම් කේ. එච්. ද සිල්වා මුල්ලපිටියේ රාලහාමි ගැන කීමට සිදුවූයේ මක්නිසා ද යන්න මටම වටහාගත නොහැකිය. එහෙත් මුල්ලපිටියේ රාලහාමිගේ පුතණුවන් පසුකල මගේ සමීප හිතවතකු බවට පත්විය. තම පියා විසින් පවත්වන ලද පුරාණ වෘත්තාන්ත ගවේෂණයේ නියැළි හුන් ඒ පුතණුවන් වන විභාවි විජයශ්‍රීවර්ධන මෑත කාලයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු බවට ද පත්විය. එහෙත් ඔහු අකල් මරණයකට ගොදුරු විය. තම පියා විසින් එක්රැස් කරන ලද පැරැණි ලේඛන සමුදායෙන් ඔහු ‘වැඩක් ගත්’ පුතණු කෙනකු ලෙස මට හැඟිණ. කොරිඩෝවේ ගමන් කරමින් සිටි මා දුටු මා මිත්‍ර දයානන්ද මා නතර කළේය. ඔහුට පැවැසීමට රහසක් ඇති බව මට පෙනිණ.

“ඇයි?” මම ඇසිමි.

“මම රට ඉඳල එනකොට ෆෝක්ස්වැගන් කාර් එකක් ගෙනාවා. ඒත් මට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා.”

“මොකක්ද?”

“ඒක පදවන්නේ වමෙන් - left side drive ඉතින් මට ඒක වෙනස් කර ගන්න වෙලා තියෙනවා.”

“කොහොමද කරන්නෙ?”

“නාවල පැත්තේ ගරාජ් එකක් තියෙනවා. යමු ද?”

ඒ ඉල්ලීම මට පැහැර හැරීමට නොහැකි විය. මම දයානන්ද සමඟ ඒ ගරාජයට ගියෙමි.

එතෙර සිට වමින් පදවාගෙන එනු ලබන මෝටර් රථවල සුක්කානම (Steering Wheel) දකුණු පැත්තට සවි කිරීම අපේ රටවල රිය පැදවීම පහසු කරවන්නකි. මේ තරුණ ගරාජ් කරුවා එහි නිපුණයකු බව මට පෙනිණ. ඔහු දයානන්දගේ ‘නරිබෑනා’ නාටකය මෙන්ම වෙනත් නාටක කීපයක්ම දැකබලා සිත පහන් කර ගත් රසිකයකු බවට මට ඔහුගේ කතාබහින් පසක් වීය.

“සර්, කාර් එක තියල යන්න. මම දවසින් දෙකින් එක හරිගස්සල තියෙනවා.” ගරාජ්කරුවා කීය.

අපේ මහගෙදර පිහිටි නාවල පාරේ නිවසට දයානන්ද පැමිණ නතර විය. දයානන්දයන් හඳුනා ගැනීමට ලැබීම ගැන එකල ජීවතුන් අතර සිටි මගේ තාත්තත් අම්මාත් ඉමහත් සතුටට පත්වූහ. කෑමෙන් බීමෙන් හා නිදා ගැනීමට ඇඳක් සපයා දීමෙන් ද ආගන්තුක සත්කාරය නොමඳව සිදු කෙරිණ. මැද සාලයට ගොස් අපේ තාත්තා සමඟ බොහෝ වේලාවක් දයානන්ද පැරැණි තොරතුරු කතා කරමින් කල්ගත කළේය. තාත්තා නාට්‍ය කලාවට ලැදි කෙනකු වූ නිසාත්, තමන් විසින්ම නාට්‍ය ලියා නිෂ්පාදනය කළ කෙනකු වූ නිසාත් දෙදෙනා අතර කතාබහ සරුසාර වීය.

ගුවන්විදුලි සේවයේ ඉතා දිගු කලක් සේවය කළ තේවිස් ගුරුගේ මහතා තම නිල කාමරයට පැමිණෙන්නේ උදේ පාන්දරින්මය. නිවේදකයකු වශයෙන් තම සන්නිවේදන කටයුතු ආරම්භ කළ ගුරුගේ මහතා කෙමෙන් පසු කල සභාපතිවරයකු වශයෙන් ද පදවිප්‍රාප්ත වූ කෙනෙකි. එතැනින් ‍නොනැවතුණු ඔහු ශ්‍රී ලංකාවේ ආරම්භ කළ රූපවාහිනී ජාලයේ ද ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළ බව මෙහිදී සිහිපත් වේ. උදෑසනින්ම තම ගුවන්විදුලි සේවා කාමරයට පිවිසෙන ගුරුගේ මහතා බොහෝවිට ‍පොත් කියවීමේ නිරතවී සිටිනු දැකගත හැකි විය. මා දැන හැඳින සිටි අන්දමට ඔහු වඩාත් ප්‍රිය කළේ ඉංග්‍රිසි නවකතාකරුවකු වූ පී.ජී.වුඩ්ගවුස් ගේ කෘති කියවීමටය. ‍තේවිස් ගුරුගේ මහතා උදෑසනින්ම දැකගත හැකිවූ දවසක් එළඹෙතොත්, ඔහු හා සමඟ ‘සාහිත්‍ය සංවාදයක’ නියැළීමට මටද අවස්ථාවක් වීය.

