කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කවුළුව අතරින්

කවුළුව අතරින්

සුරාජ් මාපාගෙන් නර්තන ඇකඩමියක්

ජනප්‍රිය නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහටත් සුරාජ් මාපා ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත දිනුවෙක්. මෙතුවක් කල් රංගනයෙන් හා නර්තනයෙන් රසිකයන් පිනවපු ඔහු මේ වන විට නර්තනය පිළිබඳ ගුරුවරයෙක් බවට පත්වෙලා. සුරාජ් ඔහුගේම නර්තන ඇකඩමියක් අරඹන්නට සූදානම්.

“රංගනයට වඩා වෙනස්ම අත්දැකීමක් මම මේ දිනවල විඳිනවා. ලතින් ඇමෙරිකානු නර්තනය පිළිබද මා සතු දැනුම නර්තනයට ඇලුම් කරන බොහෝ දෙනකුට බෙදා හදා දෙන්නට මට හැකි වී තිබෙනවා. මේ වන විට සති අන්තයේ මහරගමත් නුවරත් පන්ති පවත්වනවා. විශේෂයෙන්ම ලබන වසරේ මම නර්තන ප්‍රසංගයක් පවත්වන්නත් සැලැසුම් කර තිබෙනවා.

ඒ සඳහා මගේම ගෝලයන් පිරිසක් යොදා ගන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ හැමටම වඩා මා සතු දැනුම, ශිල්පය තවත් පිරිසකට ලබා දෙමින් ගුරුවරයකු ලෙස සේවය කරන්නට ලැබීම ඇත්තටම මගේ ජීවිතේ මා ලැබු වාසනාවක් වගේම එය මට අමුතුම ආකාරයේ සතුටක් ගෙන දෙන්නක්.

සැබෑම වාසනාවක්

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ ගීතයක් ගායනා කිරීමට ලැබීම නව පරපුරේ ගායිකාවක හෝ ගායකයකු ලබන වාසනාවක්.

පසුගිය දවසක එවන් පැතුමක් මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියක වන චන්ද්‍රිකා සිරිවර්ධනගේ මිනිබිරිය වන දුල්ශාරා ද සිල්වා ඉටුකර ගනු ලැබුවා. ඒ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ යුග ගීතයක් ගායනා කිරීමෙන්. මේ ගැන මෙහි ගීත රචක ආචාර්ය සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් අපි සමඟ කතා බහකළා.

ගැ. සප්ත ස්වරයේ රජතුමාණෙනි
ශිල්ප ලබනට ආවෙමි
පරම සුන්දර මයුර මාහර
වරම් දුන මැනවී....

පි. චන්ද්‍ර මඬලේ පුන් කලා වැනි
ස්වප්න දක්නා ළමා ලාලනී
අමර පදසර ගගන සරනට
ශිල්ප ගනු මැනවී...

මේ යුග ගීතය ගයන දුල්ශාරා තවමත් 15 හැවිරිදි නව යෞවනියකි. අමරදේවයන්ට මේ වනවිට අවුරුදු 87 කි. අමරදේවයන් ඉතාම ආසාවෙන් මේ ගීතය ගායනා කළා. මම මේ ගීතය පදරචනා කළා. මෙයට තනු නිර්මාණය කළේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනයි. 1970 වසරෙන් පසුව වසර ගණනකට පසුවයි මම මෙවැනි ගීතයක් අමරදේවයන් වෙනුවෙන් රචනා කළේ. ඉතාම සුන්දරව මේ ගීතය අමරදේවයන් සමඟ දිල්ශාරා දියණිය ගායනා කළා.

සත්ත්ව කරුණාවෙන් අත හපා කාලා

ටෙක්ලා කුමුදු කුමාරි කලා ක්ෂේත්‍රයට ආගන්තුක නමක් නොවෙයි. දක්ෂ නිළියක් රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට ඇය කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. පසුගිය දවසක ටෙක්ලා බල්ලෙක් නිසා අනතුරකට මුහුණ පෑ පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන අපි විපරම් කර බැලුවා.

“මම සාමාන්‍යයෙන් රඟපෑම් නොමැති දිනවල මගේ රූපලාවණ්‍යාගාරයේ තමයි කාලය ගත කරන්නේ. රූපලාවණ්‍යාගාරයට ගිය විට මම දැක්කා ඒ ඉදිරිපිට කාණුවක කබරයෙක් කුඩා බලු පැටවකු කා දමන්නට සූදානම් වෙනවා. මම නිතර දෙවේලේ මේ බලු පැටියාට කෑම බීමත් දෙනවා.

ඉතින් මේ පුංචි සතාව බේරගන්න මම එතැනට ගියා. අවට සිටි තවත් අයගේ සහාය ඇතුව මම ඒ කබරයාව එතැනින් එළවා දැමුවා. පුංචි බලු පැටියා හොඳටම බයේ කෑ ගසමින් හිටියේ.

