කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වාල්වට්ට්‍ර වාල්ලු

වාල්වට්ට්‍ර වාල්ලු

ජීවිත අහිමි ජීවිත
 

සාහිත්‍යයෙන් නිරූපිත වතුකරයේ ජන ජීවිතය
 

එක්දහස් අටසිය පහළොවේදී බ්‍රිතාන්‍ය‍යින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්කර ගත් පසු ඔවුන්ගේ එක් ප්‍රධාන පරමාර්ථයක් වූයේ වෙළඳ වගාවන් මඟින් ධනය රැස්කර ගැනීමය. ඒ අනුව කෝපි වගාවට යෝග්‍ය පසක් හා දේශගුණයක් ඇති මැද කඳුකරයේ ගම්පොළ සිංහපිටිය නමැති අක්කර 400 ක ඉඩමක ජෝර්ජ් බර්ඩ් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් ප්‍රථම වතාවට කෝපි වවන ලදී.

ඒ එක්දහස් අටසිය විසිතුනේ දීය. එයට වසර දෙකකට පසුව එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ද පේරාදෙණිය ගන්නොරුවේ කෝපි වගා කිරීම ආරම්භ කළේය. 1869 වන විට ලංකාවේ කෝපි වගාවට අක්කර 1,70,000 පමණ පැතිර තිබුණි. නමුත් එම වසරේම මඩොල්සිම ප්‍රදේශයේ කෝපි වගාවට ඇතිවූ හෙමිලියා වැස්ට්‍රාට්‍රික්ස් රෝගය නිසා ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ විය.

එක්දහස් අටසිය හැත්තෑ තුනේදී ජේම්ස් ටෛයිලර් හේවාහැට ලූල්කඳුර වත්තේ තේ වගාව ආරම්භ කළ අතර එහි පළමු අස්වැන්නෙන් ඔහු ප්‍රථම වරට තේ කොළ රාත්තල් විසිතුනක් නිෂ්පාදනය කරන ලදී. ඊළඟට ගම්පොළ මරියවත්තේ අක්කර සියයක තේ වගාවෙන් රාත්තල් 1,180 තේ කොළ නිෂ්පාදනය කරන ලද අතර තේ නිෂ්පාදනයේ සාර්ථකත්වය නිසා දිඹුල, දික්ඔය, මස්කෙළිය, පුස්සැල්ල, මාතලේ වැනි ප්‍රදේශ පුරා තේ වගාව ව්‍යාප්ත වන්නට විය.

කෝපි සහ තේ වගාව ආරම්භ වීමත් සමඟ තමන්ගේ වතුවල සේවය සඳහා අඩු මුදලට ශ්‍රමිකයන් සොයා ගැනීම බ්‍රිතාන්‍යයන්ට ප්‍රශ්නයක් විය. බ්‍රිතාන්‍ය යටත් විජිතයට එරෙහිව කැරලි ගැසූ සිංහලයන් බ්‍රිතාන්‍යයන්ගේ වතුවල කුලී වැඩට යන්නට කැමැති වූයේ නැත. මෙනිසා අඩු කුලියට වැඩ කරවා ගැනීමට කම්කරුවන් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට සිදුවිය.

මේ අනුව 1848 දී ප්‍රථම වරට උඩරට වතු සඳහා ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගන්නා ලදී. දකුණු ඉන්දියාවේ, තිරිච්චිරා පල්ලි, සේලම්, මදුරෙයි රාමනාදන්පුරම් වැනි ප්‍රදේශවලින් බ්‍රෝකර්වරුන් විසින් ගෙන එන ලද්දේ ලංකාව පිළිබඳ අමුතුම චිත්‍රයක් මවා පෙන්වමිනි. කෝපි ගස් යටින් හා තේ පඳුරු යටින් රත්තරන් කෑලි අහුලාගත හැකි බව බ්‍රෝකර්වරු ඉන්දීය කම්කරුවන්ට පවසා ඇත.

