කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සිනා කතා

පොදු අපේක්ෂකයා

“මොනවද අනේ දැන් ඔයගොල්ලන්ගෙ අජිත් කරන්නෙ?” සන්ධ්‍යා ඇසුවේ බොහෝ කලකට පසුව හමු වූ තෙල්මාගෙනි.

“අනේ ඔයාට කියන්ඩ අක්කේ, අපේ අජිත් කවදාවත් හරිහමං රස්සාවක් කෙරුවයැ. එක එක මගඩි කර කර ඉඳලා ටිකක් ඔළුව ඉස්සුවේ අර පිරිමිඩ් කෙරුවාවෙන්නෙ. ඊට පස්සෙ සේල්ස් රෙෆ් කෙනෙක් විදියට රටේ නැති බොරු කියලා ඔය බාල බඩු ජාති මිනිස්සුන්ගෙ ඇඟේ ගැහුවා. ඊට පස්සෙ කොටස් වෙළෙඳ පොළට දවස ගානෙ ගිහින් ගතමනාවක් හෙව්වා” තෙල්මා දීර්ඝ විස්තරයක් කරමින් කීවාය.

“ඉතින් දැන් මොකද එයා කරන්නෙ?” සන්ධ්‍යා ඇසුවේ කුතුහලයෙනි.

“ආන් මේ දවස්වල එයා ජනාධිපතිවරණෙට නාමයෝජනා දෙන්ඩ ලෑස්ති වෙනවා.” තෙල්මා කීවාය.

“අන්න ඒකනං හොඳයි මොකද මිනිහගෙ ඔය කල්කිරියාවේ හැටියට එයා පොදු අ‍ෙප්ක්ෂකයා විදිහට වුණත් නරක නෑ” සන්ධ්‍යා කීවේ කට ඇද කරමිනි.
 

බලු බැණුම්

“ලකී ලංකාවට ආවද?” පත්තරයක් මිලදී ගැනීම පිණිස තම කඩයට ගොඩවූ චමරිගෙන් විජිත විමසුවේය.

“නෑ අයියෙ, එයා එන්ඩ කොහොමත් තව මාසයක් විතර යාවි” චමරි සිනාසෙමින් කීවාය.

“එහෙමද? ඒත් ඊයෙ හවස මං ඔයගොල්ලන්ගෙ ගෙදර ළඟින් යනකොට, ගේ පැත්තෙන් ඔයා බලු බැණුම් බණිනවා මට ඇහු‍ණනෙ. ඔයගොල්ලන්ගෙ ගෙදර ඇති කරන බල්ලෙකුත් නැති හින්දා මං හිතුවා ලකී ලංකාවට ඇවිත් ඇති කියලා” විජිත විරිත්තමින් කීවේය.


ඒක වැරදි නැහැ

“මට ගිය සුමානෙ හම්බවුණානෙ කලාභූෂණ සම්මානයක්” බුහාරි තම බයිසිකලයේ පිටුපස රඳවා තිබූ විශාල පෙට්ටියෙන් සම්මානයක් එළියට ගෙන දැදිගම වෙත පාමින් කීවේය. සම්මානය දෝතින් ගත් දැදිගම එය බලද්දී බුහාරි මෙසේ ද කීවේය.

“ඒත් දැදිගම බලනවකො පොඩ්ඩක් ඕකෙ අකුරු කොටපු තහඩුව දිහා. ඕකෙ ‘කලාභූෂණ’ කියන එක වරද්දලා කොටලා තියෙන්නෙ ‘කලාභක්ෂක’ කියලනෙ”

“ඒක වැරදිලා කෙරුණු දෙයක් නෙමෙයි බුහාරි, තමුසෙ කොහොමත් කරන්නෙ කලාව කන එකනෙ. ඒකයි මේකෙ කලා භක්ෂක’ කියල කොටලා තියෙන්නෙ” දැදිගම සම්මානය ආපසු දෙමින් කීවේය.
 

ළමා නාට්‍ය නෙමෙයිද?

“මේ සැරේ ළමා නාට්‍ය උළෙල තියෙන්නෙ නව නගර ශාලාවේ. අවසාන වටයට කොහොමත් හොඳ නාට්‍ය ටිකක් තේරිලා ඇතිනෙ. බලමුද ඒ නාට්‍ය උළෙල?” ප්‍රින්ස්, චන්ද්‍රසිරි සමඟ කීවේ පුස්තකාල කමිටු රැස්වීම අවසාන වී ආපසු යමින් සිටියදීය.

“එතකොට ගිය මාසෙ අපි බැලුවේ ළමා නාට්‍ය උළෙලේ නාට්‍ය නෙමෙයිද?” චන්ද්‍රසිරි ඇසුවේ මවිත වෙමිනි.

“ඇයි අයිසේ, ඒ බැලුවේ ජාතික නාට්‍ය උලෙළේ අවසාන වටයෙ නාට්‍යනෙ” ප්‍රින්ස් කීවේ සිනාසෙමිනි.

“ඇත්තද? ඒ බලපු නාට්‍යවල හැටියට මං හිතුවේ ඒවා ළමා නාට්‍ය කියලනෙ” චන්ද්‍රසිරි කීවේය.
 

දැන් මිනිහට හොඳයි

ගුණතිලකට ගුරුසිංහ මුණගැහු‍ෙණ් බොහොම කාලෙකට පස්සෙ. ඔහු තම පැරණි මිතුරාගේ අතකින් අල්ලගෙන මෙහෙම ඇහැව්වා.

“කොහොමද උඹෙ දරුවෝ? දුවලා දෙන්නම බැන්දද?”

“ඔව් බං, උන් දෙන්නම හොඳට ‍ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලෙ ගියා. ලොක්කි වෛද්‍යවරියක්. පොඩ්ඩි ඉංජිනේරුවරියක්” ගුරුසිංහ කිව්වේ ලොකු උද්දාමයකින්.

“ෂඃ.. හොඳයිනෙ! එ‍තකොට පුතා?” ගුණතිලක ඇහැව්වා.

“ලොකු ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවට ඒකා ඉගෙනගත්තෙ නැහැ බං, කැලේ පැන්නා. කොල්ලොත් එක්ක රංචු ගැහිලා තක්කඩියෙක් වුණා.” ගුරුසිංහ කිව්වේ දුකින් වගෙ.

“අපරාදෙනෙ. දැන් මිනිහ මොකද කරන්නෙ ගුණතිලක විස්සෝප වෙමින් ඇහැව්වා.

“දැන් මිනිහට හොඳයි. මිනිහා දැන් අපෙ ප්‍රාදේශීය සභාවේ සභාපති” ගුරුසිංහ කිව්වා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]