එක් දවසක් මා, තේවිස් ගුරුගේ මහතාගේ කාමරයට ගිය විටදී මට අපූරු පුද්ගලයකු මුණගැසිණ. තේවිස් ගුරුගේ මහතා මට ඔහු හඳුන්වාදුන් ආකාරය මතකය.

“මේ කවුද කියල දන්නවද?යි ගුරුගේ මහතා මගෙන් ඇසුවේය. හීන්දෑරි සිරුරකින් හෙබි, සරමක් හා බැනියමක් ඇඳ සිටි ඔහු දෙස මම බලා සිටියෙමි.

“මේ තමයි රදාවානේ මාටින් පෙරේරා - නාඩගම් ගුරු‍තුමෙක්”

මම ඔහුට ආචාර කළෙමි. ඔහුද ආචාර කළේය.

“මහත්තයව නම් මම හොඳට දැකල තියෙනවායි ඊළඟට ඔහු කීවේ තමන්ගේ බෑගයේ තිබූ ලොකු මොනිටර් ඇක්සයිස් පොත් දෙකක් ද මගේ අතේ තබමිනි.

“කොහොමද මාව හඳුනන්නේ?” මම ඇසුවෙමි.

“ඇයි මහත්තය එනව නේද රදාවානේ ඉන්න අපේ සේකර මහත්තයගේ දිහා”

“ඔව්. ඒ පැත්තෙද ඉන්නේ?”

“මම ඉන්නේ සේකර මහත්තයලගේ මහගෙදරට හැරෙන තැනමයි” මට ඒ පිළිබඳ කිසිදු මතකයක් නොතිබිණ.

“ඔන්න ඔය පොත්වල ලියල තියෙන නාට්‍ය කියවල නිෂ්පාදනය කරන්න බලමු” යි ගුරුගේ මහතා මගෙන් ඉල්ලීමක් කළේය.

“ගිහිල්ල දෙන්න කතාබහ කරගන්න” ඊළඟට කීය.

මම, මගේ මේසයට ගොස් ඉඳගත්තෙමි. රදාවානේ මාර්ටින් පෙරේරා ද මා පිටුපස පැමිණ මගේ මේසය ඉදිරිපස ඇති පුටුවක වාඩි විය. මාර්ටින් පෙරේරා තම කතාව පටන් ගත් ආකාරය මට මතක් වේ.

“මගේ ළඟ තියෙනවා, මහත්තයා හුඟාක් නාඩගම් පොත්. සමහරක් නාඩගම් වැඩිය මිනිස්සු අතරට ගියේත් නෑ. මට පුළුවන් විටින් විටම ඇවිල්ල ඒ පොත් මහත්තයට බාර දෙන්න. අද මම අරන් ආවේ අසෝකමාලා නාඩගම. මගේ ළඟ තියෙනවා දියරකුසු නාඩගම, එතැනින් ගියාම මහා ධර්මපාල නාඩගම, වෙස්සන්තර නාඩගම”

“මේවා කොයි කාලේ කවුරු ලියපු ඒවාද?” මම ඇසුවෙමි.

“ජෝන් ද සිල්වා මහත්තයගෙන් පස්සේ කාලේ”. මට ඒ ගැන ඊට වඩා යමක් දැනගැනීමේ ඇල්මක් ඇතිවීය.

“මේවා කවුරු ලියපු ඒවද?”

“එක එක වර්ගයේ නාඩගම් ගුරුවරු හිටිය. ඕවා ඉතින් මම කෑලි කෑලි එකතු කරල අලුතින්ම ලියපු ඒවා.”

“එතකොට ඔබතුමාද මේවායේ කර්තෘ?”

“ඔව්. ඉතින් එහෙමට කිව්වට කමක් නෑ”

“මේවා ප්‍රසිද්ධ වේදිකාවේ නිෂ්පාදනය වෙලා තිබෙනවද?”