තලෙයි මන්නාරම, ආදම්ගේ පාලම හා කොළඹ යන ස්ථානවලින් පැමිණි මෙම සංක්‍රමණිකයන් අරිප්පුව හරහා පුත්තලමට පැමිණි, කුරුණෑගලින් නුවර හරහා කඳුකරයට ගියහ. බෝට්ටු සහ විශාල ජල යාත්‍රා ඔස්සේ පැමිණි සමහරුන් මුහුදු ගමනේදීම මිය ගියහ. සමහරු රට අභ්‍යන්තරයට යන ගමනේදී ආහාර හිඟකම, ලෙඩ රෝග සහ අනතුරුවලට භාජනය වී මියගියහ.

මෙලෙස එක්දහස් නමසිය විසිපහේ සිට එක්දහස් නමසිය හතර දක්වාම දකුණු ඉන්දියානු කම්කරුවන් කඳුරටට පැමිණි අතර මෙනිසා ද්‍රවිඩ භාෂාව කතා කරන වෙනම ද්‍රවිඩ ජන ප්‍රජාවක් කන්ද උඩරට බිහි විය.

ජීවන රටාව මෙන්ම සංස්කෘතියෙන් ද මෙම කන්ද උඩරට ද්‍රවිඩ ප්‍රජාව, යාපනයේ ද්‍රවිඩ ප්‍රජාවගෙන් වෙනස් විය. සාහිත්‍යමය විෂයක් වශයෙන් ඔවුන්ට මුලින්ම හිමි වූයේ මුඛ පරම්පරාගත කතන්දරවලට විය. කඳුරට උපන් සිද්ද ලෙබ්බේ නමැති ලේඛකයා 1885 දී ප්‍රථම වරට කාව්‍ය ග්‍රන්ථයක් නිර්මාණය කරමින් කඳුරට ද්‍රවිඩ සාහිත්‍යයට අඩිතාලම දැමීය. ආගමික යහ දර්ශනය මෙන්ම මිනිස්කම ගැන ද සිද්ද ලෙබ්බේ කවි ලියුවේය.

කඳුරට ද්‍රවිඩ කම්කරු ජනතාව අතර සාහිත්‍ය ප්‍රබෝධය මෙන්ම වෘත්තිය සමිති ප්‍රබෝධය ද ඇතිකළ පුද්ගලයකු වශයෙන් කේ. නඩේසයියර්ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 1914 කාලයේ දකුණු ඉන්දියාවේ තමන්ගේම පුවත්පතක් ආරම්භ කළ ඔහු 1919 දී ලංකාවට එන්නේ එම පුවත්පතට දායකයින් බඳවා ගැනීම සඳහාය. එසේ එන ඔහු කඳුකරයට යන්නේ දකුණු ඉන්දීය කම්කරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ තොරතුරු සෙවීමටය.

එකල තේවත්තක් ඇතුළට කිසිඳු බාහිර පුද්ගලයකුට ඇතුළුවීම තහනම් විය. රෙදි විකිණීමට එන පොට්ටනි වෙළදුන්ට එම තහනම ක්‍රියාත්මක නොවීය. කේ. නඩේසයියර් එවැනි රෙදි පොට්ටනි වෙළෙන්දකු ලෙස තේ වතුවලට ඇතුළු වී දකුණු ඉන්දීය කම්කරුවන්ගේ දරිද්‍රතාවයන් පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේය. එලෙස ලද අවබෝධය නිසා ඔහු එම ඉන්දීය කම්කරුවන්ට සේවය කිරීමේ අදහසින් ලංකා ජාතික කොංග්‍රසයෙහි සාමාජිකයකු බවට පත්වී “දේශ නේෂම්” පත්‍රයේ කර්තෘත්වය ද භාර ගත්තේය. අනතුරුව ඔහු තේවතු කම්කරුවන්ගේ දුක්ඛදායක ජීවිතය ගැන තම පුවත්පතින් හෙළිදරව් කරන්නට පටන් ගත්තේය.

