කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සමාජ ව්‍යවසනයන් ගැන ගැඹුරු විග්‍රහයක්

සජ්ඣායනා - සමන්තා විෙජ්සිංහ

සමාජ ව්‍යවසනයන් ගැන ගැඹුරු විග්‍රහයක්

“අසාරෙ සාරමතිනො -
සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති -
මිච්ඡා සඬකප්පගොචරා”

ධම්ම ප‍දයේ යමක වග්ගයේ ඇතුළත් වන එකොළොස් වන ගාථාව වන උක්ත ගාථාවත්, අනතුරුව යෙදෙන දොළොස් වන ගාථාවත් සමඟ එහි අර්ථ ද ඉදිරිපත් කරමින්, බෞද්ධ දර්ශනය අනුව ජීවිතයේ සරු නිසරු දේ වෙන් කොට හඳුනාගැනීමේ වැදගත්කම නූතන සමාජයට අදාළ වන සේ නවකතාවක් මඟින් විවරණය කරන්නට සමන්තා විජේසිංහ මහත්මිය ගත් උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සජ්ඣායනා නවකතාව හැඳින්විය හැකිය. ජීවිතය යනු, අස්ථීර දෙයක් බව හොඳින් දන්නා මිනිස් වර්ගයා බොහෝ විට එම සත්‍යය අමතක කොට සරු දේ ඉවත් කොට නිසරු දේවල එල්බ ගන්නට යොමු වීම ඈත අතීතයේ පටන් මේ දක්වා සිදුවෙමින් පවතින්නකි. මෙකී ස්වභාවය සාහිත්‍යකරුවන් සිය නිර්මාණ සඳහා විෂය කරගත් වාර අනන්තය. අප්‍රමාණය. ඒ අනුව නිරන්තරයෙන්ම ජීවිත විවරණයක් හා සමාජ විවරණයක් නවකතාව ඇතුළු සාහිත්‍යාංග මඟින් සිදුවෙමින් පවතින බව ද අපට දැක ගත හැකිය.

සාහිත්‍යය වූ කලී රස ජනනය උදෙසා නිර්මාණය වන්නක් බව “ කාව්‍යං රසාත්මකං වාක්‍යං” යන විශ්වනාථගේ ප්‍රකට කියමනෙන් හෙළි වන අතර නූතන සාහිත්‍ය කෘති විමසා බැලීමේදී එයට තවත් අරුත් එක් කළ හැකි බව පැහැදිලිය. කවර නිර්මාණකරුවෙකුට හෝ සමකාලීනව සමාජ බලවේගයන්ගෙන් ඈත්වී අර්ථවත් සාහිත්‍ය කෘතියක් රචනා කළ නොහැකි බව ද මෙහිදී අවධානය යොමු විය යුතු කරුණකි. සාහිත්‍යය වූ කලී සමාජය පිළිබිඹු කරන කැඩපතක් බවට කියැවෙන අදහස ද මේ හා සම්බන්ධ අර්ථ කථනයක් ලෙස සැලකිය හැකිය. අනිත් අතට බලන විට, නවකතාවක් හෝ වෙනත් සාහිත්‍ය කෘතියක් පෝෂණය වන්නේ ද තත්කාලීන සමාජ ස්වභාවයන්ගෙනි. පොදුවේ සාහිත්‍යය ගැනත්, විශේෂයෙන්ම නවකතාව ගැනත් කියැවෙන මෙම අදහස් සමන්තා විජේසිංහ මහත්මියගේ කුළුදුල් නවකතාව වන ‘සජ්ඣායනා ‘ නම් කෘතිය විෂයෙහි සැබවින්ම අදාළ වෙයි.

සිය ප්‍රථම නවකතාව නම් කිරීමට කතුවරිය යොදා ගෙන ඇති ‘සජ්ඣායනා’ යන්න බුදු දහමට සමීප අරුතක් ද පළ කරන්නකි භික්ෂූන් වහන්සේලා එක්රැස්ව පවත්වනු ලබන පිරිත් දේශනා පිරිත් සජ්ඣායනා වශයෙන් හැඳින්වීම බෞද්ධ පාඨකයාට මෙහිදී එක් වරම සහිපත් විය හැක්කකි. ශබ්ද කෝෂ අරුත ගෙන බැලුව ද එකට එක් වී සාමූහිකව කරනු බලන ඉදිරිපත් කිරීමක්, ගායනයක් නැතහොත් පුහුණුවීමක් ලෙසද මෙයට අදහස් පළ කළ හැකිය. මෙම අරුත් සිහියේ තබාගනිමින්ම සිය නවකතාව ‘සජ්ඣායනා’ නමින් නම් කරන කතුවරිය එමඟින් කර ඇත්තේ ද සමාජය තුළ සිදුවන විවිධාකාර සිදුවීම් සමූහයක් එක් තැන් කරගනිමින්, චරිත රාශියක් මඟින් ඒවා, කථා රසයක් ද දනවන පරිදි ඉදිරිපත් කිරීමකි.

