කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මුලින්ම ප්‍රවෘත්ති කියපු දවසේ කැමරාව ඉදිරියේ සාරිපොට හදමින් හිටියා

මුලින්ම ප්‍රවෘත්ති කියපු දවසේ කැමරාව ඉදිරියේ සාරිපොට හදමින් හිටියා

සුනේත්‍රා කුමාරි

ඇගේ සිනහව අපට හුරුපුරුදුය. කටහඬ ද එලෙසම සමීපය. ජාතික රූපවාහිනිය නරඹන කිසිවෙකුටත් ඇය ආගන්තුක චරිතයක් නොවේ. විටෙක ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද තවත් විටෙක වැඩසටහන් නිවේදිකාවක ලෙස ද ඇය අප වෙත එයි. සුනේත්‍රා කුමාරි කලකට පසුව රසඳුනට ගොඩවැදුණු මොහොතයි මේ.

* අවුරුදු 18ක් කියන්නේ මාධ්‍ය ජීවිතේ සැලකිය යුතු කාලයක් නේද?

ඔව්. ඒ කාලය තුළ මා ලැබූ පන්නරය, අත්දැකීම් බොහොමයි. වසර 18ක් පුරාවට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක්, නිවේදිකාවක් විදිහට යම් කාර්යභාරයක් මම ඉටුකළා කියන සතුට මට දැනෙනවා. තරුණ වැඩසටහන්, විවිධ වැඩසටහන් කළා. වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙසත් විවිධ වැඩසටහන් කළා. තවමත් ඒ කටයුතුවල නිරත වෙනවා.

* ඔබ මේ වන විටත් වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙස කටයුතු කරනවා. මේ දිනවල ඔබේ අලුත්ම වැඩ කටයුතු මොනවාද?

‘රූපාවලෝකන’ වැඩසටහන තවමත් අඛණ්ඩව කරගෙන යනවා. ඒ වගේම ආකේඩ් පරිශ්‍රයේ ප්‍රථම වතාවට රංග ප්‍රේමරත්න එක්ක (ෆීලින්ග් ඔෆ් යූත්) ‘තාරුණ්‍යයේ සත්සර සංධ්වනිය’ නමින් සංගීතමය වැඩසටහනක් අපි කළා.

* නිවේදිකාවක් වීමට පුංචි කාලේ ඉඳන්ම ඔබටත් සිහිනයක් තිබුණාද?

මම පුංචි කාලේ හිතුවෙ නැටුම් ගුරුවරියක් වෙනවා කියලයි. දෛවය වෙනස් වුණා. උපාධිය ලබන්නට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී මාධ්‍යවේදය විෂයක් හැටියට හැදෑරුවා. උපාධිය අවසානයේ ප්‍රායෝගික පුහුණුවීමට මාධ්‍ය ආයතනවලට එකතු වුණා. ඒ අනුව පුවත්පත් ආයතන, ගුවන්විදුලිය වැනි තැන් කිහිපයකම පුහුණුව මා ලැබුවා. අවසානයේ දී ලූෂන් බුලත්සිංහල මහත්මයා ජාතික රූපවාහිනියට එක්වීමට අවස්ථාව උදාකර දුන්නා. අද වනතුරුම ජාතික රූපවාහිනියේ සේවය කරනවා.

* සාමාන්‍ය නිවේදිකාවකට වඩා ප්‍රවෘත්ති නිවේදිකාවකට ඇති වගකීම වැඩිද?

ඔව්. තමා සේවය කරන මාධ්‍ය ආයතනයේ අරමුණ, දැක්ම ඇය හොඳින් දැන සිටිය යුතුයි. ඒ වගේම උදේ දවල් රෑ නොබලා ප්‍රවෘත්ති අංශයේ පිරිස ඉතාම මහන්සියෙන් රැස්කරන වටිනා තොරතුරු අතරින් පැය භාගයක් ඇතුළත වටිනාම තොරතුරු ටික අසන්නා වෙත ගෙන යා යුතුයි. ඔවුන්ගේ මහන්සිය, කැපවීම කිසිම විටෙක අපතේ නොහැරිය යුතුයි.

* මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම් ඇති?

ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මම ගෙවන හැම දවසක්ම මට නැවුම්. අලුත් අත්දැකීම් එක්කරනවා. ඒ හැම දවසක්ම මට අමතක වෙන්නේ නැහැ. සජීවී ලෙස ප්‍රවෘත්ති කියන අවස්ථාවලදී අනන්තවත් සිදුවීම් වෙනවා. කැමරාවට මුහුණ දී සිටින විට විවිධ දේ සිදුවෙනවා. මට තවමත් මතක එක් සිදුවීමක් තියෙනවා. ඒ මම ප්‍රවෘත්ති නිවේදනය කරපු පළවැනි දවස.

මම ප්‍රවෘත්ති කියන්න සූදානම් වෙලා මැදිරියට ගිහින් පුටුවේ ඉඳගත්තා. නමුත් කැමරාව සූදානම් වුවත් මම ඒ බව දැක්කේ නැහැ. මම සාරි පොට හදමින්, පිටු බලමින් හිටියා. අන්තිමේදී කැමරාකරුවෙක් අතින් මට සංඥා කළා ප්‍රවෘත්ති කියවන්න පටන්ගන්න කියලා. ඉන්පසුව මම ඉක්මනින්ම ප්‍රවෘත්ති කියවන්න ගත්තා. මේ වගේ සිදුවීම් බොහෝවිට සිදුවෙන අවස්ථා තියෙනවා. නමුත් ඒ දේවල් දැන් නම් ‍බොහෝ දුරට මගෙන් මඟහැරිලා.

* ඔබට රංගනයට ආරාධනා ලැබුණේ නැත්ද?

ආරාධනා ගොඩක් ලැබිලා තිබෙනවා. පොඩි පොඩි චරිත සඳහා පාසලේ දී විශ්වවිද්‍යාලයේ දී දායක වෙලා තියෙනවා. නමුත් මගේ වෘත්තීය ජීවිතයේ දී රංගනය වැනි දේවල් ගැළපෙන්නේ නොමැති බවයි මගේ හැඟීම.

* ජීවිතේ ගැන ආපසු හැරී බලත්දී ඔබට මොකද හිතෙන්නේ?

මම මගේ ජීවිතේ ලබපු ජයග්‍රහණ තියෙනවා. ඒ වගේම දුක සතුට වේදනාවත් ඒ හා සමබරව ලැබුණු අත්දැකීම් මා සතුයි. හැමදෙනාටම වගේ මටත් ඒ සියලු අත්දැකීම් පොදුයි කියලයි මම හිතන්නේ. මගේ ජීවිතයේ පැනනැඟුණු හැම ගැ‍ටලුවකටම මම නිර්භීතව මුහුණ දුන්නා. අදටත් කිසිම දෙයක් ගැන මම පසුතැවෙන්නේ නැහැ. මම මානසිකව වැටිලා නැහැ. හැම ප්‍රශ්නයකදීම උපේක්ෂාවෙන් යුතුව ප්‍රශ්න දිහා බලමින් ඒවා විසඳගෙන ඉදිරියටම ගියා. මට ලැබුණු සහ ලැබෙන දේ ගැන මම සතුටු වෙනවා.

* ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් කතාකරමු.

පෞද්ගලික ජීවිතේදීත් හැමදේම සමබරව පවත්වාගෙන යමින් සතුටින් ඉන්න තමයි මම බලපොරොත්තු වෙන්නේ. මගේ දියණියට දැන් අවුරුදු 12ක් වෙනවා. ඇයත් සමඟ ගෙවන ජීවිතේ හරි සතුටක් දැනෙනවා.

* ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත වටා ඇදෙන කටකතා ඔබටත් හැදුණු අවස්ථා තිබෙනවාද?

කටකතා හැදුණු වෙලාවලුත් ඇති. ඒ වගේ දේවල් ගැන ගැඹුරින් හිතන කෙනෙක් නෙමෙයි මම.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]