කේ. නඩේසයියර් කොළඹ අත්හැර හැටන් නගරයට යන්නේ තේ වතු කම්කරුවන්ට වඩාත් සමීපව කටයුතු කිරීමේ පරමාර්ථය ඇතිවය. 1931 දී ඔහු සමස්ත ලංකා ඉන්දීය කම්කරු සම්මේලනයෙහි වෘත්තිය සමිතිය ආරම්භ කරන ඔහු බොහෝ තේ වතු කම්කරුවන් එහි සාමාජිකත්වයට බඳවා ගනී. එම කාලයේදී ඔහු “තෝට්ට තොලිලාලි” නමැති වතු කම්කරු පත්තරය ආරම්භ කළේය.

කඳුකර ද්‍රවිඩ සාහිත්‍යයට එකතු වූ ප්‍රථම කෙටිකතාව වූ “රාමසාමි සේරුවෙයි” කේ. නඩේසයියර්ගේ නිර්මාණයකි. රාමසාමි නමැති තේ වතු කම්කරුවා මුහුණ දුන් දුක්ඛදායක සිදුවීමක් ගැන එම කෙටි කතාවෙහි විස්තර වෙයි. කේ. නඩේසයියර් වතු කම්කරු ජීවිතය ගැන නාට්‍ය රචනා කළ අයකු ද විය. “තොලිලාල අන්දර පිරෙප්පු” වතු කම්කරු ජීවිතය ගැන ඔහු නිර්මාණය කළ නාට්‍යයකි. හැටන් නගරයේ පළමු මුද්‍රණාලය වූ “සහෝදරී මුද්‍රණාලය” පිහිටෙව්වේ ද ඔහුමය.

කේ. නඩේසයියර්ගේ බිරිය වූ මීනච්චි අම්මා ද දක්ෂ කිවිඳියක විය. එකල බාහිර පුද්ගලයන්ට තේ වතුවලට ඇතුළුවීමට අවසර නොලැබීම නිසා ඇය තේ වතු මායිමේ සිට ඔවුන්ගේ පියස්ස නැති මෝටර් රථය මත හිටගෙන තේ දලු නෙළන කාන්තාවන්ට ඇසෙන සේ එම කවි ගායනා කළාය.

උඩරට මඩකුඹුර නමැති ග්‍රාමයේ උපන් සී. වී. වේලු පිල්ලෙයි කඳුරට ද්‍රවිඩ සාහිත්‍යයට මහත් සේවයක් කළ පුද්ගලයකු විය. කංකානි කෙනෙකුගේ පුත්‍රයකු වූ ඔහු තම ගමේ පාසලේ ඉගනුම ලැබීමෙන් පසුව කොළඹ නාලන්දා විදුහලේ ද අධ්‍යාපනය ලැබූවෙකු විය. ඔහු ලියූ “වාල්වට්ටු වාල්ලු” “ජීවිත අහිමි ජීවිත” වතුකරයේ ලැයිම් කාමරවල ජීවත්වන තේ වතු කම්කරුවන්ගේ දුක්බර ජීවිතය ගැන අපූරු විග්‍රහයක් කළ නවකථාවක් විය. බොහෝ දෙනකුට තමන්ටම කියා නිවසක් ඇත. නමුත් වතු කම්කරුවාට ඇත්තේ තමන්ට ජීවිතයේ කිසිම දිනක අයිතියක් කීමට නොහැකි ලැයින් පේළියක ඇති තනි කාමරයකින් යුක්ත නිවසකය. දරුවන් සමඟ නිදා ගැනීම පමණක් නොව අඹුසැමියන්ට ලිංගික කාර්යයන්හි නිරත වීමට ඇත්තේ ද එම කාමරයේය. එම නිවසෙහි වහලයෙන් වැස්සට වතුර නිවස ඇතුළට පැමිණියත් එය සකසා ගැනීමට නිවසේ පදිංචිව සිටින අයට නොහැක. ඒ සඳහා වතු අධිකාරිවරයාගෙන් අවසර ලබාගත යුතුය.