චරිත සෑහෙන සංඛ්‍යාවකින් සමන්විත මෙම නවකතාව උක්ත නමින් නම් කිරීමට තමා අදහස් කළේ, ඒ සෑම චරිතයක්ම සෙසු චරිත හා එක්වෙමින්, සමාජය තුළ සිදුවෙමින් පවතින විවිධ වූත්, විෂම වූත් ‍තොරතුරු පාඨකයාට ප්‍රකාශ කරලීමට අපේක්ෂා කළ හෙයින් බව කතුවරිය පවසයි. ප්‍රධාන චරිත කිහිපයක් ද ඒවාට පරිවාර තොරතුරු සපයන සෙසු චරිත සමූහයක් ද සමඟ චරිත හැටකට වැඩි සංඛ්‍යාවක් සිය නවකතාවට සම්බන්ධ කර ගන්නා සමන්තා විජේසිංහ මහත්මිය වර්තමාන සමාජය තුළ පවත්නා සංකීර්ණ ස්වභාවය මෙයින් පිළිබිඹු කර ඇත.

අප ජීවත් වන සමාජය තුළ සරු - නිසරු දේ ගැන නිසි අවබෝධයකින් තොරව වැරදි මඟ ගමන් ගන්නා පිරිස වැඩි වශයෙන්ම යෞවන යෞවනියන් බව පැහැදිලි කරුණකි. නවකතාවක් රචනා කරමින් එක්තරා විදියක සමාජ මෙ‍ෙහවරක් ඉටුකිරීමේ අභිප්‍රාය පෙරටු කොටගත් මෙම ලේඛිකාව කෘතියේ මුලට එක් කර තිබෙන විශේෂ පෙරවදනක් මඟින් සිය පරමාර්ථය හෙළි කර ඇත. “දයාබර හිරිමල් යෞවනය” යනුවෙන් යොදා ඇති ආමන්ත්‍රණ පද වලිනුත් අවසානයේ දී “මෙයට , දයාබර මුහුකුරා ගිය යෞවනය’ යනුවෙන් යොදා තිබීමෙනුත් කතුවරියගේ අරමුණ පැහැදිලි වෙයි. හිරිමල් යෞවනයේ දී ඇතැමුන් වැරදි මාර්ගවලට යොමු වන්නේ නොදැනුවත්කම නිසාත්, යහමඟ කියා දෙන්නට නිසි මාර්ගෝපදේශකයකු නොමැති නිසාත්ය. සමන්තා විජේසිංහ මහත්මිය ජීවිතයේ මෙතෙක් ආ ගමනේදී ඇසූ දුටු දේ මෙන්ම තමන්ටම අත්දකින්නට ලැබුණු විවිධ දේ ද පාදක කරගනිමින්, හිරිමල් යෞවනයේ පසුවන දරු දැරියන්ටත්, පොදුවේ සමාජයටත්, යහපත් සමාජයටත් පණිවුඩයක් දීමට ද සිය නිර්මාණ කෘතිය උපයෝගී කරගෙන තිබෙන බව කිව හැකිය.

වර්තමාන සමාජය” කණපිට පෙරළුණ” සංකීර්ණ වටපිටාවක් සහිත පසුබිමකින් සමන්විත වන බව අවබෝධ කරගෙන සිටින කතුවරිය ඒ පිළිබඳ මනා විවරණයක් මෙම නිර්මාණ කෘතියෙන් පාඨකයාට ගෙන හැර පෑමට සමත් වී ඇත. ඉහතින් දැක් වූ පරිදි “සමාජය පිළිබිඹු කරන කැඩපතක්” ලොව සාහිත්‍යය, විශේෂයෙන්ම නවකතාව ගැන සැලකී‍ෙම් දී ‘සජ්ඣායනා’ මඟින් එම සමාජ ප්‍රතිබිම්බය මැනවින් එළිදැක්වීම ඇතැයි කිව හැකිය. ශ්‍රී ලාංකික සමාජය තුළ පවුල හා විවාහය යනු සමාජ සංස්ථා වර්තමානයේ දී කිසියම් බිඳ වැටීමකට ලක්වෙමින් පවතින බවට සාක්ෂි විරල නොවේ. තරුණ දූ පුතුන්ගේ විවාහ ජීවතය දෙදරා යද්දී මව්පියන්ගේ දෑසින් ගලන කඳුළු සමන්තාගේ නවකතාවෙන් මැනවින් පිළිඹිබු වෙයි.