“මමම තමයි ඒවා කෙරුවේ”

“කට්ටිය එකතු කරගත්තේ කොහොමද?”

“ගමෙන්ම තමයි. එහෙම කරල තොටළඟටත් අරන් ඇවිත් පෙන්නපු අවස්ථාත් තිබුණා”

මම තව තවත් ඇල්මෙන් කන්දුන්නෙමි.

අපි බොහෝ වේලාවක් නාඩගම් හා නූර්ති නාටක ගැන කතාකරමින් සිටියෙමු. මාර්ටින් පෙරේරාට ඉතා හොඳින් නාඩගම් හා නූර්තිවල තාල රාග මතක තිබිණ. ඔහු එකල දේශීය ගායනා පිළිබඳ වැඩ සටහන් නිෂ්පාදකවරයා වූ මඩවල රත්නායක ද හඳුනා සිටියේය. මම, මඩවල සමඟ ද මට බාර දෙන ලද කාර්යය පිළිබඳ කතාබහ කළෙමි.

“ඕක ලේසි වැඩක් වෙන්නේ නෑයි ඔහු ගත්කටටම කීය.

“ඒත් ගුරුගේත් එක්ක එකතු වෙලා කරල බලනවා. මොනවා වුණත් ඔය ලැබිල තියෙන පිටපත තරමක් හෝ ශුද්ධ කරන්ට වෙයි. අනවශ්‍ය දේවල් කපා දමල ගුවන්විදුලි මාධ්‍යයට ගැළපෙන විදියට සකස් කරන්ට වෙයි. මට එය මඩවලගෙන් ලැබුණු හොඳ උපදෙසක් විය.

රදාවානෙන් පැමිණි මාර්ටින් පෙරේරාට තේ බීමට සැලසූ මම ඔහුගෙන් සමුගත්තෙමි.

“මහත්තය, මට එහෙමනන් දැනුම් දෙනවා නේද?Óයි කියමින් ඔහු මගෙන් සමුගත්තේය.

“අසෝකමාලා” නාඩගම් පිටපත කියවූ මට දැනුණේ එහි හැම අතින්ම නාඩගමකට අයත් පොතේ ඉන්නිසය, දේවාශිර්වාද, සංවාද, බම්මන්නා පැමිණීම ආදී අංගෝපාංග ඇතුළත් වී ඇතත් නිර්මාණශීලී කාව්‍ය ගුණයෙන් හීන බවය. නාඩගම් යුගයේ කෙමෙන් අප රට ව්‍යාප්ත වීම හේතුකොටගෙන බිහිවූ නූර්ති නාටකවල එන සුලබ අංග සමුදායක් මෙහි දැකගත හැකි විය.

මම, මේ පිළිබඳව තේවිස් ගුරුගේ මහතා සමඟ කතාබහ කළෙමි.

“පුළුවන් තරම් ශුද්ධ කරල ගන්ට බලන්න. මමත් එන්නම් නිෂ්පාදන කටයුතුවලට උපකාර කරන්න. මෙහේ ඉන්නව, ඔය සින්දු කියන්න පුළුවන් කට්ටිය. ඒ ගොල්ලන්වත් සම්බන්ධ කරගන්ට බලමු”

ගුරුගේ මහතාගේ කතාවෙන් මා දැනගත්තේ මෙකී නාඩගම් ගුවනින් ප්‍රචාරය කිරීමේ පුදුමාකාර ආශාවක් ඔහු තුළ රැඳී ඇති බවකි. එහි පසුබිමක් ද මට කෙමෙන් හඳුනාගත හැකි විය. ඔහු ඊට කලකට උඩදී චාල්ස් සිල්වා ගුරුන්නාන්සේගේ පුතණුවන් වන නෝමන් සිල්වා ගුරුන්නාන්සේ සමඟ එකතු වී “කාලගෝල නාඩගම” කළේය. රදාවානේ මාර්ටින් පෙරේරාගේ අසෝකමාලා නාටකයේ පිටපත මම කියවා බලා එහි පෙළ සංශෝධනය කරන්නට පටන් ගත්තෙමි. සැබැවින්ම එය මට දැනුණේ වෙහෙසකර කාර්යයක් වශයෙන් නොව, නියැළිය යුතු වූ අනිවාර්ය කාර්යයක් වශයෙනි. එහෙත් පිටපත ශුද්ධ කොට ගුවන්විදුලි මාධ්‍යයට ගැළපෙන පිටපතක් බවට පත් කළෙමි. එකල එබඳු කටයුතුවල කිසියම් ප්‍රමාණයක පරිචයක් මට ලැබී තිබිණ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]