ඔහු ලියූ “තන්දෙක දලු” නවකථාව තේ දලු නෙළන්නියකට මුහුණ පාන්නට වන අනේක දුක්කම්කටලු විස්තර කරන නවකථාවකි. සී. වී. වේලු පිල්ලෙයි නවකථාකරුවකු පමණක් නොව දක්ෂ කවියකු ද විය. “ඉලංගෙයි තෛල තෝට් නිලයි” - ලංකාවේ තේ වතුවල කවි - කඳුකරයේ සුන්දරත්වය මෙන්ම, වතු කම්කරුවන් මුහුණ දුන් දුක් කම්කටොලු හෘදයාංගමව විචිත්‍රණය කළ සංකල්පනාවලින් යුක්ත එකක් විය.

රවීන්ද්‍රනාත් තාගෝර්, සී. වී. වේලුපිල්ලෙයි සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව සඳහන්ය. රවීන්ද්‍රනාත් තාගෝර් අතින්ම ලියූ කවි සී. වී. වේලුපිල්ලෙයි සතු විය. ඔහු සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු වශයෙන් ඔහු පාර්ලිමේන්තුව ද නියෝජනය කළේය.

නන්දි තිවබාලසුන්දරම් යාපනයේ උපන් අයෙකු විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වුණ ඔහු එහි පුහුණුව ලබා පේරාදෙණිය වෛද්‍ය පීඨයෙහිම කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළේය.

යාපනයේ උපත ලැබූවත් නන්දි තිවබාලසුන්දරම් පසුකාලීන ජීවිතය ගෙවූයේ බදුල්ලේය. එහිදී ඔහුට තේවතු ජීවිතය ගැන මනා අවබෝධයක් ලැබීමට හැකි විය. 1962 ඔහු ලියූ “මලෛක්සොඉන්දු” නවකථාවට පසුබිම් වූයේ තේ වතු කම්කරුවන්ගේ ජන ජීවිතය පිළිබඳවය. තේ වතුවල පැවැති කම්කරු ගැටලු පිළිබඳවත්, වතු ආශ්‍රිත වෘත්තීය සමිති ආරම්භ කිරීමේ ගැටලු පිළිබඳවත් “මලෛක්සොඉන්දු” නවකථාවෙන් විස්තර කෙරුණි.

නන්දි තිවබාලසුන්දරම්ට මෙන්ම වතු ආශ්‍රිත වෛද්‍යවරුන් මෙන් කටයුතු කළ තවත් පුද්ගලයන් කීප දෙනකුට වතු කම්කරුවන්ගේ දුක්ඛ දෝම්මනස්ස සංවේදීව ස්පර්ශ කිරීමට හැකි විය. තමන්ගේ හදවත් සසල කළ වතු කම්කරු ජීවිත ඔවුන් බාහිර ලෝකයට හෙළි කළේ නවකථා මඟිනි.

ටී. ඥානසේකරන් පුස්සැල්ලාව වතුයායේ සේවය කළ එවැනි වෛද්‍යවරයකු විය. “කුරුදි මලෙයි” - මෙම කඳු වතු කම්කරු පවුලක සාමාජිකයින් තමන්ගේ ජීවිතය ගැටගසා ගැනීමට සිදුකරන නිරන්තර අරගලය සඳහා වතු අධිකාරීන්ගෙන් ඔවුන්ගේ ජීවිතවලට එල්ල වන විවිධ හිරිහැර බාධක පිළිබඳව “කුරුදි මලෙයි” නවකථාවෙන් විස්තර කර තිබුණි.

පුලෝලියොර් සදාසිවම් ද වතු වෛද්‍යවරයෙකි. “මුටති උල්ලෙයි” - පිනි වලාකුළු යනුවෙන් ඔහු ලියූ නවකථාවෙන් ද විස්තර වූයේ තේ වතු කම්කරුවන්ගේ දුෂ්කර ජීවිත කථාවය.

බදුල්ල තෙලිවත්තේ උපන්, තෙලිවත්තේ ජෝශප් සාහිත්‍ය රත්න සම්මානයෙන් ද පිදුම් ලැබූ කඳුරට විශිෂ්ට ද්‍රවිඩ සාහිත්‍යකරුවකු විය. ප්‍රථමයෙන්ම කෙටිකතාකරුවකු වශයෙන් ද්‍රවිඩ සාහිත්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වූ ඔහු පසුව උසස් නවකථා කීපයක් ද නිර්මාණය කළේය.