“මායාගේ හදවත හතරට පැ‍ෙළන්නට ආවත් දියණියට කසාදය කඩාගැනීමට උල්පන්දම් දීම කළ නොහැක්කකි. තරුණ වියේදී තමා ද මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් සැටිත්, දෙමාපියන්ගේ හා තමාගේම නම්බුව ද රැකගැනීමට කෙසේ ‍හෝ ඉහගහගෙන පවුල් කෑ හැටිත් ඇයට සිහි විය.”
(සජ්ඣායනා 46 පිට)

සමාජය තුළ සිදුවන මෙවැනි දෑ යුගයෙන් යුගයට , පරම්පරාවෙන් පරම්පරාවට අඩු වැඩි වශයෙන් හෝ වෙනස්කම් ඇතිව සිදුවන අයුරු බොහෝ දෙනා දනිති. එසේ වුව ද විවාහය හා පවුල් ජීවිතය රැක ගනිමින් සමාජයේ වි‍වේචනයට ලක් ‍ෙනාවී සිටින්නට වැඩිහිටියන් ගත් තැත දරුවන්ට ද ශක්තියක් කරලමින් ඔවුන්ට උපදෙස් දෙන ඥානවන්ත හා කාරුණික මව්වරු අද සමාජයේ කොතෙකුත් වෙසෙති.

“ කොයි දේකටවත් කලබල වෙන්න එපා දූ. කසාද කඩාගන්න එක මහ දෙයක් නෙවෙයි. කසාදෙ රැකගන්න එකයි ආමරු. මගෙ පුතා ඉවසන්න. මේ ගෙදර ආවම කරුණාවෙන් සලකන්න”
(47 පිටුව)

මිනිස් සිත පිළිබඳවත්, ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවත්නා සංකීර්ණ සමාජය පිළිබඳවත් මනා අවබෝධයකින් යුතුව තම දියණිය අස්වසන්නට ප්‍රයත්නයක යෙදෙන මෙවැනි අගනා මාතෘ චරිත මෙම නවකාතව තුළින් හඳුන්වා ‍දීම ලේඛිකාව සමාජය දෙස හෙළන සාධනීය දෘෂ්ටිය කියා පායි. නවකතාව පුරාම සාර්ථක මෙන්ම ආසර්ථක වූ ද ප්‍රේම සමබන්ධතා ගැනත්, යහපත් මෙන්ම අයහපත් වූද පවුල් ජීවිත ගැනත්. එපමණක් නොව මෙවන් ගැටලුවලට හේතුකාරක වන අනිකුත් සමාජ ව්‍යසනයන් ගැනත් ඉතා ගැඹුරින් කෙරෙන පුළුල් විවරණයක් මෙම නව කතාවෙන් සිදුකිරීමට ලේඛිකාව පෙන්වා ඇති දක්ෂතාව අගය කළ යුතු වෙයි.

සමාජ ස්වභාවයන්හි පමණක් නොව චරිතවල ද සංකීර්ණ බව මැනවින් වටහා ගනිමින් පාඨකයාට ද එම තත්ත්වය හැ‍ෙඟන්නට හා දැනෙන්ට සැළැස්වීම කතුවරියගේ අභිප්‍රාය වී ඇත. මෙම නවකතාවෙහි ඇතුළත් වන හැටකට අධික චරිත සමූහය අතුරෙන් ප්‍රධාන චරිත ලෙස මතු වන චරිත කිහිපය, ඒවායේ සංකීර්ණ මානසික තත්ත්වය මෙන්ම ඊට අනුගත ක්‍රියා කල‍ාපයන් ද සමඟ ප්‍රබල ලෙස, ප්‍රාණවත්ව නිරූපණය කරන්නට කතුවරිය ගෙන ඇති උත්සාහය බොහෝ දුරට සඵල වී ඇත.

මුලසිට අග දක්වා මෙය කැඳවාගෙන යන පාඨකයාට මෙම කෘතියෙහි දැක්වෙන විවිධාකාර සිඳුවීම් හා අවස්ථා විශ්වසනීයත්වයෙන් යුතුව, ප්‍රාණවත් ලෙස ගලා යන ආකාරයක් දැකගත හැකි වනු ඇත. සිද්ධීන් එකිනෙකට ගැළපී යන ආකාරය නිසා ඇති වන කුතුහලය ද සමඟ නවකතාව දිගටමකියවාගෙන යාමේ රුචියක් පාඨකයාට දැනෙනු ඇත. සමාජය තුළ සිදුවන දේ මෙන්ම සිදුවිය හැකි දේ ද විවිධත්වයෙන් යුතුව ඉදිරිපත් කිරීමට කතුවරිය සතු ප්‍රතිභාව බෙහෙවින් උපකාරී වී තිබෙනු දැකගත හැකිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]