මම ඌ බේරාගෙන කාණුවෙන් පිටතට තැබුවත් ඌ යළිත් කාණුවටම වැටුණා. මම ඌව කාණුවෙන් එළියට ගන්න අත දැම්මා විතරයි මගේ අත ඌ බයටම හපා කෑවා. එයින් වම් අතේ මැදඟිල්ල හොඳටම තුවාල වුණා. පසුව මම රෝහල් ගතවී එන්නත් කීපයක්ම ලබාගත්තා.

කොහොමහරි එක එන්නතක් මට විෂ වුණා. මගේ මුළු ඇඟම ඉදිමුණා. දැන් එයට ප්‍රතිකාර ලබා ගන්නවා. සතකුට උදව් කරන්න ගිහින් ජීවිතේටම අමතක නොවන පාඩමක් මම ඉගෙන ගත්තා. ඒත් ඒ පුංචි බලු පැටියා මරණයෙන් මුදාගන්න ලැබීම ගැන මම හුඟාක් සතුටු වෙනවා.

වොල්ගා ඔබ මට විශ්වාසයි

‘සුජාතා’ ටෙලි නාට්‍යයේ චූටි ටීචර් කාගේත් මතකයේ රැ‍ඳෙන චරිතයක්. ඇය නව පරපුරේ නිළි වොල්ගා කල්පනී. වොල්ගා ක්ෂේත්‍රයේ වගේම, රූගත කිරීම් සිදුවන ස්ථානවලදීත් විශ්වාසවන්ත යෙහෙළියක් විදිහටයි ජනප්‍රිය.

මොකද සාමාන්‍යයෙන් තමන්ගේ ජංගම දුරකථනය මොහොතකට හෝ වෙනත් අයකුට දෙන්නේ ඒ කෙනා පිළිබඳ දැඩි විශ්වසනීයත්වයක් පවතිනවානම් පමණයි. බොහෝ විට වොල්ගා රඟපාන ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලදී සෙසු නළු නිළියන්ගේ දුරකථන වොල්ගා අතට දී ඔවුන් රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

ඉතින් මේ ජංගම දුරකථනවලට ලැබෙන ඇමැතුම්වලට උත්තර දෙන්නෙත් වොල්ගමයි. හුඟක් වෙලාවට දුරකථනයෙන් අමතන අයත් වොල්ගාගේ මිතුරු මිතුරියන්. ඉතින් වොල්ගා ඔවුන් සමඟ බොහෝ වෙලා කතාබහ කිරීමෙන් පසු තමයි දුරකථනය විසන්ධි කරන්නේ. මේ ගැන අහන්න ලැබුණු වෙලාවෙ අපිට හිතුණෙ වොල්ගා වගේ යාළුවො හැමතැනම හැමදාමත් නැහැ කියලයි.

කාණුවකත් වැටිලා මඩත් නාගෙන

ටෙලි නාට්‍යයක් රූගත කිරීමක් අතරතුර දී ජනප්‍රිය නිළි ප්‍රීති විජේසිංහ කාණුවක හිරවී බිහිසුණු අත්දැකීමකට මුහුණ පෑ බව අපිට දැනගන්නට ලැබුණා. මේ ගැන ප්‍රීතිගෙන්ම විමසා මෙහි ඇත්ත නැත්ත දැනගැනුමට අපි කටයුතු කළා.

“මේ සිදුවීම නම් මට කිසිම දවසක අමතක නොවේවි. නලින් මාපිටිගමගේ ටෙලි නාට්‍යයක රූගත කිරීම් අතරතුරදියි මම මේ සිදුවීමට මුහුණ දුන්නේ. ඒ නාට්‍යයේ එක් දර්ශනයක් තිබෙනවා විශ්ව විද්‍යාල සිසුන් පාරේ පෝස්ටර් ගහන්න යන මමත් ජගත් චමිලත් පෝස්ටර් අරගෙන දර්ශනය රූගත කරන තැනට ආවා.

මේ දවස්වල හරියට වහිනවානේ. ඒ වෙලාවෙම ධාරාණිපාත වැස්සක් ඇදහැළෙන්න පටන් ගත්තා. මමත් ජගත් චමිලත් අනෙක් අයත් වැස්සෙන් බේරෙන්න අහල තිබු කඩයකට දිව ගියා. වැස්ස නිසා පාර හරියට පෙනෙන්නෙත් නැහැ.

මේ දවස්වල පාරවල් හදනවානේ. දන්නෙම නැතුව මාව කාණුවක් අස්සට ඇද වැටිලා ඒ කාණුව ඇතුළෙ හිර වුණා.

හුඟ දෙනෙක් ඇවිත් මාව අතින් ඇද එළියට ගන්න උත්සාහ කළත් ලේසියෙන් එළියට ගන්න බැරි වුණා. මාව වැටුණේ ඉදිරියට නිසා මගේ මුහුණ පුරාම මඩ තැවරී තිබුණා. මාව හරියට හිරවුණා නම් මැරෙන්න පවා ඉඩ තිබුණා.

අවසානයේ ඒ අය හුඟක් වෙහෙස දරලා මාව එළියට අරගෙන ඉක්මනින්ම රෝහල් ගත කළා. තවමත් ඒ තැලීම් මගේ ඇගේ තිබෙනවා. පුදුම අනතුරකින් මගේ දිවි ගැලවුණේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]