එක්දහස් නවසිය හැත්තෑ නමයේදී ඔහු නිර්මාණය කළ “නාම් නඩෙයි” - අප ඉන්න රට - කෙටිකතා සංග්‍රහයෙහි සියලුම කෙටිකතාවලට පාදකව තිබුණේ වතු කම්කරුවන්ගේ ජීවිතවලට බලපාන විවිධ සිද්ධීන් පිළිබඳවය.

ඔහුගේ “කාලංගල් පාවදිල්ලෙයි” - යුගය අවසන් වන්නේ නැත - වතු කම්කරුවන්ට වතු කාර්යාල ලිපිකරුවන් ගෙන් සහ කනක්ක පුල්ලෙවරුන් ගෙන් ඇතිවන ගැටලු අන්තර්ගත වුණ ශෝකජනක නවකථාවක් විය.

තෙලිවත්තේ ජෝශප්ගේ “කුඩෙයි නීලන්” - කුඩයක සෙවණැල්ල - 1980 ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත උතුරේ ජනතාවට වඩා කඳුකරයේ ද්‍රවිඩ ජනතාවට පීඩාකාරී ලෙස බලපෑ අන්දම විස්තර කරන නවකථාවක් විය.

තේ වතු කම්කරු තරුණයෙක් කොළඹට පදිංචියට පැමිණ නතර වීමට ගෙයක් කුලියට ගැනීමේදී ද්‍රවිඩයකු වීම නිසාම ඔහුට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. සමහරු ඔහුගෙන් අත්තිකාරම් මුදල් ලබාගෙන නිවස ලබා නොදෙයි. පසුව නිවසක් ඔහු කුලියට ගෙන ජීවත්වන විට අසල්වැසියකු ඔහු පෞද්ගලික තරහක් ඇතිකර ගනී. අවසානයේ එම පුද්ගලයා අර කඳුකරෙන් පැමිණි තරුණයා ත්‍රස්තවාදියකු යැයි පවසා පොලීසියට භාර දෙයි.

“පාටි සොන්න කඩෙයි” - අත්තම්මා කියූ කතන්දර - තෙලිවත්තේ ජෝශප් ලියූ කෙටිකතා සංග්‍රහයක් විය. මුල්ම තේ වතු කම්කරුවන් මුහුණ දුන් ජීවන අත්දැකීම් එම කෙටිකතා සංග්‍රහයෙන් විචිත්‍රණය කර තිබුණි.

බෙනඩික් බාලන් ලියූ “සොන්දකාරන්” - අයිතිකරු කවුද - වතුකරයේ වෘත්තීය සමිති අතර ඇතිවූ ගැටුම් පිළිබඳ විස්තර කළ නවකථාවක් විය. තේ වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති බලය ලබාගැනීම සඳහා එස්. තොන්ඩමාන් වෘත්තීය සමිතිය හා කොමියුනිස්ට් වෘත්තිය සමිතිය අතර වූ ගැටුම් “සොන්දරකාරන්” නවකථාවට පසුබිම් විය.

තලවකැලේ මුරුගන් සිවලිංගම් ද කඳුකරයේ ද්‍රවිඩ සාහිත්‍යකරුවන් අතර කැපී පෙනෙන පුද්ගලයෙකි. “මලගලිං මක්කල්” - කඳු පුරවැසියෝ - කඳුකරයේ තේ වතුවල කම්කරුවන්ගේ ජීවන ගැටලු විස්තර කෙරුණ නවකථාවක් විය. “උප්පාරි කෝච්චි” - විලාපනඟන දුම්රිය තේ වතුවල කම්කරුවන් ආපසු ඉන්දියාව යැවීමේදී සිදුවුණ අතිසංවේගදායි මානුසික බිඳ වැටීම් පිළිබඳව ලියැවුණ නවකථාවකි.


සාහිත්‍ය කාටූනය


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]