කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඔහුගේ ආදරය මට විතරක් නම් මම කලබල වෙන්නේ නෑ

ඔහුගේ ආදරය මට විතරක් නම් මම කලබල වෙන්නේ නෑ

ඉෂාරා සඳමිණි

උත්පලා වගේම මටත් ඕනම කාලයක් මගේ ආදරය වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්. මම සහ ඔහු අතර තිබෙන ආදරය හා විශ්වාසය තුළ කොයි තරම් කාලයක් වුණත් කැප කිරීමේ හැකියාව මට තියෙනවා.

මේ දිනවල විකාශය වන ‘උතුම් පැතුම්’ හි උත්පලා ප්‍රේක්ෂක හදවත් සොරා ගත් ළෙන්ගතු චරිතයක් වි හමාරය. ඒ ඇය තුළ තිබෙන්නාවූ අහිංසක ගුණාංග හා සරල ගති පැවතුම් නිසාය.

යොවුන් රංගන ශිල්පිනී ඉෂාරා සඳමිණිටද මේ චරිතය ඉතා සමීපය. ඒ ඇයිද යන්න අපි ඇයගෙන්ම අසා දැන ගන්නට සිතුවෙමු.

* ඉෂාරා ඔබ මෙතෙක් කළ චරිත අතුරෙන් උත්පලාට වැඩි ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. උත්පලා ගොඩක් ජනප්‍රියයි.

* ඊට විශේෂ හේතුවක් තියෙනවාද?

ඇය හරිම අහිංසක චරිතයක්. සමාජීය අත්දැකිම් අඩුයි. නමුත් පවුලේ හැමෝගෙන්ම ආදරය ලබමින් සරලව සැහැල්ලුවෙන් ජිවත් වෙන යුවතියක්. හැමෝම වගේම මමත් උත්පලාට ගොඩාක් කැමැතියි.

* උත්පලා ඉෂාරාගේ ජීවිතයට කෙතරම් සමිපද?

මමත් උත්පලා වගේම අහිංසකයි. බොහෝ දුරට ඉවසීම තියෙන කෙනෙක්. නමුත් සමාජයත් එකක් ගනු දෙනු කරද්දි සමාජය තුළ වෙන අසාධාරණකම් දැක්කහම ඒ ඉවසීම නැති වෙන වෙලාවල් තියෙනවා. එතකොට රණ්ඩු නොකළත් උත්පලා තරම්ම අහිංසකව ඉන්නේ නැති වෙන්න පුළුවන්.

* උත්පලා තරම්ම සැබෑ ජීවිතයේදි ඉෂාරාත් සංවේදි කෙනෙක්ද?

අපෝයි ඔව්. මමත් උත්පලා තරම්ම සංවේදියි. කවුරු හරි රවලා බැලුවත් ඇතියි බින්දුවටම කඩන් වැටෙන්න.

* එතකොට ආදරයේදි?

විශ්වාසය, අවබෝධය හා තේරුම් ගැනීම වැනි ගුණාංග ආදරයේදි අත්‍යවශ්‍යයි. එය උත්පලා කියන චරිතය තුළ මෙන්ම ආදරය කරන ආදරය බලාපොරොත්තු වෙන හැමෝගේම පැතුමක්.

මම ආදරය කරන කෙනාගෙන් මම නිතරම බලාපොරොත්තු වෙන්නේ මම ඔහුට දක්වනවාට වඩා වැඩි ආදරයක් ඔහු ගෙන් ලබන්නයි.

* ඔබටත් උත්පලා වගේම ඔබේ ආදරය වෙනුවෙන් බොහෝ කාලයක් බලන් ඉන්න වුණොත්?

අනිවාර්යයෙන්ම බලන් ඉන්නවා. ඇයට වගේම මටත් ඕනම කාලයක් මගේ ආදරය වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්. තමා හා තමන් ආදරය කරන කෙනා අතර තිබෙන ආදරය හා විශ්වාසය තුළ කොයි තරම් කාලයක් වුණත් කැප කිරීමේ හැකියාව මට තියෙනවා.

* උත්පලාගේ ආදරයට මෙන්ම ඔබ ගේ ආදරයටත් තව කෙනෙක් ආවොත් ඉෂාරාගේ තීරණය කෙබඳු වේවිද?

එක්කෙනෙක් නෙමෙයි සීයයක් මගේ පෙම්වතාට ආදරය කළත් ඔහුගේ ආදරය මට විතරක් නම් මම ඒ ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැහැ. ආදරය කාටවත් බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. ඔහුට කවුරු ආදරේ කළත් ඔහුගේ ආදරය මට විශ්වාස නම් මම ඔහු සමග හැමදාමත් ඉන්නවා.

* උත්පලා හරිම බොළඳයි කිව්වොත්?

හම්ම්... එහෙම කියන්නත් බැහැ. නමුත් ප්‍රායෝගික නොවන සමහර අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ආදරයේදි කෙනෙක් තමන්ගේ ජීවිතයට කියන්න බැරි තරම් සමීප වුණහම අපි බොළඳයි කියලා හිතන සමහර දේවල් නොදැනුවත්වම වෙන්නත් පුළුවන්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]